Wednesday, December 18, 2013

සොහොයුරිය



( 2012 ජූනි)
මම යළි පහළ වීදිය දෙස බැලුවෙමි. 

අලුත විවාපත් යුවළක් විවාහ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටතට පැමිණ මිතුරු කැළ හා සිනාසෙමින් ඡායාරූප ගනිති. විසිතුරු ඇඳුමින් සැරසුණු යහළු යෙහෙළියෝ යුවල වෙත විවිධ කෝණයෙන් කැමරා මානමින් නොයෙක් දේ කියන බව පෙනුන ද මා සිටින තැනට ඔවුන්ගේ හඬ පැහැදිලි ව ඇසෙන්නේ නැත. මග දිවෙන වාහනවලින් නැගෙන ඒකාකාරී එන්ජින් හඬත්, දකුණු පස ඈතින් පෙනෙන දුම්රිය මගෙහි නිරතුරුව ඇදෙන දුම්රියවල යකඩ රෝද පීලිවල ගැටෙද්දී නැගෙන කිරි කිරියත්‍ හාත්පස නැගෙන මිනිස් හඬවල් ඉක්මවා ඇත. 

පහළින් දිවෙන වීදියේ යනෙන මිනිසුන් දෙස බලා සිටින්නට මා බැල්කනියට පැමිණියේ බොහෝ වේලාවකට පෙර ය. එක් පසෙකට පමණක් වාහන දිවෙන වීදියේ පදික වේදිකා මතින් යන මිනිස්සු එක්කෝ අප නවාතැන පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ වූ කුඩා වෙළඳ සැළට ගොඩ වන්නට හෝ  නැතිනම් වීදියේ ඉහළට වන්නට තිබෙන විවාහ රෙජිස්ටාර් කාර්යාලයට ගොඩ වන්නට ඇවිද යන්නෝ ය. ඒත් නැතිනම් ඔවුන්ගේ ගමන් කෙළවර වන්නේ වීදි කෙළවර පිහිටි බ්‍රෝඩ්වේ බීම හළට ගොඩ වැදී බීර ජෝගුවක් ඇණවුම් කිරීමෙනි. 

ඡායාරූප ගැනීම් නිම කළ යුවළ මිතුරන්ට සමු දී සිය රිය වෙත පිය නගනු පෙනේ. ඔවුන්ගේ මිතුරු කැළ කුමක් හෝ කියා කෑ ගැසුව ද මට ඇසුණේ වදන්වලට පසු නැගුණු සිනා හඬ පමණි. 

වටපිටාවේ විවිධ හඬ නැගුණ ද බැල්කනියට වී සිටින මගේ හාත්පස සිසාරා නැගෙන්නේ ගුප්ත නිහැඬියාවකි. එය භෞතික ව නැගෙන පරිසර ශබ්දයෙන් යටපත් වන්නක් නොවේ. නව රැකියාවක සේයාවකුදු නැතිව ගෙවෙන ඒකාකාරී දින, එනිසාම සිත් එක්තැන් කරගන්නට නොහැකි නිසා දිනෙන් දින පසු කෙරෙන අධ්‍යයන කටයුතු ආදී සියල්ල හේතුවෙන් සිත තුළ නැගෙන තැවුලත්, දුරු රටක නෑ සිය මිතුරන්ගෙන් දුරස්ථ ජීවිතයේ සංතාපයත් නිර්මාණය කර දී ඇති වටපිටාව රුදුරු නිහඬතාවක් වර්ධනය කරයි. 
 
නිහඬතාව! මගේ පර්යේෂණයේ මූල මාතෘකාව එයයි. 90 දශක ආරම්භයෙන් පසු විහිදෙන ලාංකික සිනමාවේ කෙමෙන් වැඩී නැගුණු, පෙර අවදිවලට වඩා ඉහළින් හමු වන නිහඬතාව ඔස්සේ මම ලාංකික සිනමාවේ මෑත අවධිය පිළිබඳ පර්යේෂණයක නිරත වෙමි. ‘පුරහඳ කළුවර‘ චිත්‍රපටයේ වන්නිහාමිගේ, ‘මේ මගේ සඳයි‍‘ හි ද්‍රවිඩ තරුණියගේ නිහඬතාවෙහි සිට ‘How I wonder what you are හි කැතී හා ඩීගේ, ‘ඉගිල්ලෙන මාළුවො‍‍්‍‘ හි වියපත් ග්‍රාමාරක්ෂකයාගේ  නිහඬතාව තෙක්ම මගේ පර්යේෂණය විහිද යනු ඇත. යම් පුද්ගලයකු වෙතින් නිහඬතාව මතු ව එන්නේ ප්‍රකාශ කළ නොහෙන තරම් සංතාපයන්, කම්පනයන් හා වික්ෂිප්තයන් ඔහු හෝ ඇය ඉදිරියේ නැගුණු විට ද? පිළිතුරු සොයාගත නොහෙන උභතෝකෝටිකයන් අභියස ද? අනාගතය පිළිබඳ නැගෙන අවිනිශ්චිතතා හමුවේ ද?  නොඑසේනම් මේ සියලු කාරණා අභිමුව ද? 

යුද්ධ, තරුණ කැරලි, ස්වභාවික ව්‍යසන ආදිය හේතුවෙන් තමන් වෙත ආ දරුණු කම්පනයන් හමුවේ ගොළු වී, කියා නිම කළ නොහෙන වේදනා හා සංතාපයන්ට ගොදුරු වූ දහස් ගණන් මාපිය දූදරුවෝ අපේ රට තුළ සිටිති. එසේ නමුත්, මේ කිසිවකට මුහුණ නොදී, සිය ජීවිතය තුළින්ම නැගුණු හුදකලා සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් කෙළවර කෙමෙන් නිහඬව බව සොයා ඇදෙන මිනිසුන් මහ නගරවලත්, දුර බැහැර ගම්දනව්වලත් ඇති සිය බිත්ති සීමාවන්ට කොටු වී ජීවිතය නොගෙවයි ද? අහිමි වූ ප්‍රේමයන්ගේ දිගුකාලීන සංවේදනා, කුඩා කල පටන් අත්විඳි තනිකම නිසා නැගුණු දෝමනස්සයන්, දූ දරුවන්ගෙන් දිගුකලක් ඈත්ව ඉන්නට සිදුවීමේ කම්පාවන් ඇතුළු දහසක් වූ ආත්මීය හේතු මුල් කොටගත් මිනිසුන් වදනකට නැගිය නොහැකි සිය කම්පාවන් කෙළවර නිහඬව දිවි ගෙවන අයුරු මට කොතෙකුත් හමු වී ඇත. 

නිහඬතාව පිළිබඳව ලියැවුණු ශාස්ත්‍රීය ලේඛණ ගණනාවක් පසුගිය සතියේ විශ්වවිද්‍යාල පුස්තකාලයෙන් තෝරා නවාතැනට ගෙන ආ මුත් තවමත් ඒ දෙසට නෙත යොමන්නට නොහැකි වූ බව සිහි වුණු මම බැල්කනියෙන් නික්ම කාමරය තුළට පිවිසියෙමි. සිය ඇඳ මත සිට පරිගණක තිරයට නෙත් යොමා උන් පැට්‍රික් මට සිනාවක් පෑවේ ය. පිළිතුරු සිනාවකින් ඔහුට සංග්‍රහ කළ මම කුඩා මේසය වෙත වාඩි වී පුස්තකාල පොතක් අතට ගත්තෙමි. 

නිහඬතාව තවත් භාෂා ස්වරූපයක් ලෙස හඳුනාගන්නා ඇඩම් ජවොස්කි එහි ඇති ශක්‍යතා පිළිබඳ මාහැඟි කරුණු රැසක් ගෙනහැර දක්වයි. ලෙරෝයි බ්‍රවුන්ලෝ සිය පැහැදිලි කිරීමක් අවසන මෙසේ ලියයි.

“නිශ්ශබ්දතාවට ඉහළ ම හඬ හිමි වන අවස්ථා පවතී!“

මහත් නිහඬතා මැද දිවි ගෙවන මිනිසුන්ගේ සිත් තුළින් නැගෙන, වදනකට නොනැගෙන ‘හඬ‘ කෙතරම් ද? මට එක්වරම අම්මා සිහිවෙයි.

“පුතාලගෙ අම්මට තනියක් නොදැනෙන්න තිබ්බ දුවෙක් හිටිය නං!“

කවුරුන් හෝ ඥාතිවරයකු මා සමග කීවේ අම්මා නිහඬ ව කල්පනාවක නිමග්න ව සිටිනු දුටු මොහොතක ය.
“කොල්ලන්ට ඉතින් අම්ම ළඟටම වෙලා ඉන්න බැහැනෙ. දුවෙක් හිටිය නං අම්ම තනි වෙන්නෙ නැහැ!“
අම්මා තමන්ට තනිකමක් හෝ පාළුවක් දැනේ යැයි කිසිවිට කියා නැතත් ‘දුවෙක් සිටියා නම් අගෙයි‘ කියා බොහෝ විට කියා ඇත‍.

“හැමෝම හිතුව චූටි පුතා ඉපදෙන්න ඉද්දි ඒ ලැබෙන්නෙ කෙල්ලෙක් වෙයි කියල!“

තුන් හැවිරිදි වියේ දී සිය මව අහිමි වුණු අපේ අම්මා සිය ළමා කාලය ගෙවා ඇත්තේ කිරි අත්තා සහ කිරි අම්මා සමග ය. සහෝදර සහෝදරියන් නොවූ ඇය විවාහයෙන් පසු පැමිණ තාත්ති සමග තේ වතු නිල නිවාසවල නතර වී ඇති අතර උදයේම සේවයට යන තාත්ති යළි සවස එනතුරු ඒවායේ රැඳී සිට ඇත්තේ තනිව ය‍. අයියා, මම සහ මල්ලී ඉපදුණු පසු ඇගේ ජීවිතය මඳකට වෙනස් වන්නට ඇතත් තිදෙනාම යන්තම් පස්විය පිරී යද්දී පාසැල් ගමන සඳහා මහගෙදරට එවා යළි තනිකම වෙත හැරෙන්නට ඇයට සිදු වී ඇත.

සිදු වූ සියල්ල ඉමහත් වේදනා කැඳවූ ඒවා බව ඇය කිසි දින කියා නැත. තනිකමින් ගෙවුණු ළමා විය, නිහඬ තරුණ විය, දරුවන් ළඟ නැතිව ගෙවුණු මැදි විය හා බැඳුණ ඇගේ ජීවිතයේ සංවේදනා නොලියවුණු මහා වෘත්තාන්තයකැයි මට සිතේ. ගම්මානයේ ඇයට සිටි එකම මිතුරිය වූ කමලා සමග කෙළිදෙලෙන් ගෙවුණු සීමිත සමයන් පිළිබඳ ලියැවී ඇගේ පැරණි සටහන් පොතකින් හමු වූ කවි පද කිහිපය ඒ නොලියවුණු පවතේ පෙරවදනයි.

අම්මාට දියණියක සිටියේ නම් ඒ මගේ සොහොයුරිය වනු ඇත. වැඩිමහල් සොයුරියක හෝ නැගණියක සිටියේ නම් මගේ ජීවිතය වෙනස් වන්නට තිබුණු ආකාරය මට අනුමාන කරන්නට නොහැක. සිතුවිලි අතර සරමින් මම පරිගණකය පණ ගන්වා ඊ මේල පණිවුඩ අතරට නෙත් යැවීමි.

“ප්‍රියන්ත අයියෙ, අනේ ඔයාට ලියන්න දවස ගානෙ මතක් වුණා... මේ දවස්වල පියවි සිහියෙන් හිටියෙම නෑ.... ගොඩක් වැඩ තිබුණ... හොඳම යාළුවෙක් බැන්ද... අපි දෙන්නම ඒකට හිර වුණා....“

අලුත් ඊ මේල අතර වුණු හංසමාලි නංගීගේ ලිපිය වෙත පිවිසුණු මම එය කියවන්නට පටන් ගතිමි. පෙර දිනක මා ලියූ බ්ලොග් ලිපි ගැනත්, ඒ හරහා නැගුණු දොම්නස සහ සොම්නස ගැනත් ඇය බොහෝ දේ ලියා ඇත.         

“ප්‍රියන්ත අයිය හිත අවුල් කරගන්න ඕන නැහැ. ඔයාට ඉක්මණින්ම අලුත් රස්සාවක් ලැබෙයි. හරි අමාරු බව මට තේරෙනව. ඒත් කොහොම හරි වැඩ කරන්න.“

මට කිසි දිනෙක හංසමාලි නංගී හමු වී නැත. මා ඇය හඳුනාගන්නේ මගේ ‘සිඩ්නි සිතුවිලි‘ දැක එවූ ඊ-මේලයකිනි. ඉමහත් සතුටකින් මගේ ලියවිලි අගයා තිබුණු ඇය දිවියේ දුෂ්කර මොහොතක් පසු කර යන්නට අවශ්‍ය දිරිය මවෙත අකුරු කර තිබුණා ය. රීජන්ට් නවාතැනේ ගෙවුණු සැඳෑවන්හිදී ලියූ ලිපි කිහිපයකින් පසු අපි මිතුරන් බවට පත් වීමු.

“අයිය පැට්‍රික්ගෙ අම්ම ගැන ලියල තියෙන දේවල් මේ තරම්ම අපේ හිත්වලට දැනෙන්නෙ ඇයි? ඒක කියන්න බැරි හැඟීමක් නේද? අපේ අම්මම තමයි අපට හැම තැනම මුණ ගැහෙන්නෙ!“

ඇතැම් දිනවල ඇය ගූගල් සංවාදයක් අරඹමින් මවෙත ලියා තබයි. සාහිත්‍යය, කලාව පිළිබඳ මහත් ඇල්මක් දක්වන ඇය රාජකාරිය අතරතුර ලැබෙන ඉසිඹුවලදීත්, නිවසේ දී ලැබෙන විරාම අතරත් බ්ලොග් ලොව සැරිසරයි. හමුවන නව, ආකර්ෂණීය බ්ලොග් අඩවි ගැන ලියා එවයි.

“අයිය කියවල ඇති නේද කෙහෙල්කොටුවෙ චූටි මහත්තයගෙ කතා? අර බුද්ධි කියල කෙනෙක් ලියන්නෙ? ඒවටත් මං කැමතියි. වෙලාවකට හොඳටම හිනා යනව. ඒ වුණත් හරි අව්‍යාජයි!“

නැරඹූ සිනමා පට ගැන, කියවූ කවි පද ගැන ඇය ලියන්නේ ඇගේ කියවීමත් සමග ය. දීර්ඝ ලිපි කෙළවර සුපුරුදු ස්වරයකට ප්‍රවේශ වන ඇය සෑම ලිපියක් කෙළවරම මෙසේ ලියයි.

“ප්‍රියන්ත අයිය පරිස්සමින් ඉන්න. ඔයා ආව වැඩේ කරන්න එපායැ මොනව වුණත්. හැමදේම ඉක්මණින් හොඳ අතට හැරෙයි. මම ආයෙත් ඉක්මණින් ලියන්නං“

“අයියාට බුදු සරණයි! - මම හංසි නංගි “

පරිගණකය වසා දැමූ මම යළි බැල්කනිය දෙසට පිය මැන්නෙමි. සෝදා තෙතබරිතව ඇති ගවුමක් අතින් ගත් සොයි එය බැල්කනියේ රෙදි රාක්කය මත දිග හරින්නී ය. ඇගේ උණුසුම් සිනහවට පෙරළා පිළිතුරු දුන් මම පහළ වීදිය දෙස යළිත් නෙත් යොමා බැලීමි. පහළ වීදිය නිසල ය. වීදිය දිග ඇවිද යන කිසිවකුත් පෙනෙන්නට නැත.

මම සෙමෙන් දෙනෙත් පියා ගතිමි. බිඳ වැටුණු මොහොතවල දී යළි දිරි ලැබෙන තුරු, මනස සතපවන්නට, මම භාවනා කොට නැත. එහෙත් දිරිය අවැසි තැන, ඒ ගෙන මවෙත එන ළබැඳියන් සිහිකර නිහඬ වන්නට මම කැමති ය. දෙනෙත් වසා ඔවුන් පිළිබඳ මෙනෙහි කරන්නට කැමති ය.

අම්මා, තාත්තී, අයියා සහ මල්ලී, නිරූ ඇතුළු සමීපතමයින් මා අසළ වන බව මට දැනෙයි. ඔවුන්ගේ රූ මා අභිමුව ඇඳෙයි.

“අයියාට බුදු සරණයි!“

සොයි කඩිසර ගමනින් යළි කාමරය දෙසට දිව යන හඬ මකා දමමින් සොයුරියකගේ ඇමතුමක් සවන් වෙත නැගෙයි. ඒ හඬට හිමි රුවක් තවම නැත.

Thursday, September 26, 2013

ආදරයට අලුත් වදනක්



-2012 ජූනි -

 

රාජ්‍ය රඟහල යන්නට සමාන අරුතක් දෙවන ‘ස්ටේට් තියටර්‘ රංග ශාලා දොරටුව අභියස සෑහෙන ජනකායක් රැස්ව උන් හ. පිරිස අතරින් නෙත් යැවූ මට ජන ගඟ අතර මගේ රුව සොයන නෝමන් හඳුනාගන්නට හැකි විය. සුදු ජාතිකයින් තරම් උස නොවූ නිසා පමණක් නොව සැමදා අඳින කළු පැහැ ඇඳුම නිසා ද නෝමන් පිරිස අතර කැපී පෙණින.

“හේ... නෝමන්...!“ මම ඔහු වෙත ගියේ සතුටින් අත වනමිනි.

“හලෝ ප්‍රියන්ත... ඉතින් කොහොමද?“ නෝමන් සුපුරුදු තැන්පත්කමින් යුතුව මා පිළිගත්තේ ය.

සිඩ්නියේ මාකට් වීදියේ වූ රාජ්‍ය රඟහල‍, සිඩ්නි සිනමා උළෙලේ ප්‍රධාන දර්ශන සඳහා මෙන්ම සමාරම්භක හා අවසන් උත්සව සඳහා ද වෙන්වුණු ශාලාව විය. සැබවින්ම සිනමා කෘති පමණක් නොව අවශ්‍ය විටක සුළු වෙනස්කම් කිහිපයකින් පසු නාට්‍ය, සංගීත වැඩසටහන්, බැලේ ඇතුළු නෘත්‍යාදිය රඟදැක්විය හැකි ශාලාවකි, එය. මනරම් ගෘහ අලංකරණ සහිත වූ රාජ්‍ය රඟහල විසිතුරු බිත්ති කැටයමින් හා වර්ණිත ද්වාර හා බිත්තිවලින් අලංකාරව පැවතිණ.

කෑන්ස්, වැනිස් හෝ බර්ලින් වැනි ප්‍රමුඛතම නාම අතර නොවූවද සිඩ්නි සිනමා උළෙල ලොව ප්‍රධාන පෙළේ සිනමා උළෙල අතර නම් සඳහන් කරගත්තකි. එවැන්නක අසිරිය නොවිඳ තිබූ මට මේ අත්දැකීම ගෙන ආවේ සතුටකි. ඒ හැරුණු විට සිනමා උළෙලේ මගේ මුල්ම දැක්ම ලෙස කෑන්ස් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය වූ ‘අමොර්‘ හා එක්වන්නට ලැබීම ද සන්තුෂ්ටිය තවත් ඉහළ නැංවීමටම හේතු විය.

කාර්ය බහුලත්වය මධ්‍යයේ වුව ලලීන් ද සිනමා උළෙලට ගොඩ වදින්නට ඉඩ සොයාගෙන තිබුණා ය. නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ තවත් ආචාර්යවරියක් සමග පැමිණ සිටි ඇය අප පිළිගත්තේ සිනාසෙමිනි.

“හලෝ නෝමන්... හලෝ ප්‍රියන්ත... කොහොම ද? මට හරිම සතුටුයි ඔයාල එකට මේ වගේ තැන්වලට එන එක ගැන. මම දැනගෙන හිටිය ඔයාල හොඳ යාළුවො වෙන බව...“

ලලීන්ගේ හඳුන්වා දීම නොවන්නට මට නෝමන් මුණ ගැසෙන්නේ නැත. මගේ සහෘදයෙකු ලෙස බොහෝ සිනමාවන් දෙස බැලූ නෝමන්ට ලෝක සිනමාව මතු නොව ආසියානු සිනමාවන් පිළිබඳව ද පෘථුල දැනුමක් තිබුණේ ය. ලාංකික අපට නිතර හමු නොවන තායිලන්ත, ඉන්දුනීසියානු, බංග්ලාදේශ ආදී සිනමාවන් පිළිබඳ හොඳින් දැන සිටි නෝමන් කතා බහ අතරතුර ඒ සාකච්ඡා මේසයට ගෙන ආවේ නිහතමානී ලෙසිනි. 

“ඔයාට හොඳ දැනුමක් තියෙනවනෙ නෝමන් මේ දේවල් ගැන...!“ මම ඇතැම් විට ඔහුට ඇගයීමක් දෙන්නට යත්න දැරීමි. එහෙත් කිසිවිට ඒ භාර ගන්නා පුරුද්දක් නෝමන් තුළින් මා දුටුවේ නැත. ඇස් කුඩා කොට සෙමින් සිනාසෙන ඔහු පිළිතුරු ලෙස කීවේ මෙවැන්නකි.

“ටිකක් දන්නව...ඒත් මට ඕන අපේ රටේ හොඳ සිනමාවක් දකින්න. තියෙන සිනමාව ගැන මම කණගාටු වෙනව... ළඟ රටවල දක්ෂයො හිටියට වැඩක් නැහැ. අපේ සිනමාව දුර්වලයි තාම. ඒ අතින් ඔයා වාසනාවන්තයි... ඔයාලට ප්‍රසන්න ඉන්නව... විමුක්ති ඉන්නව...විමල් දිසානායකල, පතිරාජල වගේ ඇකඩමික්ස්ල ඉන්නව!“

පිරී ගිය රාජ්‍ය රඟහලේ විදුලි එළි නිවීයත්ම ‘අපිරිමිත කතන්දර‘ යන සිනමා උළෙල තේමාව තිරයේ ඇඳිනි. දින 11ක පමණක කාලයක් පුරා සිඩ්නිය පුරා විහිදුණු සිනමා ශාලා රැසක දිවෙන සිනමා උළෙල හරහා සියගණනක් වූ අපිරිමිත කතන්දර තිරයේ දිග හැරෙනු ඇත. ඒ අතුරින්, කාල වේලාවන්, අතැති මුදල්, විවේකය ආදිය සියල්ල විමසා බලද්දී අපට දකින්නට හැකිවනු ඇත්තේ කිහිපයක් පමණි. ශිෂ්‍යයන් සඳහා දර්ශනයක ටිකට්පතක් ඩොලර් පහළවක් පමණ වන නමුදු ටිකට්පත් දහයක පමණ කාණ්ඩයක් ලෙස එක්වර ගනිද්දී ඩොලර් එකොළහකට පමණ ඒ මිළට ගත හැක. මුලින් මෙම ටිකට් පත් කාණ්ඩ මිළට ගෙන අනතුරුව අප නරඹන සිනමා කෘති තෝරාගැනීමේ පහසුවද උළෙල තුළ සපයා තිබුණු තවත් අගනා සේවාවකි.

රඟහල පූර්ණ ලෙස අඳුරේ ගිලුණේ පූර්ව ප්‍රචාරක පට, අනුග්‍රාහක දැන්වීම් තිරගත වූ පසු ය. ඒ සමගම දැඩි නිහඬතාවක වෙලුණු ප්‍රේක්ෂාගාරය අභියස ‘අමොර්‘ සිනමා කෘතියෙහි මුල්ම රූපය මැවිණ. ‘අමොර්‘! ඒ නම් ප්‍රංශ බසින් ආදරය යන්නයි.

සිනමා කෘතියක් ඔබ සිත ඇද ගන්නේ කුමන කාරණා සපිරුණු කල්හි ද?  

සිනමා ප්‍රේක්ෂකයා පිළිබඳ වන මෙම පැනය සිනමා අධ්‍යයන න්‍යාය තුළ දී ගැඹුරින් සාකච්ඡා කෙරේ. ඒ ගැඹූර පසෙකින් තබා විමසුව ද පැනයට පිළිතුරක් සරලවම ඔබ තුළ නැගෙන බව මම ඉඳුරා දනිමි. කෘතියක් අප සිත ඇද ගන්නේ මූලිකව අප සිත විමසා සිටින රසයන් ඒ කෘතිය කෙරෙන් විහිද එන විට ය; අප නෙත් පිනවන්නට හැකි රූපමය ගුණයක් ද, සවන පිනවන්නට හැකි හඬ එකතුවක් ද ඒ තුළ ඇති විට ය. සියල්ලටම වඩා අප දකින්නට අසන්නට කැමති කතා පුවතක් තිරය වෙත ඇඳෙන විට ය.

කෙසේ වෙතත්, සෙසු සියලු කලාවන් මෙන්ම සිනමාව ද ගැඹුරින් විමසන්නකු තුළ සිනමාව පිළිබඳ හා එයින් නැගෙන රසය පිළිබඳ වැඩී නැගෙන ඥාණයක් පහළ වන බව මම අත්දැකීමෙන් දනිමි. ඒ නිසාම සිනමා රූපය, සිනමා ශබ්දය මෙන්ම කතා පුවත, රංගනයන් ආදී බොහෝ කාරණා ගැන ඇති නැඹුරුතාවන් ක්‍රමිකව වෙනස් වූ, උසස් සිනමාවන් සොයා යන්නට පියවර ගත් සිසු සිසුවියන් මට හමු වී ඇත. සිනමාව ඥාණ ගවේෂ මගක්ම කරගත් අයවළුන් ද හමු වී ඇත. 

සිඩ්නි සිනමා උළෙලේ දී මා නෙත ගැටුණු ‘අමොර්‘ සිනමා කෘතිය තරම් මසිත කම්පනයට පත් කළ විදෙස් සිනමා කෘතියක් මෙහි පය තැබූ පසු මට හමු වී නැත. ඔස්ට්‍රියානු සිනමා කතුවර මයිකල් හැනිකේගේ ‘අමොර්‘ යනු ජීවිතයේ සැඳෑ සමයට එළඹ, සිය තරුණ දියණියගෙන් ද දුරස්ව, තනිව මහල් නිවසක ජීවත් වන, විශ්‍රාමික පියානෝ ගුරුවර යුවලක් පිළිබඳ කතා පුවතකි. අසූ වියෙහි පසුවන දෙමහල්ලෝ, වත්මනෙහි ජනප්‍රියව සිටින, සිය දක්ෂ සිසුන්ගේ පියානෝ වාදන සංදර්ශන නරඹා තුටු වෙති; පාළු නිවහනට වී අතීත ස්මරණ මත සරමින් දිවි ගෙවති; ඉඳහිට දිනක තම නිවසට ගොඩ වදින පැරණි සිසුවකු හා සාමීචියේ යෙදී පාළුව තරමකින් හෝ මකා ගනිති.

සිනමා පටය කම්පිත කතා පුවත වෙත පිවිසෙන්නේ එක්වරම සිදුවන කුඩා නමුත් සුවිශේෂ සිදුවීමක් හේතුවෙනි. ඇනා, නොඑසේනම් මේ මහළු යුවළේ බිරිඳ, එක් උදෑසනක හදිසියේ රෝගාතුර වෙයි. ඒ සුපුරුදු සාමාන්‍ය උදෑසනක අහර ගනිමින් සිටිය දී එක්වරම කිසිදු ප්‍රතිචාරයකින් තොරව ගොළු වී, නිහඬ වීමෙනි. මේ සිදුවීමෙන් පසු ජෝර්ජ්ස් (ස්වාමි පුරුෂයා) තදබල ලෙස කම්පාවට පත් වේ. විනාඩි කිහිපයකින් ඇය යථා ලොවට පිවිසිය ද මොළය වෙත දිවෙන ලේ සැපයුමට බාධාවක් එල්ල වී ඇති බව වෛද්‍යවරු සොයා ගනිති. දර්ශන කිහිපයකින් පසු අප දකින්නේ ආබාධය නිවැරදි කරනු වස් සිදු කළ ශල්‍යකර්මය වැරදී අංශභාග රෝගියකු ලෙස රෝද පුටුවකින් නිවසට එන ඇනා ය. ජෝර්ජස් සහ ඇනා බෙහෙවින් දුකට පත් ව සිටිති. තනි වුණු මහළු යුවළ අතර සැඟව තිබුණු ආදරය යළි තීව්‍ර වී නැගෙන්නට ගනියි. අවසන ජෝර්ජස් ඇනාගේ ඉල්ලීමකට එකඟ වන්නට තීරණය කරයි. ඒ කුමන හේතුවකින් හෝ තමන් යළි රෝහල වෙත ගෙන නොයන ලෙස ඇය කරන ඉල්ලීමටයි.

ඉතා සෙමෙන් දිවෙන රූප රාමු හමුවේ ජෝර්ජස් මුහුණ දෙන උභතෝකෝටිකය අප හදවත සිදුරු කරන්නට ගනියි. ඇනා දිනක් ගෙවී නව දිනක් සමග අවදි වන්නේ ක්‍රමිකව දියව යන්නියක ලෙසිනි. ඉතා සෙමෙන් නමුත් නොකඩවා ඇය රෝගය නිසා බිඳ වැටෙන්නට ගනියි. ආහාර ගැනීම්, කතා බහ, එදිනෙදා කටයුතු සියල්ලෙන් සෙමෙන් ඉවත් වෙයි. අලුත් දිනයක් සමග ජෝර්ජස්ට අලුත් නමුත් වේදනාකාරී අභියෝග හමුවේ. කෑම ප්‍රතික්ෂේප කරන ඇනාට කැවීමටත්, වේදනාවෙන් කෑගසන ඇනා අස්වැසීමටත් ඔහුට සිදු වේ. ඒ සමග මුලින් දුන් පොරොන්දුව රකින්නට දියණියගෙන් මවගේ සැබෑ තත්වය වසන් කරන්නට ද සිදු වේ. මව දකින්නට නිවසට එන දියණියට ඔහු පෙන්වන්නේ මවගේ ඇත්ත ස්වරූපය නොවේ. පවසන්නේ ඇත්ත ද නොවේ.

රාජ්‍ය රඟහල තුළ දී මා සලිත කල සිනමා කෘතියක අවසානය මට හමු වූයේ ‘අමොර්‘ තුළිනි. සිය ආදරණීය බිරිඳ ඇනා යළිත් ප්‍රකෘති ලොවට නොඑන වග සපථ කරගත් පසු ජෝර්ජස් ඇයට විමුක්තිය සොයා දෙයි. ඒ ඉතා සෙනෙහසින් රැක බලා ගත් සිය බිරිඳ එක්වරම කොට්ටය තබා හුස්ම සිර කොට මරා දැමීමෙනි. ඇගේ නිසල දේහය ඉතා සුන්දරව සකසා, මලින් සැරසූ සයනයේ තබා කාමරය සීල් කරන ජෝර්ජස් නිවසින් පිටව යයි. ඒ කා සමග ද? ඇනා සමගිනි!! ඔව්... ඔහුගේ මනසේ සදාකාලිකව ජීවත් වන ඇනා, සුපුරුදු ලෙස ඔහු සමගම ඉතා සාමාන්‍ය ලෙස කතා කරමින් නිවසින් බැහැර වෙයි. ඔවුන් යන්නේ යළිත් සිසුවකුගේ පියානෝ වාදනයක් බලන්නට විය හැක.

චිත්‍රපටය ඇරඹෙන්නේ කිසිවකු නොමැතිව වසා දැමූ නිවසේ දොර කඩාගෙන දියණිය, පොලිසිය ද සමග ඇතුළු වන දර්ශනයකිනි. සීල් කළ කාමරයේ දී ඔවුනට ඇනාගේ දේහය හමුවේ. ජෝර්ජස් කොහි ද? ඔහු යළි නොඑයි. ඔහු සිය ආදරණීය ඇනා සමග යන්නට ගොසිනි!

මනරම් ව වියමන් කළ මන්ද වේගී රූ පෙළ අවසානයේ ශාලාව තුළ ඇති වූයේ මද නිහැඬියාවකි. එය තියුණු ය. අනතුරුව කෘතිය අගයන්නට ආ දීර්ඝ අත්පොළසනකි.

සම්මානිත රඟපෑමක නිරත වුණු එමානුවෙල් රිවා (ඇනා)ගේ සහ ශෝන් ලුවී ට්‍රින්ටින්ග්නට් (ජෝර්ජස්) ගේ දස්කමින් මම දැඩි ලෙස සිනමා පටයට ආසක්ත වුණෙමි. වියපත් රිවා කෙතරම් අපූරුවට ඇනා කෙනෙකු ගෙන ආවා ද? මුල් වරට රෝගය වැළඳුණු මොහොතේ ඇය හැඟීම් විරහිත බවට පත් වූ අයුරින් රඟන්නට කාට නම් හැකි වේවි ද? ආදරය උතුරා යද්දී සිය වියපත් බිරිඳගේ සෙමෙන් සිදුවන නික්ම යෑම දෙස බලා සිටින්නට සිදුවන මහල්ලකුගේ ශෝකී ජීවිතය චිත්‍රණය කරන්නට ට්‍රින්ටින්ග්නට් සමත් වූයේ කෙසේ ද?
ඒ ගෞරවයන් සියල්ල අතරින් නැගී එමින් මහඟු සිත්තමෙහි ප්‍රකම්පිත කතා පුවත මගේ හදවත කළඹන්නට විය. 

ඇත්තටම ඇනා සහ ජෝර්ජස් කවුරුන් ද?



සිය දියණියගෙන් මවගේ රෝගයේ සැබෑ තත්වය වසන් කරමින්, සිය දිවියේ සැඳෑ සමය විශාල ලෙස සිය ආදරණීය බිරිඳ වෙනුවෙන්ම වෙන් කරමින් සිටින ජෝර්ජස් වැනි තවත් එක් සුන්දර මිනිසෙකු මගේ සිත තුළින් නැගී ජෝර්ජස්ගේ චරිතය බිඳ දමමින් මතුව එයි. රෝගය වෙනස් වන මුත් සිය සැමියාගේ සෙනෙහස නොමඳව ලබන්නට සමත් වුණු තවත් ඇනා කෙනෙකු ද ඒ සමගම සිත තුළින් නැගෙයි. 

සිනමා කෘතියක් ඔබ සිත දැඩිවම ඇඳගන්නා එක් කාරණයක් නම් ඔබ දන්නා කතා පුවතක චරිත, ඔබේ ජීවිතයේ හමුවූ චරිත හෝ සිදු වුණු දේ අපූර්ව ලෙස යළි තිරය මත නැවුම් ලෙසකින් ප්‍රතිනිර්මාණය කිරීමට ඒ සමත් වීමයි. ඇතැම් විට තත්‍ය ජීවිතයේ අප දන්නා චරිතයට, තමන්ටම හෝ තවත් අයකුට, දිනන්නට නොහැකි වූ ආදරයක් දිනා ගන්නා බොලිවුඩ් චරිතයකට අනන්‍ය වී කඳුළු සඟවාගන්නට අප පෙළඹෙන්නේ එහෙයිනි. එසේම වඩාත් තත්‍යරූපී සිනමා කෘතියක් එවැනි චරිතයකට දිනිය නොහැකි වූ ආදරයට පසුබිම් වුණු සත්‍යය අපට පසක් කර දෙනු ඇත.

රාජ්‍ය රඟහලේ පහළ මාලයෙන් නෝමනුත්, මමත් පිටතට පැමිණියෙමු. වෙනත් තැනක, සිය මිතුරිය ද සමග චිත්‍රපටය නැරඹූ ලලීන් රඟහල දොරටුව අසළ දී අපට මුණ ගැසිණි. මාකට් වීදිය දිගේ ඇදී යන සිනමා රසික පිරිස සමඟ අපි ද ඉදිරියට ඇදුණෙමු. 

ජෝර්ජ් වීදියට පිවිසි පසු සෙනඟ අඩු වත්ම ලලීන් අප දෙසට හැරුණා ය. 

“මට නම් චිත්‍රපටිය ටිකක් හෝන්ටින්! එච්චරම ආස හිතුණෙ නැහැ. ඒත් ඒ දෙන්නගෙ රඟපෑම නියමයි. මොකද ඔයාලට හිතෙන්නෙ?“

“මම චිත්‍රපටියට කැමතියි!“ නෝමන් සුපුරුදු කෙටි පිළිතුරකට ගියේ ය.

“ප්‍රියන්ත?“ ලලීන් මා දෙස බැලුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි.

“මම ඒ දැක්කෙ මගෙ අම්මයි තාත්තියි!!“ මම සෙමෙන් කීවෙමි.

සිය බිරිඳ කෙරෙහි වූ දැඩි සෙනෙහස නිසා ම ඇයගේ හුස්ම සිරකොට, මනසේ ජීවත්වන ඇනා සමග ඇවිද යන ජෝර්ජස් ඉදිරි වීදිය දෙසින් මට මැවී පෙණින. ඉන් පියවර කිහිපයකට ඉදිරියෙන් තාත්ති ඇවිද ආවේ සැබැවින්ම ජීවත් වන අම්මා ද සමඟ ය. දෙනෙත් තරමක් තෙත් ව යද්දී මා දෙස සෙනෙහසින් බලා සිටින ලලීන්ගේ රුව මනෙත ගැටිණ.

“මට සමාවෙන්න ප්‍රියන්ත!“ මගේ අත දැඩිව ග්‍රහණය කරගනිමින් ඇය මිමිණුවා ය.

Saturday, August 17, 2013

අපරිමිත කතන්දර

(2012 මැයි)


වඩාත් වේදනාබර මොහොතවලදී අපට සියල්ල දැනෙන්නේ ද හැඟෙන්නේ ද කරදරකාරී ලෙස හා අපිළිවෙල ලෙස අප වෙතම යොමුව ඇති දේ වශයෙනි. සිඩ්නි චෙස් ඇකඩමියෙන් පිටව යළි නගරය දෙසට යන්නට පිටත්ව උන් මට සියල්ලම මගේ හිස වටා කැරකවෙමින් පවතින, මා ඉලක්ක කරගත් හා මා බිඳ දමන්නටම සැදී පැහැදී උන් දේ ලෙසම දැනෙන්නට විය. දැන් යළිත් රැකියා සොයා වෙහෙසිය යුතු ය. රැකියාවක් ලැබෙන තුරුම සන්තකයේ ඇති මුදල් දියව යාම පිළිබඳ බියෙන් පසුවිය යුතු ය. නන්නාඳුනන නගරයක, වෛවර්ණ විසිතුරු අතරට මැදි වී කිසිදු හව්හරණක් නැතිවම ජීවිතයේ ඉදිරි දින සැලසුම් කළ යුතු ය. ඒ සියල්ල අතර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුත්තට ද නොකැඩී පවත්වා ගත යුතු ය. 

බර්වුඩයේ සිට නගරය කරා දිවෙන දුම්රියකට ගොඩ වන්නට දුම්රිය පළේ සිටි මට හමුවුණේ සිඩ්නි දුම්රිය අතර වුණු මා අකමැතිම වර්ගයෙන් එකකි. සුවපහසු නොමැති ආසන මෙන්ම වායුසමීකරණයෙන් තොර මැදිරි වෙත වා කවුළුවලින් ගලා ආ කටුක ශීතලය, සිතට දැණුනු අපහසුව ගත වෙත ද ගෙන යන්නට උදව් විය. ශීතලය සමගින්ම වා කවුළු අතරින් ගලා ආ දුම්රියේ යකඩ රෝද පීලි මත ගැටෙන හඬ තොරතෝංචියක් නැතිව ම දෙසවනට ද අපහසුවක්ම කැඳවා දුන්නේ ය.

මධ්‍යම දුම්රිය පළෙන් පිටතට එද්දී පූර්ණ ලෙසම රාත්‍රිය උදා වී තිබිණ. නිවෙස් බලා යන්නට නියමිත දුම්රිය ලබා ගනු රිසියෙන් දුම්රිය පළ වෙත දිව යන සෙනඟ අතරින් ‘උඩුගං බලා යන්නකු ලෙස‘ මම ප්‍රතිවිරුද්ධ දෙසට ඇදෙමින් පදික වේදිකා දෙසට පිවිසියෙමි. සැබවින්ම මාහට සිදුව ඇත්තේ ගලන ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව යන්නට ද? රැකියාව නිමකොට සිය නිවහන කරා දුවයන දහසකුත් සෙනග මැදින් රැකියාව අහිමි ව මා අනෙත් අතට ආ ලෙසින්ම ඉදිරියේ දී ද ප්‍රවාහයට එදිරිව ගමන් කරන්නට මාහට සිදු වේවි ද?

“හායි ප්‍රියා...“

රීජන්ට් නවාතැන මා පිළිගත්තේ ජුන්ගේ සුපුරුදු සිනාවත් සමග ය. ජුන් නිවසේ මැද කොටසේ සිය පරිගණකය ද සමගින් වාඩි වී උන් අතර ඔහුගේ සිත්තර දිනපොත ද දිනයේ තොරතුරු ලබන්නට සූදානමින් පසෙකින් විය. මම ආයාසයෙන් ගොඩ නගාගත් සිනාවක් සමගින් ගොස් කාමරයට වැදුණෙමි. සිය සයනයට වී පරිගණකය දෙස නෙත් අයාගෙන උන් පැට්‍රික් හිස ඔසවා මදෙස බැලුවේ ය.

“හායි මේට්!“

දියවෙමින් යන ලංකා ගිණුමෙන් මුදල් දිගු කරමින් ඇනීගෙන් කුලියට ගෙන උන් ඇඳත්, ක්ෂ්‍රද්‍ර මේසයත් සහිත මගේ වපසරිය දෙස මම නෙත් අයා බැලීමි. දැන් යළිත් සියල්ල වෙනුවෙන් ම මුදල් උපයාගත හැකි මගක් සෙවිය යුතුයැයි වන හැඟීම යළියළිත් සිත්හි නැගෙන්නට වූයේ කම්පාව හා වේදනාව තදින්ම ඉහළ නංවමිනි. රැකියාව අහිමි වූ අයුරු මෙනෙහි කරත්ම සයවසකට පෙර පේරාදෙණි පියස හැර පියා එන්නට සිදුවුණු අතීත සිදුවීම ද සිත්හි මැවී නැගෙන්නට විය. 

විශ්වවිද්‍යාල උපාධිය මා නිම කළේ ඉදිරි අනාගතය මේ යැයි මහා සැලසුමක් සහිතව නොවේ. චෙස් ක්‍රීඩකයකු ලෙස විශ්වවිද්‍යාල කණ්ඩායමේ කටයුතු කරමින්, චෙස් පුහුණුකරුවකු ලෙස පාසැල් වෙත යමින්, මධ්‍යම පළාත් චෙස් සංගමයෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු වෙමින් ගත කළ ‘චෙස්‘ දිවියට බොහෝ කාලයක් වෙන් වූ අතරම විශ්වවිද්‍යාල ජීවිතය ද නාට්‍ය කටයුතු, සංගම් වැඩ, නවක වද විරෝධී ක්‍රියා ආදියෙන් පිරී පැවතියේ ය. ඒ සියල්ල අතරතුර ‘ඉඩක් ලැබුණොත් ඉගෙනත් ගන්නවා‘ යනුවෙන් එකල අප අතර හාස්‍ය මුසු අදහසක් ද පැතිර තිබුණේ ය.  

සත්‍යය නම්, ඇලුම් කළ විෂයක්ෂේත්‍රය පිළිබඳ දැනුම් ගවේෂණය සිදු වූයේ නිරායාසයෙන් වීමයි. මගේ ප්‍රධාන විෂයය ධාරාව වූ ‘සිනමාව හා ටෙලිවිෂනය‘ට අදාල බොහෝ පතපොත නිවසේ කුඩා පුස්තකාලයේ දී මට හමුව තිබුණු අතර චැප්ලින්, රායි, කුරසෝවා, බර්ග්මාන් ආදී සිනමාකරුවන්ගේ නිර්මාණ ෂෙල්ටන් පයාගලයන්ගේ පාඨමාලාවක් ඇසුරු කළ අයියා විසින් අපට පෙන්වා තිබෙනු ලද්දේ විය. සිංහල සාහිත්‍යය දෙසුම්වල හමුවූ ගෝර්කි, චෙකොෆ්, මෝපසාං මෙන්ම වික්‍රමසිංහ, සරච්චන්ද්‍ර ආදීන් බාප්පලා සහ අයියා නිසා මා හඳුනාගෙන උන්නේ කුඩා කල සිට ම ය. නිවසේ පොත්ගුලෙහි වූ පොත් පත් හා වාර සඟරාදියත්, මහනුවර නගර සභා පුස්තකාලයේ සහ විශ්වවිද්‍යාල පුස්තකාලයේ පොත්පත් ගොන්නත් විභාගවලදී මගේ බාහිර කටයුතු සඳහා මිඩංගු වූ කාලය පුරවා දැම්මේ ය. අවසානයේ  මට දෙවන පෙළ උසස් සාමාර්ථයක් ලබන්නට හැකි විය.

 උපාධිය ලද විගසම බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නට අධ්‍යයන අංශයෙන් මාහට ඇරයුමක් ලැබිණ. කාලයාගේ ඇවෑමෙන් සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසට අධ්‍යයන අංශයේ පූර්ණකාලිනයෙකු වූ මම මහත් අභිරුචියෙන් ඇසුරු කළ සිනමාව පසුපසින් ආ විද්‍යාර්ථීන්ට හඳුන්වා දුනිමි. පාසැල් ගුරුවරයකු ලෙස, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස ලැබුණු ස්ථිර පත්වීම් සමග පිටව නොගොස් පේරාදෙණියේම තාවකාලික රැකියාවක රැඳෙන්නට මුල් වූයේ මෙම වෛෂයයික බැඳීමයි. දෙවැන්න එවකට අංශාධිපතිවරයාව උන් ආචාර්ය ප්‍රනාන්දු කියූ පහත වදන් පෙළයි.

“නෑ... නෑ... කොහෙවත් යන්න ඕන නැහැ... ඔයාලට පුළුවන් මෙහෙම ස්ථිර වෙන්න. ඉක්මණට අපි අලුත් පත්වීම්වලට ඉල්ලුම්පත්තර කැඳවනව..!“

ස්ථිර කථිකාචාර්ය තනතුර සඳහා තරග වදින්නට මා සමගින්ම සහකාර කථිකාචාර්ය මඩුල්ලට ආ අපේ කාණ්ඩයේම දෙදෙනෙකු ද විය. අවස්ථාව හිමිවනු ඇත්තේ එක් අයෙකුට බව සැමගේ අදහස වුව ද ප්‍රනාන්දු සර් කී වදන් සැමගේ සිත් තුළ දැඩි ව ධාරණය වී තිබිණි.

කොහෙවත් යන්න ඕන නැහැ... ඔයාලට පුළුවන් මෙහෙම ස්ථිර වෙන්න...!!“ 

ස්ථිර රැකියාවලට පවා යන්නට නොදී අප නතර කරගත් ප්‍රනාන්දු සර් ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ අපගේ අවස්ථා සාදා දෙනු ඇති බවටත් ඒ සඳහා එක් අයෙක් සඳහා වන අවස්ථාව ඉහළ නංවන්නට සටන් කරනු ඇති බවටත් සැඟවුණු විශ්වාසයක් සැමගේ සිත් තුළ රැඳී තිබිණ.

“ප්‍රියන්ත... මට හරිම සන්තෝෂයි කියන්න... අපිට පුළුවන් වුණා එක වේකන්සි එක වෙනුවට වේකන්සි දෙකක් ම හදල දෙන්නෙක්ම ගන්න... හැබැයි ඉන්ටර්විව් එකෙන් ඔයා සිලෙක්ට් වුණේ නැහැ...!“

ආචාර්ය ප්‍රනාන්දුගේ දුරකථන ඇමතුම මවෙත ලැබුණේ  සම්මුඛ පරීක්ෂණය නිම වී දින කිහිපයකිනි. මා හැර අධ්‍යයන අංශයේ උන් අනෙත් සහකාර කථිකාචාර්යවරුන් දෙදෙනා ස්ථිර තනතුර සඳහා තෝරාගත් බවත් සම්මුඛ පරීක්ෂණයේ දී මා මුහුණ දුන් තත්වය එතරම් සාර්ථක නැති බවත් ප්‍රනාන්දු සර් පසුව පැහැදිලි කළේ ය.

“ඒක ඇත්ත වෙන්න පුළුවන් සර්... හැබැයි මම ගෙනාවෙ මං ළඟ තිබුණු ඇත්ත සුදුසුකම්. ඔතන ආපු සමහර අය ළඟ පබ්ලිෂ් නොවුණු බොරු පොත් තිබුණ මම ඇහෙන් ම දැක්ක!“

වේදනාව මුසුවුණු ආවේගයෙන් මම පිළිතුරු දුනිමි. 

“ආ... ඔව්... මමත් දැක්ක. ඒ වගේ බොරු දේවල්වලට අපි ලකුණු දුන්නෙ නැහැ..!!“

විශ්වවිද්‍යාල කථිකාචාර්ය පදවියක් සඳහා ඉදිරිපත් වන්නකු බොරු දත්ත හෝ තොරතුරු ඉදිරිපත් කරනා බව පැහැදිලි නම් ඔහු හෝ ඇය මොනයම්ම හෝ අයුරකින් ඒ තනතුර සුදුසු නොවන බව මගේ පරම විශ්වාසයයි. ඒ සඳහා ලකුණු නොදුන්නේ ය යන්නත් සුදුසුකම් ලැබූයේ සැබෑ දේට පමණය යන්නත් සාධාරණ නොවන්නේ ඇතුලත් වද්දීම ආයතනය රවටන්නට තැත් කළ පුද්ගලයින් අනාගත අධ්‍යාපනයට සිදු කරන්නට ඉඩ ඇති විනාශය පැහැදිලි හෙයිනි. 

මා තනතුරකට සුදුසු යැයි මටත් වඩා තදින් විශ්වාස කළ ආනන්ද සර් පත්වීම් අතර වුණු ඉහත තෝරාගැනීමට හා මා ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සතියක් කළු ඇඳුමින් සැරසී විශ්වවිද්‍යාලයට පැමිණියේ ය.

“උඹ අද ඔප්පු කරල තියෙනව එදා පේරාදෙණියෙ කට්ටිය ගත්ත තීරණේ වැරදියි කියල. උඹ කොළඹට ගිහින් ස්ථිර වෙලා මාස්ටර්ස් කරන්න ඕස්ට්‍රේලියා යනව. උඹව කපල ගත්ත සමහරු අද වංචා කරල ඉන්ක්වයරි බෝඩ් ඉස්සරහ!“

මාර්තුවේ මා පිටව එද්දී මට සුභ පැතූ ආනන්ද සර් කියා සිටියේ ‘බොරු පොත්‘වලට පමණක් ලකුණු නොදී තෝරාගත් සමකාලීනයා ගැන ය.

පේරාදෙණියෙන් ඉවත් වන්නට සිදු වීම පළමුව බිහිකර දුන්නේ දැඩි වේදනාව පිරි සමයකි. නිහඬ පරිසරයක, සුන්දර ගොඩනැගිල්ලක පිහිටි අධ්‍යයනාංශය, අප විසින්ම කාලය, ශ්‍රමය හා ධනය වැය කරමින් හැඩගන්වාගෙන තිබුණු පන්ති කාමර ඇතුළු ආයතන පරිශ්‍රය, කලින් කල විවිධ මලින් හැඩව දිලෙන පේරාදෙණි පියස වැනි අචේතනික වස්තූන්ගෙන් මෙන්ම දැඩි මිතුදමින් බැඳී උන් සහෝදර ආචාර්ය පිරිස, නාට්‍යාදිය හා එක්ව කටයුතු කළ හිතමිතුරු ශිෂ්‍ය ප්‍රජාව, විනෝදයෙන් කල් ගෙවූ ආයතනයේ සේවකකාරකාදීන් වැනි ජීවය පිරුණු ළබැඳියන්ගෙන් ද එක්වරම සමුගැනීම පහසුවෙන් කළ හැක්කක් නොවී ය. එසේමුත් ක්‍රමයෙන් සිත සුවපත් කරගනිමින් සහකාර කථිකාචාර්ය ධුරයේ අවසන් මාස කිහිපය තුළ මම නව රැකියා බිම් සොයා ඇදුණෙමි. 

ස්වර්ණවාහිනියේ මාධ්‍යකරුවකු වන්නට ගිය ගමන ශාස්ත්‍රාලීය ජීවිතයක් ඇති මවැනි අයකුට තරම් නොවෙතැයි එහි මානව සම්පත් කළමණාකරුගේ දීර්ඝ දෙසුමකින් කෙළවර වුණු අතර රජයට අයත් රූපවාහිනී වැඩසටහන් ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂක තනතුරක් ‘ඉඳගන්නටවත් දෙන්නට ආයතනයේ තැනක් නැතැයි‘ කීමෙන් නතර වී ගියේ ය. මොරටුවේ ද ජයවර්ධනපුර ද විශ්වවිද්‍යාලවල පුරප්පාඩු සඳහා වුණු සම්මුඛ පරීක්ෂණ දීර්ඝ සුහද සාකච්ඡා සහ සුභ පැතුම්වලින් කෙළවර විය. අවසානයේ ගමන නිමා වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය සඳහා වුණු සම්මුඛ පරීක්ෂණය නිම වී දින කිහිපයකින් දන්නා හඳුනන ආචාර්යවරයෙකුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකිනි.

“සුභ පැතුම් ප්‍රියන්ත... මට දැනගන්න ලැබුණ ශ්‍රී පාලියට ඔයාව තෝරාගෙන කියල...!“

සියලුම පරාජයන් කෙළවර යළි සොයාගත යුතු, සැඟව ඇති ජයග්‍රහණයන් ඇත. ජීවිතයේ අනේක බිඳ වැටීම්වලින් පසු කාලය විසින්ම මෙම කරුණ යළියළිත් මාහට පසක් කර දී ඇත. එසේමුත් සියළුම සිත් වේදනාකර පරාජයකදීම අපට ඒ මොහොතේ දී එය දරාගන්නට අවැසි ශක්තිය ලබා දෙන්නේ එම සිතුවිල්ල නම් නොවේ. අසළ හිඳිමින් වේදනාව දරාගන්නට ශක්තිය සපයා දෙන, එයින් කොටසක් තමන් වෙත ද තබාගනිමින් සහෘදත්වය පළ කරන මාපිය හිතමිතුරන් ය. නිවසේ දී අම්මා සහ තාත්ති ද, සොහොයුරන් ද, පේරාදෙණියේ දී සහෘද හිතමිතුරන් ද එදවස මා අසළ උන් හ. නිවැසියන්ගෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ අද දවස මා හා දුක බෙදාගන්නට එන්නේ කවුරුන් ද?

“ප්‍රියා... ඔයා මොකක් හරි ප්‍රශ්නයක ද?“

දිගු කල්පනාවක නිමග්නව උන් මට පැට්‍රික් මවෙත අවධානයෙන් උන් බව හැඟුණේ නැත. 

“හ්ම්... ඔව්.. පැට්‍රික්.. මගෙ පාට් ටයිම් ජොබ් එක නැති වුණා...!“

“ඔහ් මයි ගෝඩ්...!!“ වේගයෙන් ඇඳ මතින් පිනූ පැට්‍රික් මවෙත ආවේ ය.

“මොකද වුණේ?“

මම සිදුවීම කෙටියෙන් පැට්‍රික් වෙත කීවෙමි. දැඩි ඕනෑකමකින් සිදුවීම අසා සිටි ඔහු අවසානයේ මගේ උරහිස මත අත තැබී ය.

“යාළුවා... මට තේරෙනව... උඹ මෙහෙ ඇවිත් හිටියට මේ වියදම් දරාගන්න උඹට බැහැ. ප්‍රංශෙන් ඇවිල්ලත් මට බැරි එකේ උඹට කොහොම ඇති ද? මට තේරෙන්නෙ නැහැ කරන්න දෙයක් නම්... ඒත් හිතේ අමාරුව යන්න කතා කරන්න ඕන නම් කතා කරපන්... මම අහගෙන ඉන්නං... මට අහගෙන ඉන්න පුළුවන්... උඹ මගේ සහෝදරයෙක්!“

පපුව මත සිර වුණු යම් කිව නොහැකි හැඟීමක් සහිතව මම හිස වැනීමි. 

“මොනව හරි එකක් ලැබේවි. අපි උත්සාහ කරමු!“

විනෝදයෙන් කල් ගෙවන පැට්‍රික් හැඟුම්බර වන්නේ කලාතුරකිනි. එහෙත් ඔහු කදිම තරුණයෙකි. රියුනියන් දූපතේ සිය සැබෑ මව ගැන කියූ දා මම ඔහුගේ නෙත සැඟව තිබූ කඳුළ දුටිමි. අද ඔහු තමන් තුළ සැඟවුණු සොහොයුරා පෙරට ගෙනවිත් ඇත.

මම සෙමින් පරිගණකය වෙත ගොස් එය පණගැන්වීමි. විද්‍යුත් තැපැල් අතර නෝමන්ගෙන් ලැබුණු ලිපියකි.

“ප්‍රියන්ත... සිඩ්නි ෆිල්ම් ෆෙස්ටිවල් එක එනව.. මම ටිකට් ගන්නම්... අපි බලන්න යමු. ඔයා මට තියෙන වෙලාවක සල්ලි දෙන්න.. ඔයාට අමාරුත් ඇතිනෙ...!“

ඔහු එවා තිබුණු ලිපියේ පහළින් සිනමා උළෙල වෙබ් අඩවියේ සබැඳිය ද විය. ‘අපරිමිත කතන්දර‘ එහි තේමාව ලෙස ලියැවී තිබිණි. දිගු වේලාවකට පසු සිත තුළින් නැග එමින් තිබුණු සොම්නස් සහගත හැඟුමකින් යුතුව මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. මා මුහුණ දුන් අත්දැකීම පැට්‍රික්ගේ මුවින් අසා තිබුණු නිවහනේ සහෝදර කැළ නිහඬව මදෙස බලා උන් හ. ජුන් මවෙත විත් සිය අත රැඳි යමක් මවෙත දිගු කළේ ය.

“මගෙන්..!“

ඒ දින කිහිපයකට පෙර අප දෙදෙන සෙවන් ඉලවන් වෙළඳ සැළෙන් ගෙන ආ නොමිලේ ලද කිට් කැට් චොකලට් පෙත්තකි. මුදලින් නොගිනිය හැකි අපරිමිත සහෝදර වටිනාකමකින් ඇගයුම් ලද චොකලට් පෙත්තකි.

මම සිනාසී ජුන් දෙස බැලීමි. ‘අපරිමිත කතන්දර‘!!! ඔව්... මා සිඩ්නි සිනමා උළෙලට යා යුතු ය.