Thursday, December 27, 2012

චොකලට්



-2012 මැයි 07 වැනිදා - 

විසි හතර පැය විවෘත සවන් -ඉලවන් වෙළඳ සැළක් රීජන්ට් වීදියේ කෙළවර වර්ණ ආලෝක සංඥා අසළ වේ. මග දිවෙන රථ නතර කරෙන රතු එළිය දැල්වී පදිකයින් වූ අපට කොළ පැහැ මගී සංඥාව ලැබුණු විගස ජුන් සහ මම මාර්ගය අනෙක් පසට පැන ගත්තෙමු. වේලාව රාත්‍රී නවය පසුවෙමින් තිබිණ. ප්‍රධාන නගරය දෙසින් පිටතට දිවෙන රථවලත්, නගරය දෙසට යන රථවලත් කෙළවරක් නැත‍.

සවන්-ඉලවන් වෙළඳ සැල් යනු දෛනික අවශ්‍යතා සියල්ල මිළට ගැනුමට ඇති කෝල්ස්, වූල්වර්ත්ස් හෝ ඇල්ඩි වැනි ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ප්‍රභේදයක් නොවේ. ඇවිද යන වීදි දෙපසත්, ප්‍රත්‍යන්ත නගරවලත් හමුවන ඒ එම මොහොතේ අවැසියාවන්ට අවශ්‍ය දේ අප වෙත ගෙනෙන කුඩා වෙළඳ සැල් වර්ගයකි. පිපාසිතයෙකුට වතුර බෝතල, සිසිල් බීම හෝ කෝපි, කුසගිනි ඇත්තකුට සැන්ඩ්විචස්, ඇපල්, මිදි වැනි පළතුරු හෝ බිස්කට්, ටොෆි හා චොකලට් මෙන්ම පත්තර, සඟරා ඇතුළු මහමග ගමනේ යෙදෙන්නන්ට අවශ්‍ය විය හැකි මූලික දෙයින් ඒ පූර්ණ ය. සවන්-ඉලවන් වෙළඳ ජාලයටම අයත් ඉන්ධන පිරවුම්හල්ද මග දෙපස නෙත ගැටෙන සුලභ දසුනකි.

වීදි කෙළවර වෙළඳ සල වෙත ගිය අපි දෙදෙන එහි සිටි තරුණ සේවකයාට අප වෙත වූ කූපන් අංක ඉදිරිපත් කළෙමු. දින දෙක තුනක් මුළුල්ලේ අපගේ දුරකථනවලට එස්.එම්.එස් මගින් ආ කූපන් අංක පිරික්සූ සේවකයා අප වෙත කිට්-කැට් චොකලට් පෙති කිහිපයක් දිගු කළේ ය.

“හරි මෙන්න... සුභ රාත්‍රියක්!“
නොමිලයේ ලද චොකලට් පෙති අතැතිව අපි මහමගට බැස්සෙමු. ජුන්ගේ මුහුණේ වූයේ සතුටු සිනාවකි.

“ඒ කියන්නෙ ඒක ඇත්තක්! නිකං චොකලට්...!!“

සෙවන්- ඉලවන් වෙළඳ සැලක් වෙත කූපන් අංකය ඉදිරිපත් කර චොකලට් පෙති නොමිලේ ලබාගන්නට ආරාධනය මා වෙත එවා තිබුණේ ගනේෂ් ය. පෙරදිනක මා සිඩ්නි නගර සංචාරයකට කැටුව ගිය ගනේෂ් අතුරු රැකියාවක් ලෙස සෙවන් - ඉලවන් වෙළඳ සැලක ද සේවය කොට තිබිණ. ෆේස් බුක් මිතුරු සමාගමය හරහා සිදු කෙරෙන නන්විධ ප්‍රචාරක කටයුතු අතර පසුගිය දිනෙක මෙම වෙළඳ සමාගම දන්වා තිබුණේ එහි පිටුවේ වූ කෙළවරෙක අපගේ දුරකථන අංකය සටහන් කිරීමෙන් අප වෙත නොමිළේ කිට්-කැට් චොකලට් ලබා ගැනීමට කූපනයක් ලැබෙන බවයි. දිනකට එක බැගින් වන එම කූපන් පුරා මසක් ගෙවෙන තුරු නිකුත් කෙරෙන බවද සඳහන්ව තිබිණ.

නොමිලේ ලැබෙන චොකලට් පෙති ලබාගැනීමට වැඩි දෙනෙකු උනන්දු වූයේ නැත. අපේ නවාතැනේ පිරිස අතරින්ද ඒ උවමනාවෙන් සොයා බලා කූපන් ලබාගත්තේ ජුන් පමණි. මෙවැනි නොමිල භාණ්ඩ හෝ අඩු මිළ භාණ්ඩ ලබා දෙන ප්‍රචාරක කටයුතු මහත් ප්‍රමාණයක් එක් එක් වෙළඳ ආයතන විසින් නිතර දියත් කරනු මෙවැනි රටක සුලභ කටයුත්තක් බව කල්යත්ම වැටහිණ.

මධ්‍ය ප්‍රමාණයේ කිට්-කැට් චොකලට්ටුවක් යනු එතරම් වටිනා දෙයක් නොවුව ද අපහසුවෙන් වියදම් සොයාගන්නා අපට ඒ නොමිලයේ ලැබීම සැනසිල්ලකි.  සුපිරි වෙළඳ සැලක ඩොලරයකට ආසන්නයේ ඇති එහි මිල සවන් ඉලවන් වැනි වීදි දෙපස හමුවන වෙළඳ සැලකදී ඩොලර තුනකට කිට්ටු අගයක් ගනියි. බොහෝ භාණ්ඩ සඳහා වන මෙම අධික මිළ පරතරය නොදැන උන් මම සිඩ්නියට පැමිණ දින කිහිපයකින් කුඩා බඩු පොදියකට විශාල මිළක් වැය කළෙමි. ඒ සියල්ලම එම මිලෙන් අඩක් ගෙවා සුපිරි වෙළඳ සැලකින් මිලයට ගත හැකි බැව් දැනගත්තේ කලක ඇවෑමෙනි.

“ප්‍රියාටයි මටයි චොකලට් නිකං ලැබුණ... කිට් කෑ...ට්!!“

නවාතැන් සගයන් ඉදිරියේ ජුන් සතුටින් කෑගැසුවේ ය.

මර්සෙලෝ, ෆ්‍රන්සුවා සහ පැට්‍රික් නොමිල චොකලට් දීමනාව පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. එසේ මුත් මර්සෙලෝ නම් චොකලට් ආහාර රුසියෙකු විය. සාමාන්‍ය චොකලට්වලට අමතරව චොකලට් කේක් වර්ග, චොකලට් බීම ඔහුගේ එදිනෙදා ආහාර අතර බහුලව හමු විය. වරක් නවාතැනට ආ බ්‍රසීල ජාතික මිතුරියක් වෙනුවෙන් පළතුරු කෑම වේලක් සකස් කළ මර්සෙලෝ ඒ පළතුරු හා මුසු කොට රසවිඳින්නට චොක්ලට් හොද්දක්ද සෑදුවේ ය. සුදු චොක්ලට් ක්ෂුද්‍ර තරංග උදුනේ තබා දිය වෙන්නට හැර සැදූ චොක්ලට් හොද්දත්, පළතුරුත් රස විඳින්නට ඔහු අපටද ආරාධනා කළේ ය‍. එය රසවත් වුවද කුඩා ප්‍රමාණයකට වඩා කන්නට නොහැකි වූයේ පැණි රස අධික චොකලට් හොද්ද නිසා ඇති වූ මත් ගතිය හේතුවෙනි.

විදෙස් රටක සිට පෙරලා ලංකාවට එන සිය මිතුරකු හෝ නෑසියෙකු තෑගි ලෙසට චොක්ලට් පෙත්තක් හෝ ගෙනවිත් දෙනු ඇතැයි යන්න ලාංකිකයන් වෙත වන සිතුවිල්ලකි. විදේශ රටවල හමුවන බොහෝ චොක්ලට් වර්ග සාපේක්ෂව මිළ අඩු වීමත්, විදේශ රටක වෙළඳ සැල්වල චොක්ලට් ආදිය බහුලව හමුවීමත් මෙන්ම චොක්ලට් රසයට බොහෝ දෙනා තුළ වන ආසක්ත බවත් ඇතුළු කාරණා මේ සඳහා බලපානු ඇතැයි සිතේ. මා ගිය ගමන් කිහිපයකදීම පවුලේ ඥාතීන්ට හා හිතමිතුරන්ට දීමට විශාල චොක්ලට් මලු මිළට ගත් මිතුරු මිතුරියන් පිළිබඳ මතක රැසකි. සමහරෙකු ඒ මිළට ගත්තේ කටුනායක ගුවන් තොටුපළේ වන බදු අය නොකරන වෙළඳ සැල්වලදී ය.

මේ සියල්ලට වඩා සිනහ කැඳවූ චොක්ලට් බෙදීමක් කළ තරුණ ශිෂ්‍යයෙකු මට වරක් ශ්‍රී පාලියේදී හමු විය. දක්ෂ නර්තන ශිල්පියකු වූ ඔහු නර්තන කණ්ඩායම් සමග වසරකට විදේශ සංචාර ගණනාවකට සහභාගි වන්නෙකි. තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල නිතර සංචාරයේ යෙදෙන ඔහු ඒ නිමවූ විගස චොක්ලට් පෙති ගෙනවිත් මිතුරු මිතුරියන් අතර බෙදා දෙයි. එක් දිනෙක මෙවැනි චොක්ලට් කිහිපයක් සමග ඔහු මා වෙත පැමිණියේ ය.

“සර්... මම මේ ගිය සතියෙ ඉන්දියාවෙ ගියානෙ...!“ ඔහු චොක්ලට් මවෙත පාමින් කියා සිටියේ ය.

“අහ්... ඒක හොඳයි! තැන්ක් යු!“ ඔහු දිගු කළ චොක්ලට් පෙත්තක් ගනිමින් මම කියා සිටියෙමි. එහෙත් ඒ චොක්ලට් ෆුඩ් සිටියෙන් මිළට ගත් චොකලට් බව හොඳින් හඳුනාගත හැකි වූයේ එහි වූ ‘සිල්ලර මිළ‘ ලෙස සිංහලයෙන් ලියැවුණු ස්ටිකරය හේතුවෙනි.

“මේ මොකද මේ? මේව මෙහෙන් ගත්ත පාටයිනෙ?“

මම සිනාසෙමින් චොක්ලට් පෙති ඔහු වෙත පෑවෙමි. අප සමග සුහදව කටයුතු කළ ඔහු තමන් වෙත එල්ල වන සරදම් වදනින් උරණ වන හෝ වේදනාවට පත් නොවන බව මම දැන සිටියෙමි.

“ඔව් සර්! ඕව මෙහෙන් තමයි ගත්තෙ. කට්ටියට ඕන චොක්ලට්නෙ. මම ගත්තෙ කොහෙන් උනහම මොකෝ?“

රැකියාව අහිමි වූ පසු නිසි ආදායම් මගක් නොමැතිව තවමත් වේදනාව සඟවා නවාතැනේ රැඳී උන් ජුන් කිට්-කැට් තීරුවක් පරිස්සමින් කඩා සපමින් පැමිණ පරිගණකය ඉදිරියේ වාඩිවී සිය රැකියා සෙවීමේ මෙහෙයුම යළි පටන් ගත්තේ ය. ඔහුගේ මුහුණත ඇඳි වේදනාව මඳකින් හෝ සමනය වන්නට අත රැඳි චොකලට් තීරුව උපකාරි වනු ඇතැයි මට සිතේ.

ළමා අවදියේදී ටොෆි චොකලට් ඇතුළු රස කැවිලි තමන් වෙත ලැබුණු සුන්දර මතක මෙන්ම අහිමිවුණු වේදනාබර මතකයන් ද සියල්ලන්ගේ මනස් කෙළවර තැනෙක සැඟවී තිබෙනු ඇතැයි මම විශ්වාස කරමි. අද සිය දුවාදරුවන් හෝ මහමග යන දරුවකු හෝ රස කැවිල්ලක් දැක ඒ ලබාගන්නට දක්වන කැමැත්ත අප වෙත නඟන්නේ ළමා කාලය පිළිබඳ සිහි කැඳවුමකි.
 තාත්ති සහ අම්මා වෙත ගොස් පාසැල් නිවාඩුව ගත කළ යුගයේ ටොෆි සහ චොක්ලට් පිරුණු මලු රැගෙන අප බලන්නට පැමිණියේ විජේසේන අංකල් ය. තාත්තිගේ සේවා ස්ථාන හරහා හමුවී, පසුව සුහද මිතුදමක් අප හා ගොඩ නඟාගෙන උන් ඔහු දුර බැහැර වත්තක වූ සිය සේවා ස්ථානයේ සිට නිවාඩු ලද විටෙක තාත්ති හමුවන්නට ආවේ ය.

“අද විජේසේන එනව කියල තියෙනව...“

තාත්ති අම්මා වෙත කල් ඇතිව දැනුම් දෙන්නේ දිවා අහර පිළියෙල කරන්නට වුව ඒ අසන මමත් මල්ලීත් සතුටු වන්නේ නොවැරදී ඔහු ගෙනෙන ටොෆි චොක්ලට් බෑගය හේතු කොටගෙන ය. එතැන් පටන්, කපා මට්ටම් කර ඇති, ඈතට විහිද යන තේ යාය මත්තෙන් සිහින් ඉරක් ලෙස පෙනෙන මහ මග දෙස බලමින් මල්ලීත් මමත් කල් මරන්නෙමු. වත්තේගම දෙස සිට ඉහළට දිවෙන බස් රථයක් මතු වන්නේ මෙසේ පැය භාගයක්වත් බලා සිටි පසු ය. එසේ මතුවන බස් රථයක් අප දෙදෙනාගේ සිත් තුළ ඇති බලාපොරොත්තු බිඳ දමමින් හන්දියේ ඇති බස් නැවතුමේ නොනැවතී පෙරට ඇදෙයි.

“අන්න අංකල් හන්දියෙන් බැහැල එනව...“ කෑ ගසමින් අම්මා වෙත අප දිව යන්නේ බස් රථ දෙක තුනක්ම හන්දිය පසු කර ඇදුණු පසු ය. සිනාසෙමින් නිවසට ගොඩ වදින අංකල්, අම්මා සාදා දෙන තේ කෝප්පය තොලගාමින් තාත්ති සමග කතාබහට වැටෙන්නේ  බ්‍රවුන් පේපර් කවරයක දැමූ කැවිලි මල්ල අප වෙත දිගු කරමිනි.

“ආ... පුතාලට...!“

විජේසේන අංකල් හෝ වෙනත් වැඩිහිටි නෑදෑයකු නොපැමිණි සමයක මල්ලීටත් මටත් චොක්ලට් කෑමේ ආශාවක් පහළ විය. තේ වත්ත මායිමේ ඇති කුඩා කඩයේ චොක්ලට් විකුණන්නට නැත්තේ ඒ මිළට ගන්නට වත්කමක් ඇති මිනිසුන් එහි ගැනුම්කරුවන් අතර නොවූ නිසා ය. එහි නිතර වූයේ දිනපතා අහර සකසන්නට හාල්, තුනපහ මිළට ගන්නට එන කම්කරුවන් ය.ඔවුන්ගේ භාවිතයට වූ සීනි බෝල, ඉස්කිරිඤ්ඤා ආදියත්, බාල ගණයේ අඩු මිළ ටොෆී වර්ගත් එහි වූ බෝතලවල අසුරා තිබුණු අයුරු අදද සිහියට නැඟේ.


අම්මා ඉදිරිපිට කන්කෙඳිරි ගෑමෙන් චොකලට් සඳහා මුදල් සොයාගැනුම අපට අපහසු වූයේ නැත.

“මෙන්න මේ දෙන්නට චොකලට් ඕනලු!“

තාත්ති නිවසට ආ විට අම්මා අපේ ඉල්ලීම ඔහු වෙත දන්වා සිටියා ය. කිසිවිට උවමනාවක් සෘජුව තාත්ති ඉදිරියට ගෙන නොගිය අපි ඒ සඳහා මග සළසාගත්තේ අම්මා හරහා ය.

“මට අද හෙට ටවුමට යන්න වෙන්නෙ නැහැනෙ පුතේ... මෙතන කඩේ චොකලට් නැතිවත් ඇති. පුළුවන් නම් පන්විල ගිහින් ගන්න“

තාත්ති අප අත තැබුවේ රුපියල් දෙකක් පමණ වන්නට ඇත. එදිනවල ඒ කඩචෝරු සොයන ළමයකුට සෑහෙන මුදලකි.

දිනපතා පාසැල් යන්නට නුවර බලා බසයෙන් යන අපට සැතපුම් දෙකක් දුර වන පන්විල නගරයට යාම අපහසු වූයේ නැත. කැන්ඩොස් සහ එඩ්නා යන චොකලට් හැරුණු විට ඒ දිනවල නිතර හමුවූ සෙලර්ස් චොකලට්ටුවක් මල්ලීත් මමත් මිළට ගත්තෙමු. සැතපුම් දෙකක් ගෙවා බසයෙන් පැමිණ මිළට ගත් චොකලට්ටුව අපට දැණුනේ මහාර්ඝ වස්තුවක් ලෙස ය. වත්ත දක්වාම යාමට බස් රථ හමුනොවන ඇතැම් දිනවල පන්විලට පැමිණ පා ගමනින්ම ඉතිරි සැතපුම් දෙක ගෙවන මතකයෙන් අපි දිනූ චොකලට්ටුවද සමග මගට බැස්සෙමු. 

සුදු අධිරාජ්‍ය සමයේ ඇරඹුණු තේ වගාබිම් කරා අවැසි කළමණා ගෙනයන්නට සැදුණු පටු මංපෙත් තාර යෙදී කුඩා බසයකට ඉඩ ඇති තරමට පුළුල් වී ඇත. අඩි සිය ගණනක ප්‍රපාත අද්දරින් දිවෙන මෙම දුර්ග මාර්ග ඉඳහිට දිවෙන රථයක් නොමැති සැම විට පාළු ස්වභාවයක් ගනී. තේ වගාව නොමැති අඩවිවලදී ඒ දිවෙන්නේ තරමක අඳුරු වදුලු තුළිනි. කඳු මතින් ගලා හැලෙන සිහින් දියපාරවල්, රූස්ස ගස්, ඒ මත පනින රිලවුන් සහිත මේ වනගොමු දිවා කල වුව ඇති කරන්නේ අඳුර සහ බියයි. පාසැල ඇරී එන දිනයක අම්මා වෙත යන්නට ඇති උවමනාවත්, වෙහෙසත් හැරුණු විට ‘ඔවැනි තැන්වල ඇති කිසිදු අමනුෂ්‍යයකු නැතැයි‘ තාත්ති නිතර කියන කතන්දරත් අප තුළ වන බිය දිය කර හරිනු ලැබූ  අතර පන්විල සිට ගිය මෙම දිනයේ ඒ නැති කළේ අත රැඳි චොකලට්ටුවයි.


ගමන කෙළවර චොකලට් රස විඳි අයුරු මතකයෙන් දියව ගොස් තිබුණ ද සියළු රස කැවිලි දවටන එක්රැස් කර තබාගන්නා අප දෙදෙනාගේ පුරුද්ද නිසාවෙන් බොහෝ කල් සුරැකිව තිබුණු කොටු හැඩ වැටුණු සෙලර්ස් දවටනය අදද මතකයේ ඉතිරිව ඇත.

ජුන්ගේ දෙනෙතෙහි වෙහෙසක් හා වේදනාවක සේයා පෙනේ. ඔහු අත තිබුණු චොකලට් තීරුවේ අවසන් කොටස ද මුව තුළ ලාගෙන බොහෝ වේලාවකි.

“ඇයි ජුන්...? මොකක්ද අප්සෙට් එක?“

මම ඔහු විමසමි.

“නෑ.. ඇප්ලයි කරපු කිසි තැනකින් තවම රිප්ලයි නැහැ...“

5 comments:

  1. //සිඩ්නියේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද ප්‍රසිද්ධ සවන්-ඉලවන් වෙළඳ සැල් // ????

    ReplyDelete
    Replies
    1. ඒක හැදුවා... ස්තුතියි පොඩ්ඩි!

      Delete
  2. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete