Wednesday, December 18, 2013

සොහොයුරිය



( 2012 ජූනි)
මම යළි පහළ වීදිය දෙස බැලුවෙමි. 

අලුත විවාපත් යුවළක් විවාහ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටතට පැමිණ මිතුරු කැළ හා සිනාසෙමින් ඡායාරූප ගනිති. විසිතුරු ඇඳුමින් සැරසුණු යහළු යෙහෙළියෝ යුවල වෙත විවිධ කෝණයෙන් කැමරා මානමින් නොයෙක් දේ කියන බව පෙනුන ද මා සිටින තැනට ඔවුන්ගේ හඬ පැහැදිලි ව ඇසෙන්නේ නැත. මග දිවෙන වාහනවලින් නැගෙන ඒකාකාරී එන්ජින් හඬත්, දකුණු පස ඈතින් පෙනෙන දුම්රිය මගෙහි නිරතුරුව ඇදෙන දුම්රියවල යකඩ රෝද පීලිවල ගැටෙද්දී නැගෙන කිරි කිරියත්‍ හාත්පස නැගෙන මිනිස් හඬවල් ඉක්මවා ඇත. 

පහළින් දිවෙන වීදියේ යනෙන මිනිසුන් දෙස බලා සිටින්නට මා බැල්කනියට පැමිණියේ බොහෝ වේලාවකට පෙර ය. එක් පසෙකට පමණක් වාහන දිවෙන වීදියේ පදික වේදිකා මතින් යන මිනිස්සු එක්කෝ අප නවාතැන පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ වූ කුඩා වෙළඳ සැළට ගොඩ වන්නට හෝ  නැතිනම් වීදියේ ඉහළට වන්නට තිබෙන විවාහ රෙජිස්ටාර් කාර්යාලයට ගොඩ වන්නට ඇවිද යන්නෝ ය. ඒත් නැතිනම් ඔවුන්ගේ ගමන් කෙළවර වන්නේ වීදි කෙළවර පිහිටි බ්‍රෝඩ්වේ බීම හළට ගොඩ වැදී බීර ජෝගුවක් ඇණවුම් කිරීමෙනි. 

ඡායාරූප ගැනීම් නිම කළ යුවළ මිතුරන්ට සමු දී සිය රිය වෙත පිය නගනු පෙනේ. ඔවුන්ගේ මිතුරු කැළ කුමක් හෝ කියා කෑ ගැසුව ද මට ඇසුණේ වදන්වලට පසු නැගුණු සිනා හඬ පමණි. 

වටපිටාවේ විවිධ හඬ නැගුණ ද බැල්කනියට වී සිටින මගේ හාත්පස සිසාරා නැගෙන්නේ ගුප්ත නිහැඬියාවකි. එය භෞතික ව නැගෙන පරිසර ශබ්දයෙන් යටපත් වන්නක් නොවේ. නව රැකියාවක සේයාවකුදු නැතිව ගෙවෙන ඒකාකාරී දින, එනිසාම සිත් එක්තැන් කරගන්නට නොහැකි නිසා දිනෙන් දින පසු කෙරෙන අධ්‍යයන කටයුතු ආදී සියල්ල හේතුවෙන් සිත තුළ නැගෙන තැවුලත්, දුරු රටක නෑ සිය මිතුරන්ගෙන් දුරස්ථ ජීවිතයේ සංතාපයත් නිර්මාණය කර දී ඇති වටපිටාව රුදුරු නිහඬතාවක් වර්ධනය කරයි. 
 
නිහඬතාව! මගේ පර්යේෂණයේ මූල මාතෘකාව එයයි. 90 දශක ආරම්භයෙන් පසු විහිදෙන ලාංකික සිනමාවේ කෙමෙන් වැඩී නැගුණු, පෙර අවදිවලට වඩා ඉහළින් හමු වන නිහඬතාව ඔස්සේ මම ලාංකික සිනමාවේ මෑත අවධිය පිළිබඳ පර්යේෂණයක නිරත වෙමි. ‘පුරහඳ කළුවර‘ චිත්‍රපටයේ වන්නිහාමිගේ, ‘මේ මගේ සඳයි‍‘ හි ද්‍රවිඩ තරුණියගේ නිහඬතාවෙහි සිට ‘How I wonder what you are හි කැතී හා ඩීගේ, ‘ඉගිල්ලෙන මාළුවො‍‍්‍‘ හි වියපත් ග්‍රාමාරක්ෂකයාගේ  නිහඬතාව තෙක්ම මගේ පර්යේෂණය විහිද යනු ඇත. යම් පුද්ගලයකු වෙතින් නිහඬතාව මතු ව එන්නේ ප්‍රකාශ කළ නොහෙන තරම් සංතාපයන්, කම්පනයන් හා වික්ෂිප්තයන් ඔහු හෝ ඇය ඉදිරියේ නැගුණු විට ද? පිළිතුරු සොයාගත නොහෙන උභතෝකෝටිකයන් අභියස ද? අනාගතය පිළිබඳ නැගෙන අවිනිශ්චිතතා හමුවේ ද?  නොඑසේනම් මේ සියලු කාරණා අභිමුව ද? 

යුද්ධ, තරුණ කැරලි, ස්වභාවික ව්‍යසන ආදිය හේතුවෙන් තමන් වෙත ආ දරුණු කම්පනයන් හමුවේ ගොළු වී, කියා නිම කළ නොහෙන වේදනා හා සංතාපයන්ට ගොදුරු වූ දහස් ගණන් මාපිය දූදරුවෝ අපේ රට තුළ සිටිති. එසේ නමුත්, මේ කිසිවකට මුහුණ නොදී, සිය ජීවිතය තුළින්ම නැගුණු හුදකලා සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් කෙළවර කෙමෙන් නිහඬව බව සොයා ඇදෙන මිනිසුන් මහ නගරවලත්, දුර බැහැර ගම්දනව්වලත් ඇති සිය බිත්ති සීමාවන්ට කොටු වී ජීවිතය නොගෙවයි ද? අහිමි වූ ප්‍රේමයන්ගේ දිගුකාලීන සංවේදනා, කුඩා කල පටන් අත්විඳි තනිකම නිසා නැගුණු දෝමනස්සයන්, දූ දරුවන්ගෙන් දිගුකලක් ඈත්ව ඉන්නට සිදුවීමේ කම්පාවන් ඇතුළු දහසක් වූ ආත්මීය හේතු මුල් කොටගත් මිනිසුන් වදනකට නැගිය නොහැකි සිය කම්පාවන් කෙළවර නිහඬව දිවි ගෙවන අයුරු මට කොතෙකුත් හමු වී ඇත. 

නිහඬතාව පිළිබඳව ලියැවුණු ශාස්ත්‍රීය ලේඛණ ගණනාවක් පසුගිය සතියේ විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් තෝරා නවාතැනට ගෙන ආ මුත් තවමත් ඒ දෙසට නෙත යොමන්නට නොහැකි වූ බව සිහි වුණු මම බැල්කනියෙන් නික්ම කාමරය තුළට පිවිසියෙමි. සිය ඇඳ මත සිට පරිගණක තිරයට නෙත් යොමා උන් පැට්‍රික් මට සිනාවක් පෑවේ ය. පිළිතුරු සිනාවකින් ඔහුට සංග්‍රහ කළ මම කුඩා මේසය වෙත වාඩි වී පුස්තකාල පොතක් අතට ගත්තෙමි. 

නිහඬතාව තවත් භාෂා ස්වරූපයක් ලෙස හඳුනාගන්නා ඇඩම් ජවොස්කි එහි ඇති ශක්‍යතා පිළිබඳ මාහැඟි කරුණු රැසක් ගෙනහැර දක්වයි. ලෙරෝයි බ්‍රවුන්ලෝ සිය පැහැදිලි කිරීමක් අවසන මෙසේ ලියයි.

“නිශ්ශබ්දතාවට ඉහළ ම හඬ හිමි වන අවස්ථා පවතී!“

මහත් නිහඬතා මැද දිවි ගෙවන මිනිසුන්ගේ සිත් තුළින් නැගෙන, වදනකට නොනැගෙන ‘හඬ‘ කෙතරම් ද? මට එක්වරම අම්මා සිහිවෙයි.

“පුතාලගෙ අම්මට තනියක් නොදැනෙන්න තිබ්බ දුවෙක් හිටිය නං!“

කවුරුන් හෝ ඥාතිවරයකු මා සමග කීවේ අම්මා නිහඬ ව කල්පනාවක නිමග්න ව සිටිනු දුටු මොහොතක ය.
“කොල්ලන්ට ඉතින් අම්ම ළඟටම වෙලා ඉන්න බැහැනෙ. දුවෙක් හිටිය නං අම්ම තනි වෙන්නෙ නැහැ!“
අම්මා තමන්ට තනිකමක් හෝ පාළුවක් දැනේ යැයි කිසිවිට කියා නැතත් ‘දුවෙක් සිටියා නම් අගෙයි‘ කියා බොහෝ විට කියා ඇත‍.

“හැමෝම හිතුව චූටි පුතා ඉපදෙන්න ඉද්දි ඒ ලැබෙන්නෙ කෙල්ලෙක් වෙයි කියල!“

තුන් හැවිරිදි වියේ දී සිය මව අහිමි වුණු අපේ අම්මා සිය ළමා කාලය ගෙවා ඇත්තේ කිරි අත්තා සහ කිරි අම්මා සමග ය. සහෝදර සහෝදරියන් නොවූ ඇය විවාහයෙන් පසු පැමිණ තාත්ති සමග තේ වතු නිල නිවාසවල නතර වී ඇති අතර උදයේම සේවයට යන තාත්ති යළි සවස එනතුරු ඒවායේ රැඳී සිට ඇත්තේ තනිව ය‍. අයියා, මම සහ මල්ලී ඉපදුණු පසු ඇගේ ජීවිතය මඳකට වෙනස් වන්නට ඇතත් තිදෙනාම යන්තම් පස්විය පිරී යද්දී පාසැල් ගමන සඳහා මහගෙදරට එවා යළි තනිකම වෙත හැරෙන්නට ඇයට සිදු වී ඇත.

සිදු වූ සියල්ල ඉමහත් වේදනා කැඳවූ ඒවා බව ඇය කිසි දින කියා නැත. තනිකමින් ගෙවුණු ළමා විය, නිහඬ තරුණ විය, දරුවන් ළඟ නැතිව ගෙවුණු මැදි විය හා බැඳුණ ඇගේ ජීවිතයේ සංවේදනා නොලියවුණු මහා වෘත්තාන්තයකැයි මට සිතේ. ගම්මානයේ ඇයට සිටි එකම මිතුරිය වූ කමලා සමග කෙළිදෙලෙන් ගෙවුණු සීමිත සමයන් පිළිබඳ ලියැවී ඇගේ පැරණි සටහන් පොතකින් හමු වූ කවි පද කිහිපය ඒ නොලියවුණු පවතේ පෙරවදනයි.

අම්මාට දියණියක සිටියේ නම් ඒ මගේ සොහොයුරිය වනු ඇත. වැඩිමහල් සොයුරියක හෝ නැගණියක සිටියේ නම් මගේ ජීවිතය වෙනස් වන්නට තිබුණු ආකාරය මට අනුමාන කරන්නට නොහැක. සිතුවිලි අතර සරමින් මම පරිගණකය පණ ගන්වා ඊ මේල පණිවුඩ අතරට නෙත් යැවීමි.

“ප්‍රියන්ත අයියෙ, අනේ ඔයාට ලියන්න දවස ගානෙ මතක් වුණා... මේ දවස්වල පියවි සිහියෙන් හිටියෙම නෑ.... ගොඩක් වැඩ තිබුණ... හොඳම යාළුවෙක් බැන්ද... අපි දෙන්නම ඒකට හිර වුණා....“

අලුත් ඊ මේල අතර වුණු හංසමාලි නංගීගේ ලිපිය වෙත පිවිසුණු මම එය කියවන්නට පටන් ගතිමි. පෙර දිනක මා ලියූ බ්ලොග් ලිපි ගැනත්, ඒ හරහා නැගුණු දොම්නස සහ සොම්නස ගැනත් ඇය බොහෝ දේ ලියා ඇත.         

“ප්‍රියන්ත අයිය හිත අවුල් කරගන්න ඕන නැහැ. ඔයාට ඉක්මණින්ම අලුත් රස්සාවක් ලැබෙයි. හරි අමාරු බව මට තේරෙනව. ඒත් කොහොම හරි වැඩ කරන්න.“

මට කිසි දිනෙක හංසමාලි නංගී හමු වී නැත. මා ඇය හඳුනාගන්නේ මගේ ‘සිඩ්නි සිතුවිලි‘ දැක එවූ ඊ-මේලයකිනි. ඉමහත් සතුටකින් මගේ ලියවිලි අගයා තිබුණු ඇය දිවියේ දුෂ්කර මොහොතක් පසු කර යන්නට අවශ්‍ය දිරිය මවෙත අකුරු කර තිබුණා ය. රීජන්ට් නවාතැනේ ගෙවුණු සැඳෑවන්හිදී ලියූ ලිපි කිහිපයකින් පසු අපි මිතුරන් බවට පත් වීමු.

“අයිය පැට්‍රික්ගෙ අම්ම ගැන ලියල තියෙන දේවල් මේ තරම්ම අපේ හිත්වලට දැනෙන්නෙ ඇයි? ඒක කියන්න බැරි හැඟීමක් නේද? අපේ අම්මම තමයි අපට හැම තැනම මුණ ගැහෙන්නෙ!“

ඇතැම් දිනවල ඇය ගූගල් සංවාදයක් අරඹමින් මවෙත ලියා තබයි. සාහිත්‍යය, කලාව පිළිබඳ මහත් ඇල්මක් දක්වන ඇය රාජකාරිය අතරතුර ලැබෙන ඉසිඹුවලදීත්, නිවසේ දී ලැබෙන විරාම අතරත් බ්ලොග් ලොව සැරිසරයි. හමුවන නව, ආකර්ෂණීය බ්ලොග් අඩවි ගැන ලියා එවයි.

“අයිය කියවල ඇති නේද කෙහෙල්කොටුවෙ චූටි මහත්තයගෙ කතා? අර බුද්ධි කියල කෙනෙක් ලියන්නෙ? ඒවටත් මං කැමතියි. වෙලාවකට හොඳටම හිනා යනව. ඒ වුණත් හරි අව්‍යාජයි!“

නැරඹූ සිනමා පට ගැන, කියවූ කවි පද ගැන ඇය ලියන්නේ ඇගේ කියවීමත් සමග ය. දීර්ඝ ලිපි කෙළවර සුපුරුදු ස්වරයකට ප්‍රවේශ වන ඇය සෑම ලිපියක් කෙළවරම මෙසේ ලියයි.

“ප්‍රියන්ත අයිය පරිස්සමින් ඉන්න. ඔයා ආව වැඩේ කරන්න එපායැ මොනව වුණත්. හැමදේම ඉක්මණින් හොඳ අතට හැරෙයි. මම ආයෙත් ඉක්මණින් ලියන්නං“

“අයියාට බුදු සරණයි! - මම හංසි නංගි “

පරිගණකය වසා දැමූ මම යළි බැල්කනිය දෙසට පිය මැන්නෙමි. සෝදා තෙතබරිතව ඇති ගවුමක් අතින් ගත් සොයි එය බැල්කනියේ රෙදි රාක්කය මත දිග හරින්නී ය. ඇගේ උණුසුම් සිනහවට පෙරළා පිළිතුරු දුන් මම පහළ වීදිය දෙස යළිත් නෙත් යොමා බැලීමි. පහළ වීදිය නිසල ය. වීදිය දිග ඇවිද යන කිසිවකුත් පෙනෙන්නට නැත.

මම සෙමෙන් දෙනෙත් පියා ගතිමි. බිඳ වැටුණු මොහොතවල දී යළි දිරි ලැබෙන තුරු, මනස සතපවන්නට, මම භාවනා කොට නැත. එහෙත් දිරිය අවැසි තැන, ඒ ගෙන මවෙත එන ළබැඳියන් සිහිකර නිහඬ වන්නට මම කැමති ය. දෙනෙත් වසා ඔවුන් පිළිබඳ මෙනෙහි කරන්නට කැමති ය.

අම්මා, තාත්තී, අයියා සහ මල්ලී, නිරූ ඇතුළු සමීපතමයින් මා අසළ වන බව මට දැනෙයි. ඔවුන්ගේ රූ මා අභිමුව ඇඳෙයි.

“අයියාට බුදු සරණයි!“

සොයි කඩිසර ගමනින් යළි කාමරය දෙසට දිව යන හඬ මකා දමමින් සොයුරියකගේ ඇමතුමක් සවන් වෙත නැගෙයි. ඒ හඬට හිමි රුවක් තවම නැත.

6 comments:

  1. ඔබ අම්මා සහ පවුලේ ගැහැනු අයෙක් සිටියානම් කියලා ලිපිය ලියා තිබෙනවා.
    මට ඇත්තටම ඔබකියන මව සහ සොයුරියක් හිමියි. නමුත් අප අතර එතරම්ම තද බැඳීමක් තිබුනෙ නැහැ.
    මා කුඩාකල සිට විශාල නෑයින් පිරිසක් සමග ඇතිදැඩි වුන අයෙක්. අපේ පවුලේ අයට ළඟපාත ජීවත් වුන අය සහ නෑයින් කියන්නෙ පිට අය වුනේ නැහැ. ඔවුන්ද සැලකුවේ ඔවුන්ගේම දරුවන් වාගේ..
    ඒ වගේම ඒ ගෙවල දරුවන් අපේ ගෙදර ආවත් අපේ අම්මා තාත්තාගෙදර සිටියා නම් සැලකුවේ එයාලගේම දරුවන් වාගේ..
    මට ඒ අනුව අයියලා ගොඩක් අක්කලා ගොඩක් සහ වැඩිහිටියො ගොඩාරියකගේ ආස්‍රය සහ අවවාද අනුශාසනා ලැබිලා තියෙනවා. මේක ටිකක් දුර්ලබ ලැබීමක් . ඒක ගැන මට ඇත්තටම සතුටුයි.

    ReplyDelete
  2. බොහෝ විට ඉඩ ඇත්තේ මේ දේවල් ලැබුණා කියා ජීවිතයේ මහා ලොකු වෙනසක් සිදු නොවීම වුවද, නොලැබුණ දේවල් ගැන සිතීම අප සියලු දෙනාටම පොදු ලක්ෂණයකි. සහෝදරියන් දෙදෙනෙකු හිමි මම තැවී ඇත්තේ මට සහෝදරයෙකු සිටියා නම් කියාය. තාත්තා දුර බැහැර සේවය කරන කාලයේ... අම්මා, අක්කා සහ නංගී යන ගැහැණු ත්‍රිත්වය හමුවේ මා යම් ආකාරයකට තනිවූ බවයි මට දැනී ඇත්තේ.

    කිසිම පදනමක් නැති වුවත්, නිවුන් දරුවන් ලැබේ යැයි සිතා සිටි නිසාම, ඉපදුනු එක දරුවාට, තමන්ට 'අහිමි' වූ අනිත් නිවුන්නා ගැන ඇතිවන හැඟීම් මනෝභාවයන්, ලියනගේ අමරකීර්තිගේ අටවක පුත්තු පොතේ බොහොම ලස්සනට මතු කරලා තියනවා...

    ReplyDelete
  3. මට මතක් උණේ කාලෙකට ඉහතදී කියවූ රුසියානු කෙටි කතාවක්. කතුවරයාගේ නම මතක නෑ. ඒකෙන් කියැවෙන්නෙත් 'නිහැඬියාව' ගැන. පවුලක් නිහැඬියාවෙන් පෙලිලා (වෙලිලා ) මියයන හැටි විස්තර වෙන්නේ. ලියලා තිබුණු විදිය හරිම අපූරුයි. ඒත් පුංචි උන්මාදගතියකින් පෙලුනු කෙනෙක්ගේ ලක්ෂණ කතාවේ ගලා ගිහින් තිබුණා.

    කවුරුත් නැති "තනි පොඩ්ඩි" ගැන කියලා වැඩක් නෑ කියලා හිතුණා. ඒත් එක අතකට කාටවත් කරදරයක් නොවී තනියම ජීවිතය හැඩ ගහන්ට ඒ 'තනිකම ' උදව් වෙනවා ප්‍රියන්ත. :)

    ReplyDelete
  4. /* මට කිසි දිනෙක හංසමාලි නංගී හමු වී නැත. මා ඇය හඳුනාගන්නේ මගේ ‘සිඩ්නි සිතුවිලි‘ දැක එවූ ඊ-මේලයකිනි. */

    මං අදම අතාරිනවා මේ බ්ලොග් ලිවිල්ල. අවුරුදු හතරාමාරක් ගියා නිකමට එක ඊ-මේල් එකක් ආවද? ෂිහ් විතරක්!

    ReplyDelete
  5. \\\\සහෝදර සහෝදරියන් නොවූ ඇය විවාහයෙන් පසු පැමිණ තාත්ති සමග තේ වතු නිල නිවාසවල නතර වී ඇති අතර උදයේම සේවයට යන තාත්ති යළි සවස එනතුරු ඒවායේ රැඳී සිට ඇත්තේ තනිව ය‍.\\\\

    \\\\කවුරුත් නැති "තනි පොඩ්ඩි" ගැන කියලා වැඩක් නෑ කියලා හිතුණා\\\\

    බලනකොට මම විතරක් විදවන දෙයක් නොවෙයි කියල තේරුනා. සහෝදර, සහෝදරියන් - නෑදෑයන් කවුරුවත් නැතිව ජීවිතය ගෙවපු මට දැන් අම්මා, තාත්තත් නැහැ. ඉන්න එකම නෑදෑයො, සහෝදර සහෝදරියො ඉන්නේ බිරිදගේ පැත්තෙන් විතරයි.

    පොඩිකාලේ, තරුණ කාලේ සහ දැන් මැදිවියේ විදපු සහ විදවන තනිකම ගැන කියන්න වචන නැහැ.

    වඩාත්ම හිතට වැදුනු ලිපියක්......!

    ReplyDelete
  6. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete