Sunday, August 26, 2012

අවුරුදු


( 2012 අ‌ප්‍රේල් මස 15 වැනිදා ඉරිදා )

මධ්‍යම දුම්රිය පළෙන් පෙනන්ට් හිල්ස් බලා දිවෙන දුම්රියකට ගොඩ වැදුණේ සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයින්ගේ අවුරුදු උත්සවයට යන්නට ය. කිසිදු කිරිබතක්, කැවුම් ගෙඩියක් නොදුටු ජීවිතයේ ප්‍රථම සිංහල අවුරුද්ද මෙයයි.

සිඩ්නි දුම්රිය ගමන් තරමක් හුරු වී තිබුණ ද පෙනන්ට් හිල්ස් ගමන තරමක දිගු කාලයක් ගන්නා එකකි. මධ්‍යම දුම්රිය පළෙන් පිටවන දුම්රිය, උමං මාර්ගයක් ඔස්සේ යමින් ප්‍රධාන සිඩ්නි නගරය පසු කරයි. වින්යාර්ඩ් හෝ නගර ශාලා උමං දුම්රිය පළකින් බැස යන්නකුට ප්‍රධාන නගර මධ්‍යයෙන් පිටතට විත් නගරයට ප්‍රවේශ විය හැක. උමං මාර්ගයෙන් පිටතට එන දුම්රිය ප්‍රකට හාබර් පාලම මතින් ගොස් නගරයේ උතුරු ප්‍රත්‍යන්තයට පිවිසෙයි. තවත් දුම්රිය පළ කිහිපයකට පසු යළි දිගු උමං මගක් ඔස්සේ දිවෙන ගමනක ද කෙළවරදී ය, පෙනන්ට් හිල්ස් හමුවන්නේ.

පෙනන්ට් හිල්ස්, එපින් ඇතුළු උතුරු ප්‍රත්‍යන්ත පෙදෙස්හි ශ්‍රී ලාංකිකයෝ බහුලව පදිංචි ව සිටිති.

“අපේ කට්ටිය මේ පැත්තේ ගොඩක් ඉන්නවා. දැන් අවුරුදු උත්සවේ තියෙන තැන හරියට ලංකාවෙ අයගෙ තැනක් ගාණට ඇවිත්. ගොඩක් සංස්කෘතික වැඩ සංවිධානය වෙන්නෙ එතන තමයි“

පෙනන්ට් හිල්ස් දුම්රිය පළේ දී මා පිළිගත් ජයන්ත අන්කල් රිය පදවන අතරතුර පැහැදිලි කළේ ය. ඇල්ගනන් වීදියේ නිවසින් පිටව ආ පසු ජයන්ත අන්කල් සහ කුමාරි ඇන්ටි යළි මුණගැසෙන්නේ අද ය. සැබවින්ම ඔවුන්ගේ ආරාධනය නොවන්නට පැමිණ මසක් ඇතුළත කෙරෙන මෙම උත්සවය ගැන මා දැන නොගන්නට බොහෝ දුරට ඉඩ තිබිණ. සිඩ්නියේ අවුරුදු උළෙල??? මෙහි කවරනම් ක්‍රියාකාරකම් සිදුවනු ඇත් ද? කුමනාකාරයේ මිනිසුන් හඳුනාගන්නට ඉඩ ලැබේවි ද? ජයන්ත අන්කල්, කුමාරි ආන්ටි, රංග හැරුණු විට මා හඳුනන ශ්‍රී ලාංකිකයන් සිඩ්නියේ වූයේ කිහිප දෙනෙකි. ඔවුන් ද ෆේස් බුක් අඩවියකදී හමු වූවා හැරෙන්නට මෙහි ආ පසු මුණගැසුනේ නැත.

පෙනන්ට් හිල්ස් සිට කිලෝ මීටර 2-3ක ගමනකින් පසු කාලින්ෆර්ඩ් හි රෝස්ලී ප්‍රජා ශාලාව ඉදිරියට රථය ප්‍රවේශ විය. ශාලාව ඉදිරිපසත්, මහමග දෙපසත් නවතා තිබුණු දිගු වාහන වැල නවීන පන්නයේ මෝටර් රථ හා ජිප් රථවලින් පිරී පැවතියේ ය.

“මේ සේරම අවුරුදු උත්සවේට ආපු අයගෙ. පේනවනෙ? හැමෝම වාහන පාවිච්චි කරනවා. මෙහෙ වාහනයක් නැතිව අමාරුයි. අනික වාහන ලාබයි. තමන්ගෙම වාහනයක් තියෙනව නම් ලාබම ඒකෙ යන එක. කෝච්චියට, බස් එකට වඩා ඒක ලාබයි!“

ජයන්ත අන්කල් තව දුරටත් පැහැදිලි කළේ රථය නැවතීමට ඉඩක් සොයමිනි. අතුරු සිදුරු නැති වාහන ගංගාව අතර ඉඩක් නොවූයෙන් පහළ වීදියකින් ප්‍රජා ශාලාවේ පසුපස පිට්ටනි පෙදෙසට ඔහු රිය පදවාලී ය.

ප්‍රජා ශාලාව පසුපස භූමිය මනරම් ක්‍රීඩා පිටි කිහිපයකින් සමන්විත විය. අවුරුදු උත්සවයේ අලියාට ඇහැ තැබීම, කණා මුට්ටිය බිඳීම වැනි තරග පවත්වා නිම වූ සළකුණු පිටියේ දෘශ්‍යමාන විය. කඹ ඇඳීමේ තරග සඳහා සූදානම් කෙරෙමින් තිබුණු පිටියේ පිරිසක් රැඳී හිඳිනු පෙණින. එහෙත්, රථ වැලට ගැලපෙන මහ සෙනඟක් එහි නොවීම මසිතට ගෙන ආවේ කුතුහලයකි.

“කෝ කට්ටිය හරි අඩුයිනෙ?“
කඹ අඳින්නට යන තරුණියෝ

මම ජයන්ත අන්කල්ගෙන් ඇසීමි.

“කට්ටිය පෙනෙයි හෝල් එක ඇතුළට ගියාම! එතන තමයි වැඩ තියෙන්නෙ. ඔයාටත් පුළුවන් අපිට හෙල්ප් එකක් දෙන්න ‘ආප්ප ස්ටෝල්‘ එක පැත්තට ඇවිත්!!“

ආප්ප ස්ටෝල් එකක්!! මම ප්‍රශ්න රැසක් සිත් හි රඳවාගෙන ශාලාවට ප්‍රවේශ වීමි. ශාලාවේ රැඳී සිටි පිරිස, පිටියේ රැඳී සිටි පිරිසට වඩා විශාල ය. ජයන්ත අන්කල් සඳහන් කළ ආප්ප සඳහා වූ වෙළඳ කුටිය, සිඩ්නියේ වන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කටයුත්තකි. ඒ හැරුණු විට බත් කඩයක්, කොත්තු කඩයක්, අවුරුදු රසකැවිලි කඩයක් මෙන්ම සිංහල සාහිත්‍ය කෘති වෙළඳ සළක් ද ඇතුළු වෙළඳ කුටි කිහිපයක්ම එහි වූ අතර කොත්තු කෑමට, ආප්ප කෑමට හෝ බත් කෑමට කැමැත්තෙන් ඒ වෙළඳ කුටි ඉදිරිපස පෙළ සැදී උන් පිරිස් ද දක්නට ලැබිණි. ඩොලර් 7-8ක මුදලකට බොහෝ ආහාර අළෙවි වූ අතර පෙළ ගැසුණු සියල්ලෝ තම වාරය තෙක් නොඉවසිලිව රැඳී උන් හ.

“බිත්තර ආප්පයයි, ප්ලේන් ආප්ප තුනයි, ලුණු මිරිසයි, චිකන් කරියයි මේ ගණන්වලට ලාභයි. ඒකයි මිනිස්සු හැමෝම කැමති!“

ආප්ප සාදන කුමාරි ආන්ටි ඇතුළු පිරිසට අත්උදව් දෙන අතර කවරකු හෝ කියනු මට ඇසිණි. අවුරුදු උළෙලක් පිළිබඳ පූර්වයෙහි වූ මනස් චිත්‍රයට සපුරා වෙනස් සිතුවමක් මා ඉදිරියේ දිග හැරෙනු දැකීම මාහට වේදනාවක් ගෙන ආවේ නැත. සිය සමීප නෑසියන්ගෙන් වෙන්ව, දුරු රටක වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට උපන් දේශය පිළිබඳ ඇත්තේ අතීතකාමයෙන් පිරි මතක එකතූන් සහිත හැඟීම් මාලාවකි. ගම් පියසේ ‘ලවුස්පීකර් ගස් බැඳ‘ අපූරුවට පැවති අවුරුදු උළෙල යළිත් සිය ඕස්ට්‍රේලියානු වාසී දුවාදරුවන් අභියස මවාලීමේ නොතිත් ආශාවක් මෙම වැඩිහිටියන් තුළ වනු නොඅනුමාන ය. එහෙත් ශීතල පරිසරයත්, බටහිර රුවැති ගොඩනැගිලි පිරි වටපිටාවත්, නවලොව ඇඳුමින් සැරසුණු තරුණ තරුණියන් පිරිසත් මේ සඳහා පූර්ණව ගැලපෙන තත්වයක් නිපදවන්නේ නැත. ඒ කෙසේ වුව හැකි පමණින් මෙම උළෙලෙහි අසිරිය විඳ ගන්නට ඔවුහු උත්සුක වෙති.
ශාලාවේ උණුසුම

තරග කරනු හැරුණු විට, ඇතැම් විට ඊටත් වඩා මෙම පිරිස සතුටු වන්නේ සිය හිතවතුන් මුණ ගැසීමෙන් විය හැක. ඒ අතරතුර සිය රට මතක සිහිගන්වමින් ආප්පයක් හෝ කොත්තුවක් ද කන්නටත් ලැබේ නම්!! ශාලාවේ වෙළඳ කුටි අසළ රැඳී හුන් පිරිසගේ මනස තුළ ඇත්තේ එවන් හැඟීමක් නොවේ යැයි කිව හැකි ද?

ආප්ප සැදෙන්නේ වේගයෙනි. කුඩා ගෑස් උදුන් 10ක 12ක ආප්ප සාදන සිඩ්නි නුවර ගෘහණියෝ වේගයෙන් ලැබෙන ඇණවුම් ඉදිරියේ පරාජය නොවෙති. බිත්තර ආප්ප සෑදීමේදී අප රටේදී මෙන් එක්වරම බිත්තරය ද ආප්පය සමගින්ම බැදී නොඑන්නේ මන්දැයි මට වැටහී නොගිය ද සාදන ලද බිත්තර ආප්පයේ බිත්තරය ද පදමට සැකසෙන තුරු ඒ ක්ෂුද්‍ර තරංග උදුනේ තැබීම මාහට පැවරුණු රාජකාරිය විය.

ආප්ප ඇණවුම් අඩුවෙමින් පවතිද්දී එතැනින් සමුගත් මම ශාලාව වටා ඇවිද ගියෙමි. අවුරුදු රසකැවිල්ලෙන් පිරුණු රසකැවිලි කඩයක් ද පසෙක වූ අතර යොවුන් වයසේ වූ පිරිසක් එහි අලෙවි කටයුතු සිදු කරමින් උන් හ. වැලිතලප!!! කොණ්ඩ කැවුම්, මුං කැවුම්, කේක් හා දෝසි අතර මගේ නෙත පැහැර ගත්තේ වැලිතලප යි.

“ප්‍රියන්ත පුතා කියන්නෙ නැති වුණු අපේ කිරි අත්ත වෙන්න ඇති කියල තාත්ති කියනව. අපේ කිරි අත්තත් වැලිතලපවලට හරි ආසයිනෙ පුතා වගේම...“

පාසැල් නිවාඩුවට වත්තට ගිය විට අපි වෙනුවෙන් සදන වැලිතලප පිළිගන්වමින් සිනාසෙන අම්මා කියන්නී ය. මා වැලිතලප කන්නට ආසා බව දන්නා ඇය නිවාඩුවක දී බොහෝ විට ඒ සාදා දෙයි. එසේ නමුත් මහගෙදර දී ද අපට වැලිතලප ලැබෙන අවස්ථා එමට ය. රස කැවිලි සැදීමේ මනා හැකියාවක් ඇති ආච්චී ද ඇතැම් දිනවල වැලිතලප සාදයි.

“කැකුළු සහල් පිටියෙන් ද...
තම්බා කඩ පිම්මෙන් ද.... “

මනා ස්මරණ ශක්තියකින් හෙබි ආච්චි වැලිතලප අප වෙත බෙදා දෙන්නේ වැලිතලප කවිය ද මුමුණමිනි.

වඩා රසවත් වැලිතලප කෑමට මටත් මල්ලීටත් වරක් අවස්ථාව ලැබුණේ අම්මාගේ නැන්දා කෙනෙකුගේ ගම් පියසට ගිය විටදී ය. රිදීගමට ද තරමක් දුරින් මනරම් වෙල් යායවලින් වටවුණු එම ගම්මානයට යන්නට අප මහත් කැමැත්තක් දැක්වූයේ අම්මාගේ ඥාති සොයුරු සොයුරියන් වන බාප්පලා, නැන්දලාගේ ආදර සංග්‍රහ නොමඳ ව ලැබුණු නිසා විය යුතු ය. බාප්පලාගේ දරුවන් සමග සෙල්ලමට වැටීමටත්, කඳුකරයේ සිට ගලාවිත් ගම හරහා ගලන ඔයෙන් නාන්නට ඉඩලැබීමත් මෙම ගමනට ඇති උනන්දුව දෙගුණ කර දුන්නේ ය. මෙසේ ගිය ගමනක දී, ඔයෙන් නා නිවසට පැමිණි පසු සවස්වරුවක දී ය, ඒ ආච්චී අපිට වැලිතලප දුන්නේ.

“වැලි පිට්ටු වගයක්. ටික දවසක් වෙනව හදල. මම ටිකක් තියල තිබ්බ පුතාලට!“

එපෙදෙසේ අය වැලිතලප හැඳින්වූයේ වැලි පිට්ටු යන නමිනි. යහමින් කිතුල් පැණි යොදා සාදා තිබුණු වැලිතලප කැබලි කිහිපය නිමා කරන්නට මටත් මල්ලීටත් වැඩි වේලාවක් ගත වූයේ නැත. අවසන් කැබැල්ලත් මුව තුළට ලා ගනිද්දීම දෙවැනි බාප්පාගේ කුඩා පුතු (මල්ලී) එතැනට කඩා පැන්නේ ය.

“ඒ මොනව ද?“

“වැලි පිට්ටු!. ඇයි මගේ පුතාට මම දුන්නේ. මේ අයියලාට දුන්නු පංගුව“

“මටත් ඕනෑ...!!“

“ආයෙ හදල දෙන්නම්. දැන් ඉවරනෙ මගෙ පුතේ..“

“එහෙම බෑ. දැන්ම ඕනෑ...“

ආච්චි බලවත් ලෙස අපහසුතාවයට පත් වූයේ නැති වැලි පිට්ටු ඉල්ලමින් මල්ලී කළ පෙරළිය නිසා ය.

“ආ... මෙතන කෑල්ලකට වඩා තියෙනවා...“

අවසානයේ ඇය වැලිතලප තිබූ භාජනය තුළ වූ කැඩී ගිය කොටස් ඔහු අත්ලට දැම්මා ය.

“මට මේව එපා... මට ඕන හොඳ කෑල්ලක්... නැත්තං මම මේව විසි කරනවා...“

සිය විරෝධය පෑමට අත වූ කොටස් ඔහු වේගයෙන් විසි කළේ ය. එහෙත් ඒ පසෙකට නම් නොවේ. අනෙත් අත වෙතට ය!!!

පස් වියැති දඟකාරයාගේ ක්‍රියාව දුටු ආච්චිටත්, එතැනට ආ නැන්දලාටත් සිනාව නවතාගත නොහැකි විය. ඉමිහිරි රසය නිසාම අප වෙත දුන් සියලු වැලිතලප කා දමා උන් මල්ලීටත් මටත් පිරිස හා එක්ව සිනාවට එක් වෙනු හැර කළ හැකි යමක් ඉතිරිව තිබුණේ නැත‍.

“මේ වැලිතලප කෑල්ලක් කීය ද?“

Oh...It’s one dollar!

මගේ පැණයට ඉංග්‍රීසි බසින් පිළිතුරු දුන් තරුණිය වෙත මම ඩොලරයක් දිගු කළෙමි. රුපියල්වලින් නම් එකසිය තිහක්!!

මුදලට ගිණිය නොහැකි වූ යමක් මා අතට පත් වූ බව මට හැඟිණි. අතීතය! අම්මා, ආච්චී, අම්මාගේ නැන්දා, අතින් අතට වැලි පිට්ටු විසි කර විරෝධය පෑ දෙවැනි බාප්පාගේ පුතු ඇතුළු සියල්ලන් හා බැඳුණු අතීත මතකයක් ඩොලරයකට මා අතට ලැබී තිබිණි.

අවුරුදු උළෙල නිසා මට නව මිතුරන් කිහිප දෙනෙකුම මුණ ගැසිණි. ලංකාවේ සිට මා ගැන සොයා බැලූ සිනමා කැමරාකරු සුමින්ද වීරසිංහයන්ගේ උදව්වෙන් හඳුනාගත් කණිෂ්ක මුලින්ම මා හමුවන්නට ආවේ අවුරුදු උ‍ළෙලට ය. ඒ මතු නොව සිංහල බ්ලොග් රචකයෙකු ද, සාහිත්‍යයට උනන්දු කිහිප දෙනෙකු ද මහ සෙනඟ අතර හිඳ මුණ ගැසුණේ අහම්බයෙන් මෙනි. එහෙත් සියල්ල හමාරව කණිෂ්කගේ රියෙහි නැඟ පිටව යද්දී ද සිහියට ආවේ අතීතය යි. ඩොලරයේ වැලිතලපය එය මා වෙත තිළිණ කර තිබිණ.

අවුරුදු උළෙලෙන් සමුගෙන යළි සිඩ්නි නුවර ධාවනකාරී දිවියට පිටව යන සියල්ලෝම මේ බිම වෙතින් එවන් මතක මිළට ගෙන හෝ සිහි කැඳවාගෙන යනු ඇත.

Friday, August 17, 2012

ඩාලින් හාබරය දෙසට ඇවිද යාම



(2012 අ‌ප්‍රේල් මස 08 වැනිදා ඉරිදා)

කලින් තීරණය කරගෙන උන්නාක් මෙන් හිරු උදාවත් සමග කුසීතකම හා පාළුව ඔබ වෙත පැමිණ සිටිනු ඇතැම් උදෑසනවලදී ඔබට දකින්නට ලැබෙනු ඇත. සමාගමයට කෙතරම් අකමැති මොහොතක වුව මෙම මිතුරන් දෙපළ පැමිණි පසු පිටත් කරවීම පහසු කරුණක් නොවන බවත් ඔබටම වැටහී යනු ඇත.

නිවැසියන් හා නෑ මිතුරන්ගෙන් දුරස්ථව ගෙවෙන කාලයේ දී හමුවට එන මෙම සමාගමය ලෙන්ගතු මිත්‍ර සමාගමයක් සටහන් කරමින් දවසේ වැඩි කාලයක් අප හා රැඳෙයි. අතීත සන්තුෂ්ටීන් සිහියට නැගීම මෙවන් මොහොතක දී සිදු විය හැක්කක් වුව වඩා වැඩි ඉඩක් ඇත්තේ වේදනාබරිත අතීත මතකයන් හා එක්ව සංවේදනා නැගී ඒමටයි. ජීවිත කාලයක් තුළ අහිමිව ගිය දේ, වෙන්ව ගිය සුමිතුරන්, හැර දමා ගිය පෙම්වතුන් හෝ පෙම්වතියන් මෙම මතක ආවර්ජනා තුළ බහුලව මුණ ගැසෙනු ඇත. කවි පබැඳුමට, ගී පද නැඟුමට සමත් අයෙකු නම් මේ ස්මරණ ගබඩා අතර සැරි සරා, තවකකුගේ සහෘද සිත කම්පනය කළ හැකි යමක් සමග පිටව යනු ඇත.


රීජන්ට් වීදියේ නවාතැනෙහි කිසිවකුත් නොවූ මොහොතක පාළුව සමග නැගී ආ කාංසිය මුසු කුසීතකම මවෙතට එබී බලන්නට විය. සෙමෙන් ගමනට සුදුසු ඇඳුමකට මාරු වුණු මම නවාතැනින් වීදියට පිවිසියෙමි. එක් අන්තයකට පමණක් වාහන ගමනයට අවසර ඇති රීජන්ට් වීදියේ මාගේ නවාතැන ඉදිරිපිටම, නිව් සවුත් වේල්ස් හි උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කරන කාර්යාලයක් පිහිටා ඇත. සති අන්තයේ පාළු ස්වභාවයක් උසුලන එම කාර්යාලයේ දොරටුව අභියස මහ හඬින් සිනාසෙමින්, සුභ පැතුම් පතමින්, ඡායාරූප ගනිමින් සිටින මඟුල් ජෝඩු සතියේ දිනවල මා කොතෙකුත් දැක ඇත. යුරෝපීය පෙනුමැති තරුණයකුගේ අතගත් චීන හෝ ජපන් ජාතික තරුණියක්, බ්‍රසීල හෝ ආර්ජෙන්ටිනා වැනි දකුණු ඇමරිකානු රටකිනැයි සිතෙන පෙනුමකින් යුතු තරුණයකුගේ අත ගත් ඉන්දීය පෙනුමැති තරුණියක් ආදී විවිධාකාර පෙනුමැති මඟුල් ජෝඩු අප වීදියේ ඇවිද යනු දිවා කල සුලභ දසුනකි. තරුණ විය ඉක්මවූ බව පෙනෙන යුවල ද මෙම පිරිස් අතර අපට හමු වේ. මහත් සතුටකින් ජෝඩුව සමග එන පිරිස සිදු කරන විවිධාකාර විනෝද ක්‍රියා දෙස නවාතැනේ බැල්කනියේ සිට ඇතැම් දිනක ජුන් සහ මම බලා සිටින්නෙමු.

විවාහක ජෝඩු පෙනෙන්නට නැති පාළු වීදියේ පදික වේදිකාවේ පහළට කිසිදු අදහසකින් තොරව මම ඇවිද ගියෙමි.  පැරමැටා පෙදෙස ඇතුළු බටහිර දිග ප්‍රත්‍යන්තයන් බලා දිවෙන රථ රැසක් වැල නොකැඩී වම් පසට ඉගිල යනු පෙනේ. දකුණු පසින් අහස් කුස සිඹින තුංග ගොඩනැගිලි පිරිවරමින් සිඩ්නියේ ප්‍රධාන නගර ප්‍රදේශය පෙනෙයි. මඳක් කල්පනා කල මම වමට හැරුණෙමි. මෙම වීදිය ඔස්සේ දිනපතා සිඩ්නි විශ්වවිද්‍යාලයට පා ගමනින් යන මා හට අතරමග හමුවුණු පුවරුවක් සිහියට නැගීම මහත් සිරි පිරි නගරය දෙසට යාම වෙනස් කළ හේතුව විය. ‘ඩාලින් හාබරයට‘ ගමන් මාර්ගය එහි සඳහන් ව තිබිණි.

ඩාලින් හාබරය දෙසට යා යුතු යැයි යන අදහස නවාතැනින් පිටවන විට වූ අදහසක් නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ රැකියාව ලබා පැමිණි පසු සහභාගි වූ ගුරු පුහුණු පාඨමාලාවේදී මහාචාර්ය ජයරත්න කියූ කතාවක් නිතැතින්ම මගේ සිහියට ආවේ ය.

“ නිතරම යන්නෙ කොහෙද කියල දැනගෙන බස් හොල්ට් එකට යන්න... පාරට බහින්න... නැත්තම් මොන බස් එකේ ද යන්න වෙන්නෙ..??“

“මොකකවත් යන්න බැහැ!“

තරුණ කථිකාචාර්යවරයෙක් පිළිතුරු දුන්නා මතක ය.

“නැහැ... ඕනම එකක පුළුවන්!  මොකද අරමුණක් නැති නිසා... ඒත් උගන්නනකොට යන්න වෙන්නෙ අරමුණක් ඇතිව... ඒ කිව්වෙ බස් එක දැනගෙන..!“

අති දක්ෂ ගුරුවරයකු වූ මහාචාර්ය ජයරත්න මෙවැනි සිත් ගන්නා ප්‍රකාශ හා උදාහරණ සමගින් විශ්වවිද්‍යාල ඉගැන්වීම පිළිබඳ අප දැනුවත් කළේ ය.

“හැබැයි මම ඔය කතාවට නම් එච්චර එකඟ නැහැ. ගොඩක් වෙලාවට වැඩේ නැවුම් මාවතකට යන්නෙම ගමනාන්තෙ නොදැන පාරට බැස්සම තමයි“
ඩාලින් හාබරය දෙසට පදිකයන් නැති වීදියක...

වරෙක මේ ගැන ලොහාන් මා හා වාද කළේ ය. ඔහුගේ තර්කයේ ඇති ප්‍රබලත්වය ද කෙමෙන් මා හට වැටහෙන්නට විය. මග දැන පිටව යෑමත්, නොදැන මගට බැසීමත් යන්නෙන් වඩා ප්‍රබල කවරක්ද යන්න ඒ ඒ අවස්ථාවන් අනුව තීරණය කළ යුත්තකැයි මට හැඟෙයි. නිර්මාණාත්මක ව යමක් දෙස බලන්නකුට සියල්ලන් ගිය මග හැර දමා වෙනස් මගක් ඔස්සේ අවතීර්ණ වීමෙන්ම නව්‍ය මං පෙත් විවර කර ගන්නට ඉඩ සැලසෙනු ඇත.

නොදන්නා සිඩ්නියේ මා අතරමං වනු ඇතැයි යන බියක් කිසිවිට මසිතට නැගී ආවේ නැත. ඩාලින් හාබරය දෙසට දිවෙන වීදිය තෝරා ගත් මම එහි ඇවිද යන්නට පටන් ගතිමි. මහා නගරයක් වුව ඇතැම් වීදි පදිකයින්ගෙන් ශුන්‍ය ව පැවතීම මෙහි සාමාන්‍ය කරුණකි. ඉම කොණ නොපෙනෙන සේ ඇදෙන වාහන ගංගා දක්නට ලැබුණ ද ගුප්ත බවක් මවමින් කිසිදු පදිකයෙකු ඔබේ නෙත නොගැටෙන අවස්ථා සිඩ්නියේ දී බහුලව යෙදෙයි.

ඩාලින් හාබරයේ සිට සිඩ්නි නගරය
විනාඩි තිහක පමණ ගමනකින් පසු මම ඩාලින් හාබර පරිශ්‍රයට පිවිසියෙමි. අහා... මනරම් සිඩ්නි නගරය!! ඩාලින් හාබරය මත්තෙන් දිවෙන මගී පාලම මතට ආ කළ නගරය මනරම් දසුනක් මවා දෙයි. නගරය වෙතට ඇවිද නොගොස්, පසෙකින්විත් නගරය දෙස එබී බැලීමට ලැබීම මසිතට නැවුම් සතුටක් ළඟා කළේ ය. විවිධාකාර හැඩැති උස ගොඩනැගිලිවලින් ඇතැම් ඒවා බැංකු බවත්, තවත් කොටසක් හෝටල බවත් පැහැදිලි ය. ඒ අතර ලෝ ප්‍රකට වෙළඳ නාම දරාගත් ගොඩනැඟිලි ද රාශියකි. සැම ගොඩනැග්මක්ම පරදවමින් නැඟුණු සිඩ්නි කුළුණ ද අහස සිඹිනු පෙනේ.

“අද අපි සිඩ්නි ටවර් එකේ හෝටලෙන් රෑට කෑවා. එතන කෑම හරි ගණන්...“

මා එන්නට පෙර රීජන්ට් නවාතැනේ උන් චීන තරුණියක් යළි සගයින් බලන්නට විත්, සිය පෙම්වතා සමග කුළුණට ගිය වග ජුන් සමග පවසනු මට ඇසී ඇත.


නගරය...!! විවිධාකාර ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ, සිවිල් ඉංජිනේරුවන්ගේ අදහස් උදහස් එක්ව නැගී ඇති සිඩ්නි නගරය විඳීම ද අපූර්ව අත්දැකීමකි. විවිධාකාර ඇඳුමින් සැරසුණු, විවිධාකාර මුහුණින් යුත් ගැහැණුන් හා මිනිසුන් රැසක් ඩාලින් හාබරය ප්‍රදේශයේ දක්නට ලැබිණි. සිඩ්නියේ ජන වර්ග සියයකට වඩා වෙසෙන බවත්, භාෂා එකසිය තිහක් කතා කෙරෙන බවත් නගරය හඳුන්වා දුන් පොත් පිංචක තිබුණා මතක ය. සියලුම මහාද්වීපයන් නියෝජනය කෙරෙන, බොහෝ රටවල් නියෝජනය කෙරෙන ළමා ලපටීන්, තරුණ තරුණියන් හා වැඩිහිටියන් ඩාලින් හාබරය දෙපස සංචාරක ආකර්ෂණයන් වෙත ඇදෙනු පෙණින. ලොව විශාලම ත්‍රිමාණ තිරය සහිත අයි මැක්ස් සිනමාහල, සුප්‍රකට මැඩම් තුෂාද් ඉටි රූප කෞතුකාගාරයේ සිඩ්නි ප්‍රදර්ශන ශාලාව, සාගර නෞකා කෞතුකාගාරය, සිඩ්නි සාගර ජීවි මැදුර, චීන මිත්‍රත්ව උද්‍යානය ඇතුළු නන් විධ ආකර්ෂණයන් ඇසුරු කරමින් නැව් තටාංගනය දෙපස ඇති බොජුන් හල්හි රස මසවුලින් කුස පුරවා ගනිමින් කාලය ගත කිරීම මෙම සංචාරකයින්ගේ ක්‍රියා පිළිවෙතයි.

ප්‍රධාන ප්‍රදර්ශන ශාලා කිසිවකට ඇතුළු වීමට වත්කමක් නොවූ මම ජනාකීර්ණ නැව් තටාංගනය පසෙකින් ඇවිද ගියෙමි. අයි මැක්ස් සිනමා හලට පසෙකින් එළිමහන් කොටසක සිඩ්නියේ වැඩිහිටියන් අගයනු වස් පැවැත්වෙන සංදර්ශනයකි. මහලු ජෝඩු ගණනාවක් විසිතුරු ඇඳුමින් සැරසී උළෙල නරඹනු පෙනේ. ඔවුන්ගේ යුගයන් නියෝජනය කෙරෙන නර්තන හා ගායන අංග වේදිකාවේ දිග හැරෙයි. 
video


බොහෝ වේලාවක් සංදර්ශනය දෙසත්, සංචාරකයින්ගේ හා ඔස්ට්‍රේලියානුවන්ගේ පැවතුම් දෙසත් බලා හුන් මම යළි රීජන්ට් වීදිය දෙසට පය එසවීමි. ඉරු අවරට හැරී ඇත. වීදි ලාම්පු දැල්වී ගොසිනි. පාළුව හා කුසීතකම තවම මා සමග ද? නගරයේ සිරි අසිරි මගේ දෙනෙත් අභියස මැවුනේ එමිතුරන්ට පින් සිදුවන්නට ය. දිවා කල පැවති නගරය වෙනස් වෙමින් රාත්‍රී නගරය අවදි වෙයි. නගරය කිසිවිට නින්දට නොයේ. රාත්‍රි නගරයේ ආරම්භය සමග නවාතැනට පිය මනින මසිත සියුම් සතුටකි. මිනිස් ජීවිතය... සිය දහස් ගණන්, විවිධාකාර මිනිසුන් විඳින ජීවිතය.... ඒ ජීවිතවලින් පිරුණු නගරය දෙස බලා සිටීමේ සතුටය ඒ...!!

Thursday, August 2, 2012

රස්සා...


(2012 අ‌ප්‍රේල් මස 05 වැනිදා)

 දයාබරිත සිනහවක් සහිතව නිතර අප සමග කුළුපගව විසූ ජුන්ගේ සිනහව එක්වරම අතුරුදන් විය. සිඩ්නියේදී, නීත්‍යානුකූලව පැයක සේවයට ඩොලර් 18-20 ක අවමයක් ගෙවිය යුතු වුව ඩොලර් 11කට  නගරයේ ප්‍රධාන කොරියානු හෝටලයක සේවය කළ ඔහු හේතු නොදන්වාම සේවයෙන් පහ කර තිබිණි.

“අද උදේ වැඩට ගියාම කිව්ව මාව අයින් කළා කියල... හේතුවක් කිව්වෙ නැහැ...“

අසරණ මුහුණින් යුතුව ජුන් පැහැදිලි කළේ ය. ෆ්‍රන්සුවාගේ හා පැට්‍රික්ගේ මෙන්ම මර්සෙලෝගේ විනෝද සමාගමයන් අතරට වී මහත් ආනන්දයෙන් කල් ගෙවූ ජුන් සිය සිනහව හා අල්ලාප සල්ලාපය නවතා දැමූ අතර දින පොත ඇඳීම ඇතුළු සිය දෛනික ක්‍රියාකාරකම් ගණනාවක් ද අත්හිටුවී ය.

සිතුවම් ඇඳීමෙහි දක්ෂයෙකු වූ ජුන් එදිනෙදා දිවියේ සටහන් සිය දිනපොතේ පිටු අතරට එක් කළේ ද ඒ ඇසුරු කරගෙන ය. නවාතැනේ අප සියල්ලන්ගේම මුහුණු ඔහුගේ දිනපොතේ පිටු අතර නිබඳව ඇඳී තිබුණු අතර ආලින්දයේ ප්‍රධාන මේසය මත වූ ඔහුගේ සිතුවම් දිනපොත පෙරළා බැලීමට කිසිදු බාධාවක් ද නොවී ය. සැබැවින්ම ඔහු දිනයේ වැඩි කාලයක් ගත කළේ මෙම සිතුවම් දිනපොත සම්පූර්ණ කිරීමට ය. දිනපොතෙහි කිසිදු දිනයක් හිස්ව නොතැබූ ජුන් සියලු සුවිශේෂ සිදුවීම් සිතුවමට නැගූ අතර ඒ අතරට දෙබස් ද යෙදූ අවස්ථා විය.

ජුන්ගේ පැන්සලින් සිතුවමට නැගි නවාතැන් සගයින්ගේ මුහුණු කිහිපයක් දුටු මම මගේ මුහුණ ද ඇඳ දෙන ලෙස ඔහුගෙන් වරක් ඉල්ලා සිටියෙමි.

“ම්... මම හැමෝගෙම රූප ඇඳල දුන්නෙ බලාපොරොත්තු නැති වෙලාවක එයා පුදුම වෙන විදිහට...ඔයාවත් මම එහෙමම ඇඳල දෙයි දවසක...!!“

සුපුරුදු සිනාවෙන් යුතු ව ජුන් පිළිවදන් දුන්නේ ය.

දින කිහිපයකට පසු, නවාතැන් සගයින් පිළිබඳ අවධානයකින් තොරව, ලිපියක් කියවමින් කාමරයට වී සිටි මොහොතක ජුන් කාමරයට කඩා පැන්නේ ය.

“මෙන්න මගෙන් සමරුවක්!!“

ජුන් ඇඳි මා රුව
සිඩ්නිය බලා ආ ගමනේ දී ගුවන් යානයේ අසුනට වී උන් මගේ ඡායාරූපයක් ජුන් සිතුවමට නගා තිබිණි. සිතුවම මදෙසට දිගු ක‍ළ සිහින් කොරියානු කොලුගැටයා වෙතින් නැගි නිර්ව්‍යාජ සිනහව නවාතැන් සගයින් අතරින් මතුව ආ තවත් ළබැඳි සොයුරෙකුගේ සහෘද බවට දුන් සහතිකයක් විය. මහත් සොම්නසකින් මම එය පිළිගත්තේ ජුන්ට ස්තුති කරමිනි.

“මේක නම් ගොඩක් වටිනව ජුන්... “

“මම කිව්වනෙ... මම මේක දෙන්නෙ බලාපොරොත්තු නැති වෙලාවක කියල...!“

නවාතැනෙහි අවිහිංසකම සගයා ලෙස කාගේත් ආදරය දිනූ ජුන්ගේ රැකියාව අහිමි වීම නවාතැනෙහි ප්‍රීතිය බිඳ හෙළූ කරුණක් විය. සිය පරිගණකය ඉදිරිපස වාඩි වී නව රැකියා සොයා වෙහෙසුණු ඔහු මුද්‍රණය කරගත් ජීව දත්ත පත් සමග ඇතැම් උදෑසනයන්හි පිටව ගියේ ය.

“ජය වේවා ජුන්!!!“

පිටව යන ජුන්ට එකහඬින් සුභ පැතීම අපේ පුරුද්දක් විය. එහෙත් සවස් යාමය එළඹෙත්ම මැළවුණු මුහුණින් නවාතැනට එන ජුන් දකින කිසිවකු ඔහුගෙන් ප්‍රශ්න ඇසුවේ නැත.

නිහඬව ගෙවෙන රාත්‍රී සමයන්හි දී, අඩක් කුස පුරවාගන්නා ජුන් කිසිවක් කල්පනා කරන ස්වරූපයක් දක්වමින් සෙමෙන් බැල්කනි දොරටුව අසළට යනු මම බලා සිටිමි. කටුක ශීතල නිවසට ඇතුළු වනු නොදී වසා දමන ලද වීදුරු දොරින් පහළ වීදිය මනාව දිස්වෙද්දී ඒ දෙස බලා කල්පනා කරමින් සිටින ජුන් මට පෙනෙයි. සියල්ලන්ටම නොපෙනෙන්නට සිය නෙතින් ගලන කඳුළු පිස දමමින් බොහෝ වේලාවක් එහි ගත කරන ජුන් කිසිදු වේදනාවක් නොමැත්තෙකු ලෙස යළි සිය කාමරයට වැදෙයි.

රැකියාවක් අහිමි වීම, රැකියාවක් නොමැති වීමේ වේදනාව මහත් වේදනාවක් ලෙස මාහට දැනී ඇතැයි මම නොසිතමි. ඇතැමුන් දොස් නගද්දී කිසිදු වේදනාවකින් තොරව රැකියාවකට සමු දී ආ අතීතයක් මා හට හිමි ය.

උසස් පෙළ විද්‍යා විෂයය ධාරාවෙන් මුලින් ම විභාගයට පෙනී උන් මම විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් නොලද්දෙමි. සැබවින්ම මා ඉන් ලද සාමාර්ථය අවම මට්ටමක වූවකි. තුන්වන වතාවේ දී කලා විෂයය ධාරාව තෝරා ගැනීම අත් හැර දමා ආ සැබෑ මාවතට යළි ප්‍රවේශ වීමක් විය. එහෙත් මාස හයක සූදානම පූර්ණ ප්‍රතිඵලයක් ළඟා කර දුන්නේ නැත. අවම සරසවි පිවිසුම් ලකුණු 260ක් වූ එවර මා ලබාගත්තේ ලකුණු 251ක් පම‍ණි.  අවසන් සිහිනය ද බොඳව ගොස් ඇතැයි සිතූ මම විද්‍යා-ගණිත ගුරු තරග විභාගයට ඉල්ලුම් කළෙමි. විශාල ලකුණු ප්‍රමාණයකින් ඒ සමත් වෙද්දී විශ්ව විද්‍යාල සඳහා විශේෂ සුදුසුකම් යටතේ ඉල්ලුම්පත් කැඳවා තිබිණි.

“ඔයාට ජාතික මට්ටමේ සහතික තියෙනවනෙ චෙස්වලින්... ඇප්ලයි කරන්න“

වැඩිහිටි උපදෙස් මත යොමු කළ අයදුම් පත හේතුවෙන් මා සම්මුඛ පරීක්ෂණයකට කැඳවා තිබූ අතර, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේදී හත් අට දෙනෙකුගෙන් යුතු පරීක්ෂක මණ්ඩලයක් අභියස පෙනී සිටින්නට මා හට සිදු විය.

“මේව මේ ඉස්කෝලවලින් සංවිධානය කරපු තරග... මේව ගණන් ගන්න බැහැ..“  පාසැල් චෙස් තරග සහතික ගොන්නක්ම පසෙක ලමින් පරීක්ෂකවරයෙක් කියා සිටියේ ය.

“ජාතික පාසැල් සහතික නැද්ද?“

මම එක් සහතිකයක් දිගු කළෙමි.

“ ආ... මේක නම් හරි... මේක විතර ද?“

“සර්... මම ඉස්කෝලෙන් අස්වෙන අවුරුද්දෙ තමයි චෙස් ජාතික පාසැල්වලට ආවෙ... ඒ සහතිකේ ඕක.. වෙන සහතික නැහැ..“

“ආ... ඒකත්‍ ඇත්ත‍.. ඒත් එක සහතිකේනෙ ඔයාට තියෙන්නෙ...?“

මම නිරුත්තර වීමි. විශාල සහතික එකතුවක් සමග මහත් බලාපොරොත්තු සහිතව ආ මා පරාජිතයකු වී ඇත.

“වෙන කිසිම සුදුසුකමක් නැද්ද ජාතික මට්ටමේ...?“

“මම කෙටි නාට්‍යයක් කළා යෞවන සම්මානවලට... ඒක අවසන් වටයට ආවා...!“

“ආහ්... කෝ ඒකෙ සහතිකේ..?“

“සහතිකයක් දෙන්නෙ නැහැ සර් ෆයිනල් ආවට... සමරු කලාපය නම් තියෙනවා...“

“වැඩක් නැහැ... අපි බලන්නෙ සහතික!!“

මුල පටන් මා හා සල්ලාපයේ යෙදුණු පරීක්ෂකවරයා අවසන් තීරණය ප්‍රකාශ කළේ ය. මම සෙමින් නැගිට සිටියෙමි. මා ඉදිරිපසම අසුනේ සිට නිහඬව මා දෙස බලා සිටි මහාචාර්ය ජේ.බී. දිසානායකයෝ මා නවතාලූ හ.

“පුතා පොඩ්ඩක් වාඩිවෙන්න... කෝ දෙන්න ඒ සමරු කලාපය...“

මගෙන් සමරු කළඹ ඉල්ලාගත් මහාචාර්යවරයා මගේ කෙටි නාට්‍යය වූ ‘නොනිමි‘ සඳහා වෙන්වූ පිට කියවා බැලුවේ මොහොතක් නිහඬ වන ලෙස සෙස්සන්ට අතින් සන් කරමිනි. කියවීම හමාර කළ ඔහු සමරුව යළි මා වෙත දිගු කළේ ය.

“හොඳයි... දැන් යන්න...“

නිහඬ පරීක්ෂක මණ්ඩලය අභියසින් මා පිටව ආවේ කිසිදු හැඟීමකින් තොරව ය. පරීක්ෂණය සාර්ථක වන බවට කිසිදු විශ්වාසයක් මා වෙත නොවූ අතර ඒ අතර ලැබුණු ගුරු පත්වීම භාර ගැනීමට මම තීරණය කළෙමි. මහනුවර නගරයෙන් සැතපුම් ගණනාවක් දුරින් වූ එකම බස්රියකින් පමණක් ළඟා විය හැකි අරත්තන මහා විද්‍යාලයේ විද්‍යා-ගණිත ගුරුවරයකු ලෙස පත්වීම භාර ගැනීමට දින කිහිපයකට පෙර නිවස දෙසට පිය නගමින් උන් මා වෙත ආ තාත්ති මෙසේ කියා සිටියේ ය.

“අන්න තෑග්ගක් ඇවිත් තියෙනව ගෙදර...!!“

විශේෂ සුදුසුකම් යටතේ මා ලද ලකුණු හේතුවෙන් මා විශ්වවිද්‍යාල වරම් ලබා ඇති බවටත්, තේරී ඇති විශ්වවිද්‍යාලයෙන් මාරු නොපැතිය යුතු බවටත් එහි සඳහන් විය. මා තේරී තිබුණේ පේරාදෙණියට යි!!!

“දැන් ඉතින් දෙකම කරන එකයි තියෙන්නෙ... ගුරු පත්වීම එක්කම උපාධිය ඉවර කළාම නිකම්ම උපාධි ගුරුකමට යන්න පුළුවන්... ඔය දුර ඉස්කෝලවල වැඩට හැමදාම යන්න ඕන නැහැ... ප්‍රින්සිපල්ට කිව්වම එයාල උදව් කරයි දෙකම කරගන්න...“

බොහෝ වැඩිහිටියෝ දැනමුතුකම් දුන් හ. පාසැලේ වැඩ භාරගැනීමට තිබුණේ විශ්වවිද්‍යාලය ඇරඹෙන දිනට පෙර දින හෙයින් මම අරත්තන මහා විද්‍යාලයට ගියෙමි. පාසැලට පිවිස විනාඩි කිහිපයකින් නිරුවත් දෙපයින් ආ කුඩා දරුවෙක් මා අසළ සිට ගත්තේ ය.

“සර් නේද අලුතෙන් ආවෙ...? සර් අපේ පන්තියට රිලීෆ් දාලා කියල ලොකු සර් එක්ක යන්න කිව්ව...“

මම නිහඬව කුඩා දරුවා පසුපස ගියෙමි. සපත්තු නොපැළඳි, ගුරු පැහැ ගත් කමිස හා ගවුම් පොඩිතිවලින් සැරසුණු දරු දැරියන් රැසක් මා අභියස නෙත් දල්වා බලා සිටිය හ. පන්තියේ නියමිත ගුරුවරයා හෝ ගුරුවරිය නොමැති මොහොතේ ආ මෙම ආගන්තුක ගුරුවරයා සිය ජීවිත පහන් කරනු ඇතැයි යන බලාපොරොත්තු ඒ දෑස්වල මට කියවාගත හැකි විය. මට මේ කුඩාවුන්ගේ ජීවිත උගස් කොට විශ්වවිද්‍යාලයට යාමට ඉඩ සෙවිය හැකි ද? දින ගණන් මා එනතෙක් මග බලා සිටින දරුවන් අතැර මාගේ පුද්ගලික සුඛය සොයා මට විශ්වවිද්‍යාලයට වී සිටිය හැකි ද? පසු දා විශ්වවිද්‍යාලයේ පළමු දිනයේදී මම එහි ගියෙමි. සුන්දර පේරාදෙණිය....!! මහත් සටනකින් පසු මම එහි ළඟා වී ඇත. පළමු දිනයේ හඳුන්වාදීම් දේශන අතරේ පෙරදා මා දුටු කුඩා දරුවාගේ මුහුණ මා අභියස මැවෙන්නට විය.

“සර් අපේ පන්තියට රිලීෆ් දාලා කියල ලොකු සර් එක්ක යන්න කිව්ව...“

අද ඔවුන්ට කිසිවෙක් නොමැති නම්...??

“පුතේ... මට පේනවා පුතා ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ කියල... දෙකම කරන්න යන්න බැරිනම් හොඳට හිතල දෙකින් එකක් තෝරගන්න... පස්සෙ පසුතැවෙන්නෙ නැති වෙන්න...“

එදින රැයේ කාමරයට ආ තාත්ති කියා සිටියේ ය. අප යන මග දෙස සීරුවෙන් බලා සිටින තාත්තී දුෂ්කරම මොහොතේ උපදෙස් දෙන්නෙ එපරිද්දෙනි. එය තීරණය වෙත මග හෙළි කර දුන් අවස්ථා බොහෝ ය; දුෂ්කර බවින් ගලවාගත් අවස්ථා බොහෝ ය.

මම බොහෝ වේලා කල්පනා කළෙමි. මහත් සටනකින් දිනාගත් විශ්වවිද්‍යාල ප්‍රවේශය අත්හළ යුතු නැතැයි තීරණය කළෙමි. අවසන අරත්තන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියක් ලියමින් දිනක සේවය නිමා කොට ඉල්ලා අස්වන බව එහි සඳහන් ක‍ළෙමි. මා වෙනුවට පත්ව එන නව ගුරුවරයා සැම දිනම එහි රැඳී සිට කුඩා දරුවන්ගේ දැනුම් පවස නිවනු ඇතැයි යන බලාපොරොත්තුව මා සිත පහන් කළේ ය.