Thursday, January 23, 2014

‘සිල්ලර‘ ජීවිත



(2012 - ජූනි)

මාකට් වීදියේ පටු පදික වේදිකාව දිග ඇවිද යන විවිධාකාර මිනිස් ප්‍රාණීන් අතරින් හිස නිදහස් කරගත් මම සිටොන් සහ නෝමන් පෙනෙන ඉසව්වක වේ දැයි හැරී බැලුවෙමි. රාජ්‍ය රඟහල දොරටුවෙන් පිටතට ඇදෙන මහ සෙනඟ අතරින් වීදියට පිවිස තිබුණු ඒ දෙදෙන ඒ වන විටත් මවෙත ලංවෙමින් උන් හ. සුපුරුදු පරිදි නෝමන්ගේ තැන්පත් කතා බහට සිටොන් පිළිතුරු සැපයූවේ උස් හඬිනි. මවෙත පැමිණි දෙදෙන, නොනැවතීම, ගමනට මට අතින් සන් කරමින් පෙරට ඇදෙන්නට වූ හ.

'A Simple Life'
“ජුන්ග්ගෙ කැපකිරීම් මැද්දෙ රොජර් මුලදි නිස්සද්දව ඉන්න එක ඔයා තේරුම්ගන්නෙ කොහොම ද?“ 

නෝමන් කියූ දෙයකට සිටොන් හඬ නගා ඔහු වෙත ප්‍රශ්නයක් යොමු කරයි. නෝමන්ගේ පිළිතුර මට පැහැදිලි නැත. වීදියේ දිවෙන රථවල හඬත්, වැසි පොද පදිකයන්ගේ හිසට ඉහළින් තැබූ කුඩ මත පතිතව නගන හඬත් නෝමන්ගේ හඬ මකා දමමින් නැගෙයි.

සිටොන් මට හමුවූයේ නෝමන්ගේ හඳුන්වා දීමෙනි. චීන ජාතික යුවතියක් වූ ඇය සිය ආචාර්ය උපාධිය සඳහා නෝමන්ගේ අධ්‍යයන අංශය වූ සංස්කෘතික අධ්‍යයන අංශයේම පර්යේෂණයක නිරත ව උන්නා ය. කෙටිව කැපූ කොණ්ඩයත්, හැඳ සිටින රළු ඇඳුමත් නිසා පමණක් නොව අනෙකුත් ක්‍රියා පටිපාටීන්ගෙන් ද ඇය පළ කළේ සියුමැලි යුවතියකගේ රුව ගුණ නොවේ. තරමක් දුරට ඇයටම ආවේණික ස්වරූපයක් ගත් ඇගේ ගමන් විලාසය, කතා ස්වභාවය ඇතුළු සියල්ල නිතර හමුවන චීන යුවතියගෙන් වෙනස් තැනක ඇය පිහිවුවා තැබුවේ ය. 

“සිටොන් හරිම දක්ෂයි. එයා මෙහෙ එද්දි එයාට හරියට ඉංග්‍රීසිවත් බැහැලු. දැන් බලන්න! එයා හොඳට කතා කරනව විතරක් නෙවෙයි, දක්ෂම ළමයි ගොඩටත් ගිහින්... ජේන් එයාට හරිම කැමතියි!“

මුල් දිනයේ සිටොන් හඳුන්වා දුන් පසු, ඇයගෙන් සමුගෙන එද්දී නෝමන් කී බව මට මතක ය. ජේන් යනු සිටොන්ගේත් නෝමන්ගේත් ආචාර්ය උපාධි නිබන්ධනවල උපදේශිකාවයි. ඇය කොරියානු ජාතික ආචාර්යවරියකි. සංස්කෘතික අධ්‍යයන අංශයේ සිටින දක්ෂතම ආචාර්යවරියන් අතර ඇය ද වන බව වරෙක ලලීන් මා සමග කියා ඇත. 

“කොහොමද ප්‍රියන්ත...? ඔයාට ෆිල්ම් එක හොඳයි ද?“ මවෙත හැරෙමින් සිටොන් විමසුවා ය. 

“ඔව්. ඒක ගොඩක් හොඳයි! මට හරියට දැනුණු කතාවක්“ මම පිළිවදන් දුනිමි.

“ඒක තමයි නේද? මේ සරල කතන්දර අපිව අල්ලගන්න තරම!“

යළි වැසි පොදෙන් බේරෙන්නට කුඩය තුළ හිස සඟවා ගනිමින් ඇය ඉදිරියට හැරුණා ය.

මහ සෙනඟ අතරින් ඉදිරියට ඇවිද යන සිටොන් මට යළිත් සිහි කැඳවන්නේ රාජ්‍ය රඟහල තිරයේ ඇඳී අප කම්පනය කළ චුන්ග්ගේ රූපකායයි. චුන්ග් තරුණ වයසේ සිටොන් මෙන්ම කඩිසරව ඇවිද යමින් සිය ස්වාමි දරුවන්ට අලුත් එළවළු ගෙන එන්නට කඩ පළ වෙත යන්නට ඇත. එහෙත් අපට තිරයේ හමු වුණේ ඇගේ මහළු අවදියයි. හැත්තෑ විය ඉක්ම ගොස්, සිය ස්වාමියා වන, ළමා කල පටන් හදා වඩාගත්, රොජර් එනතුරු මව් සෙනෙහස සම සෙනෙහසක් පෙරදැරිව මග බලා සිටින ජුන්ග්ගේ ජීවිතයයි.

ජුන්ග් හා රොජර් යනු A Simple Life චිත්‍රපටයේ ප්‍රධාන චරිතයෝ ය. ඈන් හුයි විසින් අධ්‍යක්ෂණය කරන ලද එය චීන භාෂිත, හොංකොං ජාතික සිනමාවෙන් ආ සිනමා පටයකි. සිඩ්නි සිනමා උළෙල නියෝජනය කරමින් තිරගත වුණු එය  හොංකොං සිනමාවේ නව රැල්ල පිළිබඳ මනා සන්නිදර්ශනයක් වූවා සේම ජීවිතය පිළිබඳව සුමටව ගලන රූපවලින් ලියූ කවියක් ද විය. ඈන් හුයි නැමති ප්‍රකට හොංකොං සිනමා අධ්‍යක්ෂවරිය ඒ නිර්මාණය කොට ඇත.

ජුන්ග් හැත්තෑ විය ඉක්මවූ ගැහැණියකි. ලියුන්ග් පවුලේ සේවිකාව වන ඇය එහි පරම්පරා හතරකට සිය සේවය සපයා ඇත. ඇය අපට හමුවන විට සිටින්නේ තරුණ රොජර් ලියුන්ග් සමග ය. රොජර් සිනමා අධ්‍යක්ෂවරයෙකි. සිය සිනමා කෘති සඳහා නිෂ්පාදකයින් සොයා යන්නටත්, ඔවුන් සමග හෙට්ටු කරන්නටත් කාලය ගතවන රොජර් යළි නිවසට එන්නේ සැමදා දකින මහළු ජුන්ග් හා සාමීචියේ යෙදෙන්නට නොවේ. එහෙත් ජුන්ග් සුපුරුදු ලෙස කඩපළට ගොස්, ඇය මුලා කොට අධි ශීත කාමරයේ මොහොතක් තබා සිනාසෙන්නට බලා සිටින වෙළෙන්දන්ටත් හසු වී, අලුත් එළවළු හා මස් මාළු ගෙනැවිත් උයා තබා ඔහු එන මග බලා සිටින්නී ය. නිහඬව නිවසට විත් කෑදර ලෙස අහර ගන්නා තරුණ ස්වාමියාට රස මසවුළු සපයා, තනිකම මකන බළලාගේද කුසගිනි නිවා සැනහී නිහඬව නින්දට යන දිවියක් ජුන්ග්ට හිමි ය.

සියල්ල උඩු යටිකුරු වන්නේ හදිසියේ ම දිනක ඇය රෝගාතුර වීමත් සමග ය. අංශභාග රෝගියකු ලෙස ජුන්ග් රෝහල්ගත වෙද්දී, ඉන් නික්ම ඇගේම කැමැත්තෙන් වැඩිහිටි නිවාසයකට යද්දී, තමන් හා නිවසේ විසූ මහළු  ගැහැණියගේ මව් ගුණය රොජර්ට දැනෙන්නට ගනියි. නොලැබෙන අහර පිඟන්, නොසේදී ගොඩ ගැසෙන ඇඳුම්, අපිළිවෙල පාළු නිවහන ඇතුළු සියල්ල රොජර් වෙත පහදන්නේ ඇය ඔහුගේ ජීවිතයේ විශාල කොටසක් ව උන් බවයි. පෙර දිනවල නිවසේ සිටියදීත් ඇය දෙස හැරී නොබැලූ රොජර් ඇය සොයා ඇය සිටින වැඩිහිටි නිවාසයට යයි. ඇය කැටිව එළිමහනේ ඇවිදින්නට යයි. අවසානයේ සිය චිත්‍රපටයේ මංගල දර්ශනයට ද ඇය කැඳවාගෙන එයි. අසාර්ථක සිතුවම ඉදිරියේ නැගිට මග හැර යන ප්‍රේක්ෂාගාරයෙන් පසු රොජර්ට මුණ ගැසෙන්නේ මහළු ජුන්ග් ය. ඇය දරු පෙමට සම පෙමකින් ඔහුගේ අත ගෙන වීදිය දිග ඇවිද යයි.

“මම දැක්ක... ඔයාගෙ චිත්‍රපටිය වෙලාවෙ සමහරු නැගිටල යන්න ගියා. මම හිතුව ඒ ගොල්ලො වොෂ් රූම් එකට ගිහින් එන්න යනව ඇති කියල. ඒත් කවුරුත් ආපහු ආවෙ නැහැ!“ ඇය රොජර්ට කියයි.

“ඒ ගොල්ලො ගියේ චිත්‍රපටිය හරි නැති නිසා... ඒ ගොල්ලො කැමති වුණේ නැහැ ඉවර වෙලා මාව මුණගැහෙන්න...“

“චිත්‍රපටිය හරි නැහැ? නැහැ... ඒක හරිම හොඳ එකක්!“



අභිමානයෙන් යුතුව දිවි ගෙවන ජුන්ග් වැඩිහිටි නිවාසයේ දී විවිධ ජීවිත හඳුනාගනියි. ඒ විවිධාකාර ය. ඇතැමෙක් සිය අහිමි වුණු තරුණ දිවිය ගැන දුක් වෙති. තවකෙක්  දිවියේ කටොළුවලින් මිදී ආ මහළු විය සතුටින් පිළිගෙන මරණය එන තෙක් බලා සිටිති. සිය දූ දරුවන් එනතුරු මග බලා සිටින අය ද විශාල ය. ඒ අතර සිටින සෙල්ලක්කාර කින්ග් අන්කල් ජුන්ග් ඇතුළු සියල්ලන් රවටමින් මුදල් ඉල්ලාගෙන ගණිකාවන් සොයා යයි.

අවසානයේ ජුන්ග් මිය යයි. වේදනාවෙන් යුතුව පවුලේ සාමාජිකයින් සමග එක්ව රොජර් ඇගේ අවසන් කටයුතු කරන ශාලාවට සෙල්ලක්කාර කින්ග් අන්කල් පැමිණෙන්නේ සුපුරුදු ලෙස වෙනකකු රවටා ඉල්ලාගත් මුදලකින් ගත් සුදු මල් පොකුරක් සහිතව ය. 

සුප්‍රකට ඇමරිකානු සිනමා විචාරක රොජර් ඊබර්ට් චිත්‍රපටය ගැන තබන්නේ මෙවැනි සඳහනකි.

“මිනිස් සන්තානයේ ඇති බලාපොරොත්තුව පිළිබඳ හැඟීම මේ චිත්‍රපටය චිත්‍රණය කරනවා. මේ වසරේ විශිෂ්ඨතම චිත්‍රපට අතරින් එකක් මේක!“

ජුන්ග්ගේ නික්ම යාම පිළිබඳ සඳහනත් සමග දැණුනු කම්පාව මුසු හැඟීමත්, ජුන්ග්, රොජර්, කින්ග් අන්කල් ඇතුළු චරිත හරහා පෙනී ගිය මානව ගුණයනුත් පිළිබඳ ඇවුළුණු සිතුවිලිත් සමග ය, මම මාකට් වීදියේ ඇවිද ගියේ. එහෙත් තිරයේ පැයක දෙකක කාලය තුළ මැවී මැකුණු ජුන්ග් හරහා නැගී මාගේ ඉදිරියෙන් ඇවිද යන සිටොන්ගේ රූපකාය හරහා යළි සිහියට කැඳවන අතීත මතකයෙන් එන තවත් එක් කුඩා ගැහැණියක් මසිත සරන බව මට දැනේ. ඇය මගේ නැන්දා ය.

ජුන්ග් පරම්පරා හතරක ලියුන්ග් පවුලේ දරුවන් රැක බලාගත් සේම අපේ නැන්දා ද කුඩා කළ පටන් අප තිදෙනාත්, බාප්පාගේ දරුවනුත් රැක බලා ගත්තා ය. අපට අහර සරි කර දී, නහවා, පාසැල් යවා, අපගේ සියළු කටයුතු ඉටු කර දුන්නා ය.

ඇය තාත්තිගේ පවුලේ එකම සොයුරියයි. ඉතා අවිහිංසක ගැහැණියක් වූ අපේ නැන්දා මගේ මතකය තුළ මැවෙන්නේ පාසැල් අවදියේ මහවැලිය වෙත අප නාවන්නට කැඳවාගෙන ගිය යුගයේ සිට ය. අම්මාගෙන් හා තාත්තිගෙන් දුරස්ව මහ ගෙදර උන් අවදියේ ආච්චි ද සමග එක්ව අපේ සියලු අඩුපාඩු සොයා බැලූ ඈ පාන්දර නැගිට ආච්චි ද සමග අපේ අහර සකසනායුරු මට අද ද සිහි කළ හැක.

“හීන් දුව නැගිටපන්...! කොල්ලන්ට උයන්ට එපැයි දැන්...“

එදවස මාත් මල්ලීත් අවදිවන්නේ ද ආච්චි නැන්දා අවදි කරවන්නට කුස්සිය දෙස සිට කෑ ගසන හඬට ය.

“පුතා... මෙන්න තේ බොන්න...“

“පුතා... මෙන්න බත් බෙදලා...“

“පුතා.... මෙන්න කෑම පාර්සලේ...“

නැන්දා අවිවාහක ය. ඇය විවාහ නොවුණේ ඇගේ දිවිය පිළිබඳ සියළු තීරණ වටපිටාව විසින් ගනු ලැබූ නිසාවෙන් ද? ඇගේ දිවියේ කුමන තීරණයක් ඇය විසින්ම ගනු ලැබූ ඒවා ද? යන්තම් මතකයට නගා ගත හැකි අවදියේ සිටම ඇගේ දිවියේ සකලවිධ කාරණා සම්බන්ධයෙන් තීරණ ගත්තේ තාත්තිත් බාප්පලාත් බව මට මතක ඇත. එහෙත් සියල්ල ඉදිරියේ ඇය නිසලව සිටියා ය. සිය මව මෙන්ම බාල සොයුරන්ගෙන් කෙනෙකු ද දිවියෙන් සමුගන්නා අයුරු දැක, නිසලව කඳුළු සලා යළි ජීවිතය දෙසට හැරුණා ය. තමන්ගේ දරුවන්ගේ සතුට හා ජයග්‍රහණ දැක සතුටු වන මවක ලෙසම අප සියල්ලන්ගේම ජීවිත ජයග්‍රහණවලදී සතුටු වූවා ය. තමන්ගේ දිවියේ බලාපොරොත්තු සහ ආශාවන් පිළිබඳ කිසිත් නොකියා ලැබුණු දෙයින් සැනසී නිහඬ වූවා ය.  

අප පාසැල් දිවිය නිමා වන සමයේ ආච්චි මිය ගිය පසු නැන්දා කොළඹ බලා ගියේ මහරගම බාප්පා ළඟ නතර වීමට ය. එයින් පසු ආ සමයේ බාප්පාගේ පුතුන් දෙදෙනාගෙන් තොර ජීවිතයක් ඇයට නොවන බව අපට දැණුනේ මාස ගණනකින් හමු වන විට ඇය ඔවුන්ගේ වග විස්තර අපට කියන්නට ගත් වෙහෙස දකින විට ය. පොඩි මල්ලීගේත්, ලොකු මල්ලීගේත් සියලු තොරතුරු අප වෙත කී ඇය අලුතින් යමෙකු හමුවූ විට කිසිදු වෙහෙසකින් තොරව යළි සියලු තතු මුල සිට කියන්නට ද පසුබට නොවූ වා ය.

“නංගිටත් දැන් වෙන කතාවක් නෑ... මල්ලිගෙ පුතාල ගැන ඇර..“

තාත්ති විටෙක එසේ කීවේ දොසක් ලෙස නොවන්නට ඇත. ඇගේ දරු සෙනෙහස බිණෙන සෑම වදනකම සැඟව තිබුණා ය.

“අපි මෙතනින් යනව ප්‍රියන්ත“ සිටොන් සහ නෝමන් වීදි කෙළවර දී අනෙත් අන්තයට හැරෙමින් කී හ.

“හොඳයි... ඊළඟ ෆිල්ම් එකේ දි හම්බ වෙමු!“

ශ්‍රී පාලියේ සේවය කරන්නට මම හොරණට ගොස් ටික කලකින් නැන්දා යළි මහගෙදරට ආවා ය. ගෙවී යන දිවිය පිළිබඳ සඳහන් ගණනාවක් යළි නැන්දා නිවසට ආපසු මට දක්නට ලැබිණ. එහෙත් සති අන්තයක මා නිවසට ආ දිනවල සුපුරුදු ලෙන්ගතු සිනහව සමගින් ඇය මවෙත පැමිණ මෙසේ කීවා ය.

“පුතා... මෙන්න තේ බොන්න...“

මා කුඩා අවදියේ පටන්ම ඇය පෙළූ කැස්ස නිතර නිතර යළි ඇසෙද්දී මම ඇය වෙද නෝනා වෙත කැඳවාගෙන ගියෙමි. ලොහාන් වරෙක මට හඳුන්වා දුන් වෙද නෝනා ද දැඩි කරුණාවකින් යුතුව තමන් වෙත එන රෝගීන්ට සැලකූ ආයුර්වේද වෛද්‍යවරියකි. 

“නැන්දට බෙහෙත් මම ලියල දෙන්නං. එයාට ගොඩක් ඕන වෙන්නෙ ආදරේ... එයා බැඳලත් නැති නිසා ඔයාල කරන දේ එයාට හරියට දැනෙනව. එයාට හිතෙන දේ මට තේරුම් ගන්න පුළුවනි!“

ස්වකීය අවිවාහක ජීවිතය අතර සරමින් නැන්දාගේ තනිකම හා පාළුව පිළිබඳ සංවේදනා වෙද නෝනා මට පැහැදිලි කර දුන්නා ය.

හොරණ සිට නිවස බලා ආ මහ රැයක නැන්දා අසනීප වී නුවර මහ රෝහලට රැගෙන ගිය දවස මට හොඳින් මතක ය. 

“චුට්ටක් පපුව රිදෙනව පුතේ...“

මා නිවසට ගොඩ වදිද්දීම රෝහලට යන්නට මගට බසිමින් ඇය කීවා ය. චූටි බාප්පාත් මල්ලීත් සමග බෙහෙත් ගෙන එන්නට ගිය ඇය යළි නිවස බලා ආවේ නැත.

“ලෝකෙ හිටපු අහිංසකම ගැහැණිය තමයි ප්‍රියන්ත නැති වුණේ!“

දුරු රටක සිටි අයියාට පුවත සැළ කරමින් දුන් දුරකථන පණිවුඩයෙන් සලිතව ඔහු කී වදන් අද ද මදෙසවන නැගෙයි. ඔහු කී දෙයට පිළිතුරු දෙන්නට තරම්වත් ශක්තියක් එදින මට ඉතිරිව තිබුණේ නැත. මිදුලේ කෙළවරක සිටි මම පහළින් පෙනෙන ගෙවත්ත දෙස බලාගෙන කඳුළුවලට ගලන්නට ඉඩ හැරියෙමි. එහි ඇති බොහෝ ගස් නැන්දා විසින් සිටවන ලද බව අම්මා මට කියා තිබිණ.

ජුන්ග් දිවියෙන් සමුගන්නට ආසන්න මොහොතේ රොජර් ඇය රෝද පුටුවේ තබා උද්‍යානය දෙසට කැඳවාගෙන යයි. උත්සන්න වන රෝගය නිසාත්, ශීතලය නිසාත් ගැහෙමින් සිටින ඇය සෙමින් මෙසේ මුමුණයි.

“මට රෝස් කරපු තාරාවෙක් ඕන... නූඩ්ල්ස් එක්ක...“

නැන්දා කිසි දිනෙක කිසිවක් ඉල්ලා සිටියේ නැත.

ඇගේ වියෝවෙන් පීඩිතව උන් පසු දිනෙක මට යළි වෙද නෝනා හමු විය.

“කොහොමද දැන් නැන්දා...?“

“එයා නැති වුණා!“ මම පිළිතුරු දුන්නේ ආයාසයෙනි.

“අනේ... එයා හරිම අහිංසක කෙනෙක්. මොකද වුණේ එයාගෙ කැස්සට...? ඒක කවදාවත් හොඳ වුණේ නැද්ද?“

“නැහැ වෙද නෝන... ඒක හොඳ වුණා... මට මතක හැටියට අන්තිම කාලෙම ඒ කැස්ස තිබුණෙ නැහැ!“

“ඔයා හොඳ දෙයක් කළා. එදා එයාට බෙහෙත් අරන් දෙද්දි එයාගෙ හැඟීම ඔයාට කිව්වෙ නැතත් එයාට ඒක දැනෙන්න ඇති. දිග කාලයක් තිබුණු කැස්සක් හොඳ කරපු එක කොච්චර දෙයක් ද? ඔයාට සතුටු වෙන්න පුළුවන්...!“


මධ්‍යම දුම්රිය පළ අභියසින් මම රීජන්ට් වීදිය දෙසට හැරුණෙමි. ඇබොරජින ජාතික සිඟන ගැහැණියක් මවෙත අත පෑවා ය. මවෙත ඩොලරයක්වත් නැත. මම ඇය දෙස බලා සිනාසුනෙමි. මා වටහාගත් අයුරකින් ඇය ද සිනාවක් පෑවා ය.

සේයාරුව - http://www.filmmonthly.com/wp-content/uploads/2013/02/A-Simple-Life-Still.jpg

8 comments:

  1. හැමදාමත් වගේ අදත් බොහොම සංවේදී සටහනක් ප්‍රියන්ත. චිත්‍රපටයේ කතාව, ඔබගේ වර්තමානය සහ අතීතය ඔබ ගලපන අයුරු විශිෂ්ටයි. මෙහි මාතෘකාවට භාවිත 'සිල්ලර' යන වචනය, ඔබට අවශ්‍ය වූ අදහසම දෙනවද කියලා පොඩි සැකයක් තියනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර,

      සිල්ලර ලෙස නොලියා ‘සිල්ලර‘ ලෙස ලිව්වෙ ඒකයි. ඔබ කිව්ව දේම මට සිතුණු නිසා උපුටාගැනීමේ ලකුණට ගියා.

      Delete
  2. උදේම කඳුලක් ඇස් දෙකට මෝදු උනේ මටත් ඔබේ නැන්දා වගේම පුංචි අම්මෙක් ඉන්න හින්දාද මන්දා.... ඊගාව ලිපියත් ඉක්මනට ලියන්න...

    ReplyDelete
  3. චිත්‍රපටියටත් වඩා සිත සසල කලේ නැන්දාගේ කතාව...

    ReplyDelete
  4. මේ දවස්වල ඇඬෙනවා වැඩියි... මේ පහුගිය දවස් දෙකට මටත් හොරෙන් ඇස් දෙකෙන් කඳුළු බේරුණු දෙවනි වතාව...

    ReplyDelete
  5. මගේත් මේ හා ලඟින් යන අත්දැකීමක් තියෙනවා.

    මං හිතන්නේ මෙහි සැඟවුණු කතාව මීටත් වඩා දුකයි.

    ReplyDelete
  6. ඔබ නිතරම කරන ආකාරයට සිද්දීන් දෙකක් මනාව ගලපලා තියෙනවා ප්‍රියන්ත.
    කෙනෙකුගේ හිතේ උපදින නිර්මාණයක්, සැබෑ ජීවිතයට කොතරම් සමගාමී වෙනවද යන්නට ඔබට තරම් හොදින් අකුරු කරන්නට හැකි කෙනෙක් මටනම් හමුවෙලා නැහැ.

    තව දෙයක්,

    බ්ලොග් ලොකයේ මම දැකපු දෙයක් තමයි, බොහෝ අය හිට්ස් සොයා යෑම. ඒ මානසිකත්වයට නොවැටී නිර්මාණකරනයේ යෙදීමම ඔබගේ පෞර්ෂය කදිමට විදහාපාන්නක්.

    ReplyDelete
  7. බ්ලොග් කියවන්නට ඇති ආසාව හින්දාම නිදිමරමින් අන්තර්ජාලයේ නාස්තිකරන කාලයට වටිනාකමක් දෙනවාට ස්තූතියි...

    ReplyDelete