Wednesday, October 5, 2016

තවත් එක් සිකුරාදාවක් නොවුණු සිකුරාදාවක්!


(2012 ජූනි 29 වැනිදා)

දිනය එළැඹී හෝරා දෙක තුනක් ගතව තිබිණි. කිසි දින අත් විඳ නොතිබුණු ශීත සමයකට මාහට සූදානම් ව සිටින්නැයි හඟවමින් පෙර දිනයට වැඩි ශීතයක් නිවස වෙලා ගනිමින් සියලු කාමර සහ විසිත්ත කාමරය පුරා සිය අණසක පතුරමින් සිටින බව මට පෙනෙන්නට තිබිණ. ස්ථිර පසුබිමක් සාදා දෙන රැකියාවක් පිළිබඳ සඳහනක් තවමත් නැත. විශ්වවිද්‍යාලය දෙසට පා එසවීම කිසිදු අරමුණකින් තොර ගමනක් සඳහා ඉඩ සාදනු ඇතැයි හැඟුණේ තවමත් ස්ථාවර බවට පත් ව නොතිබුණු සිඩ්නි දිවිය පිළිබඳ අනේක සිතුවිලි වීදි පාගමන් තුළදී සිතට නැඟෙන බව අත්දැකීම් විසින් මා වෙත උගන්වනු ලැබ තිබූ හෙයිනි. අවසානයේ මම විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් රැගෙන ආ සිනමා න්‍යාය ග්‍ර‍න්ථයක් අතට ගත්තෙමි.

 ජුන්, පැට්‍රික් සහ මර්සෙලෝ එකිනෙකාගේ කටයුතු සඳහා උදෑසනම පිටව යන්නට ඇත. නවාතැනේ රැඳී සිටිය දී වුව සොයි සහ ක්‍රිස්ටල් කාමරයෙන් පිටතට එන්නේ අවශ්‍යතාවක් වේ නම් පමණක් හෙයින් ඔවුන් අද දවසේ නිවස්න තුළ වේදැයි යන්න පිළිබඳ කිසිදු සඳහනක් පෙනෙන්නට නොතිබිණ. ෆ්‍ර‍න්සුවා පමණක් අපැහැදිලි වදනකින් කුමක් හෝ මා වෙත කියා සිනා සී සිය කාමරය දෙසට ඇවිද ගියේ ය. සති අන්තය ඇරඹීමට පෙර හමුවන සතියේ අවසාන දිනයේ රාත්‍රිය ඝෝෂාවෙන් පිරී යන විසිත්ත කාමරයක් නිර්මාණය කරනා හෙයින්ම ඊට පෙර යම් ඉසිඹුවක් ලබන්නට මෙන් සියලු කාමර උපාංග නිසොල්මන්ව, තිබූ තන්හිම රැඳෙමින් මදෙස බලා සිටිය හ. අද සිකුරාදාවකි!

ගෙවුණු සෑම සිකුරාදාවකම සැදෑවක සිදුවූ පරිද්දෙන්ම අද සවස් කාලය එළඹීමත් සමගම ද ෆ්‍ර‍න්සුවා හා පැට්‍රික් සති අන්තය ආරම්භ කිරීමට සූදානම් වනු පිණිස රාත්‍රී විනෝද සාද සඳහා පිටත්ව යනු ඇත. මර්සෙලෝ ඔවුන් හා එක් වීමට හෝ නැතිනම් සිය මිතුරියක් සමග දකුණු ඇමරිකානු පන්නයේ වෙනයම් සාදයක් වෙත එක් වීමට හෝ ඉඩ ඇති අතර ජුන් නම් සුපුරුදු ලෙසම සිය අනිවාර්ය රේඛා චිත්‍ර‍ කර්මයන් සඳහා විසිත්ත කාමරයේ පුටු කට්ටලයේ හොදම කෙළවර වෙන් කරගනු ඇත. නීල්... ඔව්... ඔහු සිය පෙම්වතියන්ට දෙවැනි වීමට අකමැත්තෙන් ඔවුන් පරදවමින් රාත්‍රී භෝජනයට  මුදල් වියදම් කොට, සිය තකතීරුකම පිළිබඳව තමන්ටම දෙස්දොවොල් තබා ගනිමින් කාමරයේ ඔබ මොබ ඇවිද (කාමරයට පැමිණ සිටියහොත්) පැට්‍රික්ගේත් (නියත වශයෙන්ම) මගේත් නින්දට බාධා එල්ල කරනු ඇත. හායි, ක්‍රිස්ටල්, සොයි (සහ මම) නිශ්චිත සිකුරාදා සවස්වරු සඳහා වෙන් කර නොගත් කාල සටහන් ඇත්තවුන් ලෙස මේ සියල්ල දෙස බලා සිටිනු ඇත.

ශීතය පැරදවීම සඳහා සිදු කරන තරගකාරී ක්‍රියාකාරකමක් වෙනුවෙන් තේ පිළියෙළ කරනු පිණිස උණු වතුර කේතලය සිය කාර්යය අවසන් කර බව මට දන්වා සිටියේ ‘ටික්‘ හඬින් සිය ස්වයංක්‍රීය යතුර අක්‍රිය කරවමිනි. සිනමා යථාර්ථවාදය පිළිබඳ ලියැවුණු ලියැවිල්ලේ දෙවැනි හා තෙවැනි පිටු අතර පොත් සළකුණ රැඳවූ මම තේ කෝප්පයක් වෙනුවෙන් නැගී සිටියෙමි. ඒ හා සමග කෙටි පණිවුඩයක සංඥාව දක්වමින් ජංගම දුරකථනය නාදයක් නිකුත් කළේ ය.

හදිසි අවශ්‍යතාවක් සඳහා මගේ කාර්යාලයට පැමිණෙන්න. ජයේ. කොන්සල් ජෙනරාල්“

සිඩ්නි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල්වරයා වශයෙන් කටයුතු කළ ජයසේකර මහතා මට මුණගැසුණේ මෙහි ආ පසු අයියාගේ යෝජනාවෙන් මා ඒ කාර්යාලයට ගොඩවැදුණු පසු ය. විදේශ සේවයේ නිලධරයකු වූ අයියාගේ හැඳුනුම්කම හේතුවෙන් එහි නිලධාරී මණ්ඩලය මා වෙත මහත් භක්ත්‍යාදරයකින් සැලකූ අතර ජයසේකර මහතාටත් වඩා මගේ සුවදුක් විමසා බලමින් කටයුතු කළේ ඔහුගේ දෙවැනියා වූ අනුරසිරි මහතා ය.

මට කවදාවත් මිස්ටර් අනුරසිරිව මුණගැහිල නෑ. ඒත් එයා හොඳ මනුස්සයෙක් විත්තිය හැමෝම කියනව. මම කථා කරල තියෙන්නෙ ෆෝන් එකෙන් විතරයි.“

අනුරසිරි මහතාගේ ගුණයහපත්කම් ගැන කී විට අයියා මට කීවේ ය.

එහෙත් මේ පණිවුඩය අනුරසිරි මහතාගෙන් නොවේ. ජයසේකර මහතාගෙනි. මා එහි ගිය එකම එක වතාවක හැර සෙසු සෑම වතාවකදීම මට මුණ නොගැසුණු ජයසේකර මහතා ඉක්මණින් එන්නැයි මවෙත පණිවුඩයක් එවා ඇත්තේ ඇයි?

තේ කෝප්පය සෑදීම පසෙක තබා මම කාමරය වෙත ගියේ ගමනට සුදුසු ඇඟලුමක් සොයාගනු පිණිස ය. රීජන්ට් වීදියේ සිට කිලෝ මීටර දෙකක පමණ දුරින්, සිඩ්නි හාබරය ආසන්නයට වන්නට, හන්ටර් වීදියේ පිහිටා ඇති සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය දිගු පිට් වීදිය ඔස්සේ ඇවිද ගොස් හෝ ජෝර්ජ් වීදිය ඔස්සේ දිව යන සිඩ්නි නගරයේ නොමිල ප්‍ර‍වාහන බසයක් නැගී ගොස් හෝ පිවිසිය හැක්කකි.

මේ පණිවුඩය කුමක් ද? මම යළිත් කල්පනා කළෙමි. මාගේ සිඩ්නි දිවියේ අපහසුතා කාගෙන් හෝ දැනගෙන කවර හෝ රැකියාවකට මගක් පෙන්වන්නට ජයසේකර මහතාට සිතී ඇත් ද? නැතිනම්, පසුගිය දිනක ගුණරත්නම් වෙනුවෙන් සිඩ්නි කාර්යාලය අභියස පැවති විරෝධතාව ගැන මා දන්නා දෙයක් වේ දැයි ඔහු මා විමසන්නට සූදානම් වනවා වත් ද? මගේ ශිෂ්‍ය වීසාපත හෝ ගමන් බලපත්‍ර‍ය පිළිබඳ ගැටළුවක් වත් ද? මා ඇඳුම් ඇඟලා ගත්තේ සිතට නැගුණු විය හැකි, නොහැකි නානාවිධ සිතුවිලි සමග පොර බදමිනි. රංගගෙන් ඇමතුමක් බව සටහන් කරමින් දුරකථනය නාද වූයේ එවිට ය.

අර කොන්සල් ජෙනරල් එකෙන් එන්න කියල තිබ්බ එකට යනව ද? මමත් එන්න කියල බැලුවෙ... හැබැයි මම තැන දන්නෙ නෑ. ඔයත් එක්කම යන්න එන්න ද?“

එසේ නම් මෙය මෙහි සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍ර‍ජාව මුණ ගැසීම සඳහා කොන්සල් කාර්යාලය සංවිධානය කරන යමක් බව පැහැදිලි ය. කාර්යාලය සමග කිසිදු හැඳුනුම්කමක් නැති, ආචාර්ය උපාධිය හදාරන්නට පැමිණ සිටින රංගටත් ලැබෙන ආරාධනය පැහැදිලි කරන්නේ එයයි. මම ඔහු එනතෙක් රැඳී සිටින්නට පොරොන්දු වූයෙමි. හෝරාවක ඇවෑමෙන් අප දෙදෙන නොමිල ප්‍ර‍වාහන බස් රථයකින් හන්ටර් වීදි ආසන්නයේ බස් නැවතුමට පිවිසියෙමු.

සිඩ්නි නගර මධ්‍යය නිතර ආරාධනා කර තිබුණේ අහස සිඹින්නට හැකියාවක් ඇති ගොඩනැගිලිවලට පමණි. නගරය හාබර් පෙදෙස වෙත යොමුවත්ම එකිනෙකා පරයමින් අහස දෙසට ගෙල දිගු කරගත් ගොඩනැගිලි පහතින් කුදුව ගමන් ගන්නා ජනී ජනයා පිළිබඳ කිසිදු සැළකිල්ලක් නොගනිමින් ඉහළටම හිස් හරවා ගනිමින් බලා උන් හ. මමත් රංගත් ඒ ගොඩනැගිලි මැදින් ගමන් කරන ජනීජනයා අතරින් පෙරට ඇදුණෙමු. චෙස් පෙත ගැනත්, සිඩ්නි නගරයේ වටපිටාව ගැනත් රංග මා හා සමග නොයෙක් දේ කීවේ ය. හන්ටර් වීදියේ තවත් උස් ගොඩනැගිල්ලක ඉහළ මාලයක සෝපාන දොරටුව විවර වත්ම අපගේ කතා බහ අවසන් වූයේ එහි වූ පිළිගැනීමේ නිලධාරිනිය අපගේ පැමිණීමට හේතු විමසූ හෙයිනි.

මිස්ටර් ජයසේකර මුණගැහෙන්න. මම ප්‍රියන්ත. අපිට එන්න කියල පණිවුඩ එවල තිබුණ...“ මම රංගව ද දක්වමින් කීවෙමි. ඇය පැමිණ දොරටුව විවර කර දී අභ්‍යන්තරයට දිවෙන කොරිඩෝව මවෙත පෑවා ය.

යන්න මිස්ටර් ප්‍රියන්න. මිස්ටර් ජයසේකර හිටිය ඔෆිස් එකේ...“

වෙනත් කිසිදු ශිෂ්‍යයකුගේ සේයාවකුදු නොමැති කොන්සල් කාර්යාලය තුළින් අප දෙදෙනාට ඉදිරියට යාමට සිදුවත්ම යම්කිසි අනතුරක සේයාවක් මසිතට නැගිණි. “ලංකාවට අදාල මොකක් හරි අවුලක්...?? පාස්පෝට් එකේ? රස්සාවෙ??“ එහෙත් එය ක්ෂණිකව මැකී පිළිතුරක් සොයාගත නොහැකි ප්‍ර‍ශ්නාර්ථයක් සිත ඉතිරි වූයේ මා වෙත ලැබී තිබුණු ඇමතුම රංග වෙත ද ලැබී තිබුණු හෙයිනි.

මොකකට ද අපි දෙන්නට එන්න කියල තියෙන්නෙ?“

කිසිදු කලබලකාරී බවකින් තොරව සිය කටයුතුවල නිරත වී සිටි කාර්යාල සාමාජිකයින්ගෙන් කිහිප දෙනෙකුම මා දුටු විගස මුව පුරා සිනා සී හිස සැලූයේ පෙර අවස්ථා කිහිපයකම මුණගැසී හඳුනාගෙන උන් හෙයිනි. ජයසේකර මහතාගේ කාර්යාලයේ දොරටුව විවර කර දුන් එක් අයෙක් එහි වූ පුටු දෙකක් වෙත අප යොමු කළේ ය.

මිස්ටර් ජයසේකර දැන් එයි. වාඩි වෙලා ඉන්න!“

කිසිදු අර්ථයක් වටහාගත නොහැකි මේ කැඳවීම කුමක්දැයි විමසන්නට මා රංග දෙස බැලූමුත් ඔහු කිසිදු කලබලයකින් තොරව කාර්යාලය තුළ තිබුණු බිත්ති සැරසිල්ලක් වෙත නෙත් යොමු කරගෙන සිටියේ ය. ඔහුගේ සැහැල්ලුව මා යොමු කළේ තවත් අසහනකාරී ඉසව්වකට ය.

මොකක් හරි කේස් එකක් වැටිල මාව තනියම ගෙන්නන එක හරි නැති හින්ද රංගටත් කියන්නැති. එයා කාරණේ දන්න නිසා දැන් සද්ද නොකර ඉන්නව!“

මගේ සිතට නැගි සිතුවිල්ල තවත් සහතික කරන සහායකයින් සිත තුළින්ම නැගී මට උදව් කරන්නට විය.

ඇත්තටම ඇයි අපිට එන්න කිව්වෙ කියන ප්‍ර‍ශ්නෙ මෙතෙන්ට එනකම්ම රංග ඇහුවෙ නෑනෙ!!“

ජයසේකර මහතා දොරටුවෙන් ඇතුළු වූයේ උභතෝකෝටිකය තව තවත් විසල්ව නැගෙන්නට පටන් ගනිද්දීම ය. අප දෙදෙන දැකීම ඔහුගේ මුහුණට කිසිදු වෙනස් හැඟීමක් ගෙන ආවේ නැත.

කොහොමද ප්‍රියන්ත?“

මා අවස්ථා කිහිපයකදීම මුණගැසී ඇතත් අද මෙහි පැමිණි රංග හඳුනාගැනීමට ජයසේකර මහතා උනන්දු නොවුණු අතර රංගද නිහඬව වාඩි වී උන්නේ ය. ඉතාම බිහිසුණු, මාගේ සිඩ්නි ශිෂ්‍ය ජීවිතය අර්බුදයකට ලක් කරන යමක්, මා වෙත සන්නිවේදනය වීමට ඉතා ආසන්න බවට හැඟීමක් මා තුළ නැගී ආවේ ය. නොඑසේනම්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතායතන ප්‍ර‍ධානියකු සාමාන්‍ය ශිෂ්‍යයකු වන මා ඔහුගේ කාර්යාලයට කැඳවන්නේ ඇයි? මගේ සිඩ්නි මිතුරන් අතරින් තවත් ශිෂ්‍යයකු ද ඒ අවස්ථාවේ කැඳවන්නේ ඇයි?

ප්‍රියන්තල දවල්ට කාල ද?“

ජයසේකර මහතා ඇසුවේ කතා බහකට මුල පුරන්නට මෙනි. ඒ මුල් පැනයට මා පිළිතුරු නොදී තවත් කෙටි කාලයක් ගෙවී ගිය පසු ය.

තාම නෑ“

මේසය මත තිබූ ලේඛණ කිහිපයක් විමසූ ජයසේකර මහතා ඒ කිහිපයකට අත්සන් යෙදුවේ කල්පනාවක නිමග්න වෙමිනි. පෙර දිනවල තරමක විනෝදකාමී ස්වරූපයකින් කතා බහ අරඹන ඔහු කතා බහ ඉදිරියට ගෙන යන්නට කාලය සොයන බව මට හැගී ගියේ ය.

ප්‍රියන්ත!“

ඔහු යළි හඬ එසවූයේ, ඉතා දිගු කාල සමයක් බව මට හැගුණු, තත්පර ගණනාවකට පසු ය.

ඔයාගෙ වැඩ කොහොම ද? මං අහන්නෙ දැන් පෝස්ට්ග්‍රැජුවෙට් එකේ....? ආ.... ඉන්න තැන කරදරයක් නෑනෙ.... මං හිතාන හිටිය ඔයාට කෑමවේලකට එන්න කියන්න... ඔයාගෙ අයියත් ඉතින් අපෙ හිතවතානෙ.... ඒත්... කෝ කොහෙද වෙලාවක් යෙදුණෙම නෑනෙ....“

මගේ කෙටි පිළිතුරු සහ හිස සැලීම් පමණක් අතරින් ජයසේකර මහතා කතාව පෙරට ගෙන ගියේ ය. හදිසියේ කැඳවූ කාරණය පිළිබඳ කිසිදු අදහසක් නොදක්වා ඔහු කල්මැරීම මා තුළ ඇති කළේ ආරම්භයටත් වඩා තිගැස්මකි.

කෙටි නිහඬතාවකින් පසු ජයසේකර මහතා සිය අසුනින් නැගී අප සිටි අන්තයට විත් එහි වූ වෙනත් ආසනයක, අප දෙදෙනාට ආසන්නයෙන්, හිඳ ගත්තේ ය. අනතුරුව තරමක කල්පනාකාරී බවකින් බලා සිටියේ ය.

ප්‍රියන්ත.... සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... කරදර සිද්ධ වෙනව ඕනැම කෙනෙකුට... ඒක ලෝක ස්වභාවය... ඒත් අපි කලබල වෙන්න, හිත අවුල් කරගන්න නරකයි... මං හිතන්නෙ ප්‍රියන්ත ටිකකට ලංකාවට ගියොත් හොදයි... අපි බලමු ටිකට් එකක් ගන්න විදිහක්.... අදම නැත්තං හෙට...! ඔයා එද්දි තාත්ත එහෙම එච්චර අසනීපෙකින් හිටියෙ නෑනෙ.... නේද?“

ජීවිතයේ යම් අවස්ථාවක අතිශය අනපේක්ෂිත දේවලට ඔබ මුහුණ දී ඇතැයි මම සිතමි. එහෙත්, එය මෙතරම්ම නොසිතිය හැකි ලෙස පැමිණි අවස්ථා ඔබට මුණ ගැසී තිබේ ද? ඔබ කියන්නට ඉඩ ඇති පිළිතුර මගේ කතාවට වඩා බෙහෙවින්ම අදහාගත නොහැකි එකක් වන්නට ඇතැම් විට ඉඩ ඇති බව මම දනිමි. වසර තිහක් තිස්සේ යුද්ධයක් පැවති, භීම සමයන් දෙකක් අතීතයට එක් වූ රටක ජීවත් වූ ඔබ අත්විඳි වේදනා මා කෙසේ නම් අනුමාන කරන්න ද?

එහෙත්, උදෑසන තේ කෝප්පය සාදන්නට වතුර උණුවී අවසන් බව කේතලය ‘ටික්‘ හඬින් දන්වා සිටි මොහොතේ පැමිණි දුරකථන කෙටි පණිවුඩයත්, මා ඉදිරිපිට හිඳ ජයසේකර මහතා කී අවසන් වදන් කිහිපයත් අතර ගෙවී ගිය කාලය හා ඒ අතර සිදුවූ සිදුවීම් කිසිදු අයුරකින් කියවාගන්නට නොහැකි ව ළදරුවකු ලෙස මා කල් ගතකොට ඇති බව මට පසක් වූයේ නිමේෂයකිනි.

සෙමින් නැගී ගොස් ජයසේකර මහතා සමග පසෙකට වී කතා කරන රංගත්, විටින් විට හිස යොමා මදෙස බලා වේදනාබර මුහුණින් එකිනෙකා කොඳුරමින් පිටව යන කාර්යාල සාමාජිකයිනුත්, සිය පරිගණකය ඔස්සේ ලංකාවට ගුවන් ටිකට් පත් විමසන අනුරසිරි මහතාත් මට පෙනුණේ කවර හෝ ලොවකින් පැමිණ මා වටා සරන පිරිසක් ලෙසිනි. එකදු කඳුලක් හෝ නෙතට නොආව ද දැඩි යමකින් මගේ දෙකන් හිර කොට ඇති බව මට දැණින.

හෙට ගන්න පුළුවන් ටිකට් එකක් හැබැයි මෙල්බර්න්වලින්... එහෙට යන්න වෙයි.“ අනුරසිරි මහතා කියා සිටියේ සියළු සෙවීම් කෙළවර ය.

ප්‍රියන්ත තව බලන්න... අද රෑ හරි හෙට පාන්දර හරි සිඩ්නිවලින්ම නගින්න ලැබෙනව නම් හොඳයිනෙ...“

යළි නවාතැනට ඒම සඳහා නැගී සිටි මා වෙත ජයසේකර මහතා කීවේ ය. මම හිස සලමින් ඔහුට එකඟ වීමි.

හන්ටර් වීදියේ උස් ගොඩනැගිලි මුදුන් සුපුරුදු ලෙස අහසට නෙත් යොමා සිටිය හ. කෙමෙන් නැගෙන ශීතය වළකාගන්නට තරමක් ඝණැති ඇඳුමින් සැරසුණු ගැහැණු සහ පිරිමි ඒ තුංග ගොඩනැගිලි අතරින් ඒ මේ අත ඇවිද යමින් සිටිය හ. අද සවස් කාලය එළඹෙත්ම මේ ගොඩනැගිලි වෛවර්ණ බුබුළින් සැරසී තමන් සූදානම් බව කියා සිටිනු ඇත. රාත්‍රියේ විවර වෙන අනේක දොරටුවලින් බොහෝ පිරිස් ඇතුළු ව සිය සතුටු සාද අරඹනු ඇත.

එසේ වුවද, ඒ සිකුරාදාවක් නමුත් තවත් එක් සිකුරාදවක් නොවන බව ඔවුන් නොදැන සිටිනු ඇත.

මම රංගට ඈතින් මතුව අප දෙසට එන නොමිල බස් රථය දැක්වූයෙමි.

අරකට නැගගමු!“

6 comments:

  1. මේ සිදුවීමේ මට එදත් හිතා ගන්නට බැරිවුණේ අර කොන්සල් කාර්යාලයේ සේවකයා (ජයසේකර) ඔබේ කාලයෙන් පැය කිහිපයක් විනාශ කළේ ඇයි කියායි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඒක කලින් පළපුරුද්දක් තියෙන දෙයක් නෙවෙන නිසා වෙන්නැති. අපෙ අයිය ඒ විදියට ඉල්ලුව ද දන්නෙත් නෑ... කොහොම වුණහම මොකද ඒක අතකට?

      Delete
  2. ඔහොම නරක ආරංචියක් කියනකොට, කල්මරණ එක, තත්ත්වය තනුක කිරීමට පාවිච්චි කරන් අපේ සම්ප්‍රධායික ක්‍රමයක්. ජයසේකර මහතා එච්චර කල් ගත්තෙ ඒ නිසා වෙන්ටෑ?

    ReplyDelete
    Replies
    1. ආච්චි වහළෙ උඩ කතාව මතක් වුණා!

      Delete
  3. Rasika consul general wenna hadanawa wagei

    ReplyDelete