Wednesday, November 14, 2012

මැලේසියානුවෝ


(2012 අප්‍රේල් 29 වැනිදා)


පැරණි ඉංග්‍රීසි බලකොටුවක සිරිය පළ කරමින් චතුරශ්‍ර ගොඩනැගිල්ල පසෙකින් දිස්වෙයි. සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඇති පැරණි ගොඩනැගිලි අතර මුල් තැනක් හිමිව තිබුණේ චතුරශ්‍ර ගොඩනැගිල්ලට ය. ගුරු පැහැ, මහල් ගොඩනැගිල්ලේ සිරිය තවත් ඉහළ නගින්නේ එහි පෙරබිමෙහි විහිද යන පිටිය නිසාවෙනි. කොළ පැහැ තෘණ පිරි පිටිය කෙළවරට වී, වික්ටෝරියා උද්‍යානය දෙස සිට, චතුරශ්‍ර ගොඩනැගිල්ලෙහි අලංකාරවත් ගෘහ නිර්මාණය විඳින්නට සිතුවිල්ලක් පහළ වුව ද කටුක ශීතල විවෘත බිම වෙත යාමට ඇති උවමනාව හීන කරයි. මම වාඩි වී සිටියේ ෆිෂර් පුස්තකාලය ඉදිරිපස පිහිටි ගස වටා තනා තිබූ බැමි කඩෙහි ය. නෝමන් තවත් මොහොතකින් මෙතනට පැමිණීමට නියමිත ය.

මම නෝමන් දැක තිබුණේ නැත. මොහොතකට පෙර දුරකථනය හරහා මා ඇමතූ ඔහු මෙම ගස අභියස දී මුණ ගැසෙන්නට එකඟ විය. ඇවිද යන සිය ගණනක් පිරිස් අතරින් මතු විය හැකි අමුත්තා කවරකුදැයි යන කුකුස සහිතව මම වටපිට බලන්නට වීමි.

සිඩ්නි විශ්වවිද්‍යාලයට පය තබා දෙමසක් ගත වෙමින් තිබුණ ද දහස් ගණන් සිසු පිරිස් අතර තවමත් මා ඇවිද යමින් උන්නේ ආගන්තුකයෙකු ලෙස ය. පර්යේෂණ කාර්යයක නිරතවන පශ්චාත් උපාධි ශිෂ්‍යයකුට විශ්වවිද්‍යාලයේ දී මිතුරකු ඇති වීම අතිශය විරල සිදුවීමකි. එසේම ආසියාතිකයින් ලෙස මෙහි එන අප වැන්නන් සුහදව පිළිගෙන සිය මිතුරු සමාගමයන් වෙත කැඳවා යන ඕස්ට්‍රේලියානුවන් හමුවීම බලාපොරොත්තු විය හැක්කක් නොවේ. සිඩ්නියේ බහුල ව හමුවන චීන සිසු සිසුවියෝ ආවේණික චීන සමාගමයන් නිර්මාණය කරගෙන සිටි අතර අඩු වැඩි වශයෙන් වෙනත් දේශවාසීන් ද එවැනි මිතුරු සමාජ පිහිටුවා ගෙන තිබිණි. චතුර ලෙස ඉංග්‍රීසිය වැහැරිය හැකි, පළමු උපාධිය සඳහා ඉගෙන ගන්නා තරුණ තරුණියන් අතර පමණි, දේශ සීමා ඉක්මවා ගිය දැඩි මිතුරු හමු දක්නට ලැබුණේ.

පශ්චාත් උපාධි සිසු සිසුවියන් අතර සමීප මිතුරන් බිහි නොවන්නේ ය යන අදහස එයින් තීන්දු නොකෙරුණ ද ඒ සඳහා වන සීමාකම් ඊට දැඩි ලෙස බලපෑම් එල්ල කළේ ය. තමන් විසින්ම තෝරාගත්, නිශ්චිත අධ්‍යයන මාතෘකාවක් යටතේ පූර්ණකාලීනව අධ්‍යයන කාර්යයකට කාලය වෙන් කර සිටින්නකු සිය සීමාසහිත කාල වකවානුව තුළ මිතුරු සමාගමයකට ආරාධනා කරන්නේ කලාතුරකින් මොහොතක ය. ඒ ද, සිය විෂයය ලෝකයට හෝ ආත්මීය සබඳතාවන්ට හෝ දැඩි ලෙස පෑහෙන යමකු හමු වූ විට ය. සිය දහස් ගණන් සිසු සිසුවියන් අතර එවැනි සමානකම් ඇති කෙනෙකු හඳුනාගන්නට ලැබීම අපහසු වන්නේ විදේශයක සිට මෙහි ආ විගස එවැනි පිරිස් හමුවන්නට විශේෂ පීඨිකා නිර්මාණය වී නොමැති නිසා ය.

“ප්‍රියන්ත... අඳුනගන්න වටින, ගොඩක් හොඳ කෙනෙක් ඉන්නව කල්චර්ල් ස්ටඩීස් එකේ. එයාගෙ නම නෝමන්. වෙලාවක අපි තුන් දෙනා මුණ ගැහෙමු කෑමකටත් එක්ක...“

මා මෙහි පැමිණි විගස ලලීන් මා වෙත කියූ ඉහත ප්‍රකාශය ක්‍රියාවට නැගීමට ඉඩක් නොලැබුණේ ඇයට වැඩ අධික වූ නිසා ය. නෝමන් සහ මා මුණගැස්වීමට එකිනෙකාට ඊමේල් පණිවුඩ ගණනාවක් එවූ ලලීන් අවසානයේ මෙවන් පණිවුඩයක් එවා තිබුණා ය.

“ඇයි ඔය දෙන්න හම්බ වෙන්නෙ නැත්තෙ? කෝපි කෝප්පයක් බීල හඳුනගන්න මම එනකම්ම ඉන්නව ද?“

සිඩ්නි විශ්වවිද්‍යාලයේ මා තනිවෙතැයි යන බියෙන් මා ගැන සොයා බැලූ මාගේ උපදේශකවරියගේ පෙර කී ප්‍රකාශයෙන් පසු මම නෝමන්ට දුරකථනයෙන් ඇමතීමි.

“හඳුනාගන්න ලැබුණු එක සතුටක් ප්‍රියන්ත... අද හවස තුනට ෆිෂර් ලයිබ්‍රරි එක ළඟදි හම්බ වෙමු!“

වේලාව තුන පසුවෙමින් පැවතිය ද නෝමන් කෙනෙක් පෙනෙන්නට නැත. ලලීන් මවෙත දන්වා තිබූ පරිද්දෙන් ද, නෝමන්ගේ ඊමේල අනුවද ඔහු මැලේසියානුවෙක් බව මම දැන සිටියෙමි. එහෙත් ඔහු කිනම් වයසක පසුවන්නෙක් ද යන්න හෝ මැලේ ජාතිකයෙක් ද නැතිනම් වෙනත් කවරෙක් ද යන්න පිළිබඳ අදහසක් මවෙත ලැබී තිබුණේ නැත.

මැලේසියාව මට දුරස්ථ රාජ්‍යයක් හෝ මැලේසියානුවන් මට දුරස්ථ පුද්ගලයින් නොවේ. පේරාදෙණියේ පළමු උපාධිය හැදෑරූ සමයේ, මා දෙවන වසරේ ශිෂ්‍යයකුව සිටිය දී මගේ පළමු විදෙස් සංචාරය යෙදුණේ මැලේසියාවට ය. ‘මහා ආසියානු චෙස් අභියෝගතාවය‘ ලෙස නම් කර තිබූ ආසියානු අන්තර් විශ්වවිද්‍යාලයීය චෙස් තරගාවලිය සඳහා සහභාගි වූ පේරාදෙණි කණ්ඩායමේ සාමාජිකයකු ලෙස එහි ගිය ගමන සුන්දර සැමරුම් ගහණ වූවකි
විශ්වවිද්‍යාලයකින් අවම සිවුදෙනෙකුගෙන් සමන්විත හෝ උපරිම සය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කළ හැකි තරගාවලිය තනිව තරග වැදිය යුතු, නමුත් අවසානයේ කණ්ඩායම් ලකුණු ගණනය කළ සුවිශේෂ රටාවක් සහිත වූවකි. තරග වට 09කින් යුක්ත වූ එය සංවිධානය කර තිබුණේ ක්වාලාලම්පූර් නුවර, මලයා විශ්වවිද්‍යාලයේ, දෙවන නේවාසික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිනි.

“මේක අපේ නිවාඩු කාලයට අදාල ව්‍යාපෘතියක්! තනිකරම ස්ටුඩන්ට්ස් ප්‍රොජෙක්ට් එකක්!!“

තරගාවලියට ගොස් දින දෙක තුනකින් එහි සංවිධාන පසුබිම විස්තර කරමින් එලන් කී බස අසා අපි විශ්මයට පත් වීමු. එලන් අපේ කණ්ඩායම භාර ව සිටි මග පෙන්වන්නා ය. ඔහු මලයා විශ්වවිද්‍යාලයේ තෙවැනි වසර සිසුවෙකි. ද්‍රවිඩ තරුණයකු වූ එලන් අප කණ්ඩායමට මග පෙන්වද්දී කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ මග පෙන්වන්නිය වී සිටියේ භාරතී ය. ඇය ද ද්‍රවිඩ තරුණියක් වූ අතර එලන් ඇය පිළිබඳ සිතකින් පසුවීම මෙම කාල සමය තවත් සුන්දර කරන්නට හේතු විය. ඇය සිත දිනාගන්නට ඔහු දරණ උත්සාහයත්, ඇය ඒ ප්‍රතික්ෂේප කරමින් උන් ස්වභාවයත් එලන් - භාරතී පුවත පිළිබඳ අප අතර සාකච්ඡා ඇති කිරීමට හේතු සාදා දුන්නේ ය.


තරගාවලිය අතරතුර මලක්කාවට...
මැලේසියාවේ ප්‍රධාන ජන වර්ගය වූ මැලේ ජාතිකයින් ද අප සමග මිතුරු සමාගම් පැවැත්වුව ද වඩාත් සමීප වූයේ එලන්, භාරතී ඇතුළු ද්‍රවිඩ මිතුරු පිරිසකුත්, චෑන් වැනි නමක් සහිත විනි යැයි මගේ මතකයේ ඇති තරුණයකු ප්‍රමුඛ චීන සිසු සිසුවියන් පිරිසකුත් ය. දින දහයක තරග සංචාරය අතරතුර වූ විවේක, ආසන්න ක්වාලාලම්පූර් නගරය  පමණක් නොව මලක්කාව වෙත පවා යෙදුණු ගමන්වලින් සමන්විත වූ අතර සමවයසැති විදේශ විශ්වවිද්‍යාල ගණනාවක මිතුරු මිතුරියන් හඳුනා ගැණුනු අවස්ථාවලින් පිරී පැවතියේ විය. එලන් එහි දී හමුවූ, දින දහයකට සීමා වූ මුත් මතකයේ දැඩිව රැඳුණු මිතුදමක් තබා පිටව ගිය අයෙකු විය.

තරගාවලිය සඳහා මැලේසියාවට පය තැබූ මොහොතේ සිට අප හා එක්ව ආ එලන් මුල් දිනවල කරදරයක් ලෙස දුටු ඇතැම් මිතුරෝ, තරග වටවලින් අනතුරුව නේවාසිකාගාරයට වී සිටින විට සිදුවන ඔහුගේ ආගමනයන් නොරිස්සූ හ. එහෙත් කෙමෙන් ඔහු අප සහෘදයකු බවට පත් වන බව පෙනෙන්නට තිබිණි. සිය බටනලාව රැගෙන ආ එලන් අප වෙනුවෙන් ඒ වාදනය කළ අතර නොලැබෙන ප්‍රේමයේ වේදනාකාරී අත්දැකීම් දෙස උපේක්ෂාවෙන් බලා සිනාමුසුව ඒ අප හා බෙදා ගත්තේ ය.

“ඊළඟ ගේම් එකත් කොහොම හරි දිනපං මචං... උඹව පරද්දන්න බැරි වෙයි මේ කාටවත්!“

‘මචං‘ යන වදන යොදමින් නිතර අප ඇමතූ එලන් මෙලෙස මා දිරි ගැන්වූයේ තරගාවලිය අතරමැද ඔහුගේම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩකයකු මට එරෙහිව තරග වැදීමට නියමිත වූ මොහොතක ය.

“එලන් ඔය ඇත්තටම ද කියන්නෙ... මට හම්බ වෙන්න යන්නෙ ඔයාගෙ කැම්පස් එකේ කෙනෙක්..?“

“ඔව් මචාං... එයා මගේ කැම්පස් එකේ වුණත් මම දැන් උඹේ කැම්පස් එකේ..!! මට ඕන උඹ දිනනව දකින්න..!“

ඔහු මා සුරත දැඩිව ගෙන සුභ පතමින් කීවේ රැවටිලි බසක් නොවන බව මට ඒත්තු ගියේ ය. 

සැබවින් ම විශිෂ්ට කණ්ඩායම් රැසකින් සමන්විත තරගාවලිය ජය ගැන්ම අපේ සීමාවෙන් ඔබ්බෙහි වූ අතර සමස්ථ තරගාවලියේදී අප ලැබුවේ නවවන ස්ථානයයි. මනස හා කෙරෙන දීර්ඝ ව්‍යායමයක් වන චෙස් තරගයකදී හිමි වන පරාජයක් දැඩි වේදනාවක් උරුම කරන්නකි. ඒ විඳ ගන්නට මනස පුහුණු කිරීම යනු මහත් ලෙස සිත පාලනය කර ගැනීමකට උගැනීමකැයි අද මට හැඟේ. ජයග්‍රහණය පෙනී තිබිය දී ගිලිහී යන ඇතැම් තරග අවසානයේ දැනෙන දැඩි වේදනාවෙන් අප නැගී සිටින මොහොතවලදී දැඩිව අප සුරත ගෙන සොලවමින්,

“කමක් නැහැ මචං... අපි ඊළඟ ගේම් එක දිනමු... උඹ මේක හොඳට කළානෙ...“ කියන්නට නිතරම එලන් අප අසල සිටියේ ය.

අප තරගයක යෙදෙන විට ඔහු ඒ දෙස බලා සිටි උනන්දුසහගත ස්වභාවය නිසාවෙන් එක් සවස්වරුවක මම ඔහුට සුහද තරගයකට ඇරයුම් කළෙමි.

“අපොයි මචාං... මට චෙස් තේරෙන්නෙ නැහැනෙ... මම නිකං බලා ඉන්නෙ... මම ඉන්න එපායැ උඹලත් එක්ක...“

තමන්ට කිසිදු අදහසක් නොමැති ක්‍රීඩාවක් සඳහා පැමිණ සිටින විදෙස් ක්‍රීඩක පිරිසක් හා බොහෝ වේලා ගත කරමින් ඔහු කළ මෙහෙය පිළිබඳ මට දැඩි ගෞරවයක් ඇති වූයේ වෙනත් විශ්වවිද්‍යාල කණ්ඩායම් භාර ව උන් මග පෙන්වන්නන් එසේ නොරැඳෙන බව දැනගත් විට ය. 

“එලන්.. සමාවෙන්න... මගේ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි... ගොඩක් වරදිනව ඇති මම කතා කරනකොට...“
එහි ගොස් දිනයකින් දෙකකින් මා කී බස අසා ඔහු නළල රැළි ගැන්වී ය.

“අපොයි නැහැ මචං... උඹගෙ ඉංග්‍රීසි ගොඩක් හොඳයි...“

මාගේ භාෂා ඥාණය පිළිබඳ නිසි තක්සේරුවක් මා තුළ වුවද ඔහු කී වදන් පෙළ තුළ වූ දිරි ගැන්වීම සංචාරය පුරා නිර්භයව අනෙකකු හා කතා කිරීමට අවකාශය සැකසී ය.

කොළඹ විශ්වවිද්‍යාලයීය කණ්ඩායමේ සිට එකම සාමාජිකාව වූ සරා සුන්දර තරුණියකැයි නිතර කියූ එලන්ට ඇය වර්ණනා කරමින් ගයන්නට සිංහල ගීතයක් උගැනීමට අවශ්‍ය විය. එලන්ගේ කවටකම්වලට තවත් රසයක් එක් කරන්නට සිතූ අප කණ්ඩායමේ නිශාන් ඔහුට උගැන්වූයේ ‘කොන්ද නමාගෙන - හැරමිටි ගහගෙන‘ ගීතයයි. කෙසේ මුත් සරා ඉදිරියට යාමට පෙර එහි අර්ථය සොයාගත් එලන් යළි අප සොයා ආවේ ය.

“ලිය තඹරා.... මුදු කුෂුමකි හෑ....“


ඔහු ආයාසයෙන් උගත් පද අපූරු උච්චාරණ රටාවක් සහිතව ගයද්දී කොළඹ කණ්ඩායමේ සිටි සියල්ල පටලවා ගන්නා මිතුරකු වූ අමිත,
“ෂා.... මරුනෙ... ආයෙ කියන්න බලන්න...“ යනුවෙන් සිංහලයෙන්ම ඔහුගෙන් ඉල්ලීමක් කළ සැටි කලක් යන තුරු මිතුරන් අතර කියැවෙන අතීත විකට ජවනිකාවක් බවට පත් විය.

දින දහයක කාලය අවසානයේ ක්වාලාලම්පූර් ගුවන් තොටේදී අප ඔවුන්ගෙන් සමුගත්තේ දැඩි කණගාටුවකිනි. එකකුස උපන් සොයුරියකගෙන් සමුගන්නා වේදනාවකින් භාරතී, අප කණ්ඩායමේ ජයනි හා කොළඹ පිලේ සරා වැළඳගෙන හඬා වැළපුණු අයුරු මට අදද සිහිකෙරුම අපහසු නැත. පිටත්වීමේ පර්යන්තයේ අවසානය තෙක්ම ඇවිද ආ එලන් අප උණුසුම්ව වැළඳ ගනිමින් සමුගත්තේ ය.

“ගිහිං වරෙන් මචාං...“

කඩවසම් පෙනුමැති ඒ අපූරු තරුණයා දිවියේ කිසිදු දිනක යළි දකින්නට ලැබේදැයි යන්න සැක සහිත වුව අපි හමුවීමකට සපථ කර ගත්තෙමු. දින දහයක සහෝදර සෙවුම් බැලුම් හා බැඳීම් අපේ වෙන්වීම නොවිය යුත්තක් යන සංඥාව අප වෙත එවා තිබිණි.

දැනට වසර දහතුනකට පෙර සමුගෙන ආ එලන් යළි මා දුටුවේ නැත. අද ඔහු කුමක් කරමින් කොහෝ සිටින්නේ ද, ඔහු භාරතීගේ පෙම ජයගත්තේ ආදී නොයෙක් ප්‍රශ්න ඇතැම් විට සිතුවිලි මාත්‍ර ලෙස මවෙත නැඟේ.

“මේ ප්‍රියන්ත වෙන්න ඕන... මම නෝමන්... ඉතින් කොහොමද?“

එතරම් නොඋස්, දළ රැවුලකින් හෙබි, කළු ඇඳගත් තරුණයෙක් මා අභියස පෙනී සිටියේ ය. සුදුවන් සමත්, රවුම් මුහුණත් ඔහු මැලේසියානු චීන වැසියෙක්ද යන කුකුස මවෙත ගෙනාවේ ය. අපි මැනිං පාර දිග ඇවිද ගොස් මැනිං හවුස්හි පිහිටි විශ්වවිද්‍යාල ආපන ශාලාවකින් කෝපි මිළට ගන්නට තීරණය කළෙමු. ලාංකිකයන් හෝටලයක බිලක් මිතුරාට පෙර ඉදිරිපත්ව ගෙවනු හා සමානව ම, මා නවතමින් නෝමන් කෝපි හා කේක් පෙති සඳහා වූ බිල්පත ගෙවන්නට ඉදිරිපත් විය.

“ඉතින්...? කොහොමද ඕස්ට්‍රේලියාව ඔයාට හොඳට සළකනව ද? හරිම සතුටුයි ප්‍රියන්ත හමුවෙන්න ලැබුණු එක... සිනමාව ගැන ගැඹුරින් කතා කරන අය හම්බවෙන එක මෙහෙදි හරිම කලාතුරකින් වෙන දෙයක්.... ආ... අනික මම හරිම කැමතියි ලංකාවෙ චිත්‍රපටිවලට... මම කිහිපයක්ම බලල තියෙනව...“


දිගු සංවාදයකට මුල පුරමින් නෝමන් කී වචන පෙළ ලලීන්ගේ යෝජනාවෙහි ප්‍රායෝගිකත්වය පැහැදිලි කර දුන්නේ ය. නෝමන් මැලේ ජාතිකයෙකි. දැඩි ඉස්ලාම් භක්තිකයෙකි. ඔහු එරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක සිනමාව උගන්වන කථිකාචාර්යවරයෙකි. සිනමාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් හරහා සංස්කෘතික අධ්‍යයන අංශයෙන් ආචාර්ය උපාධිය බලාපොරොත්තුවෙන් සිටි නෝමන්, ලලීන් යටතේ, සිනමා අධ්‍යයන අංශයෙන් එය ලබා ගන්නට නොහැකි වීම පිළිබඳ කණගාටුවකින් පසු විය.

“මම මෙහෙ ආපු කාලෙ ලලීන් නිවාඩු ගිහින් හිටියෙ. මම ලොකු ආසාවකින් හිටියත් මට එතන ප්ලේස්මන්ට් එකක් හදාගන්න අමාරු වුණා... ප්‍රියන්ත වාසනාවන්තයි...“

සෙමෙන්, රටාවකට අනුව වචන හැසිරවූ නෝමන් නිතරම ඔහු පිළිබඳ මා තුළ වන හැඟීම සතුටුදායකව තබන්නට වග බලා ගත්තේ ය.

“මම කැමතියි ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටිවලට... මම කිහිපයක්ම බලල තියෙනව... අනික, මට මුණගැහිල තියෙනව ධර්මසේන පතිරාජව.. එයා ආව එක වතාවක් ආරාධිත දේශනයකට...!!“

“ඕ.... ඒක නම් නියමයිනෙ නෝමන්... මගේ දැන් ස්ටඩි එකටත් ප්‍රසන්නගෙ සිනමාව අදාලයි... මම අන්ඩර්ග්‍රැජුවෙට් කෝස් එකේ අන්තිම ඩෙසර්ටේෂන් එක කළේ ප්‍රසන්නගෙ සිනමාව ගැන... මම එයාව අඳුනනව හොඳට... අනික, ඒකෙ උපදේශකවරයා වුණේ පතිරාජ සර්! එයා මගේ සිනමා ගුරුවරයා...!!!“

මගේ පිළිතුර අදහාගත නොහැකිව නෝමන් බොහෝ වේලාවක් මදෙස බලා උන්නේ ය.

“ඇත්තටම....?? මට හරිම සතුටුයි... ඔයා ඒ ගොල්ලන්ගෙ චිත්‍රපටි දැකල ඇති කියල හිතුවත් මම විශ්වාස කළේ නැහැ ඔයා ඒ ගොල්ලන්ව අඳුනනව ඇති කියල... ෂහ්... මේක නම් හරිම සතුටුදායක දෙයක්...!!“

ප්‍රසන්න විතානගේගේ නිර්මාණ කිහිපයක්ම දැක තිබුණු නෝමන් ඒ ගැඹුරින් විමසා බැලිය හැකි සිනමා ඥාණයකින් හෙබි තරුණ වියතෙක් විය. මැලේසියානු සිනමාවේ සිනමා ප්‍රභේද විමසූ ඔහුගේ පර්යේෂණය සිය රට සිනමාව පිළිබඳ ප්‍රාමාණික දැනුමැත්තෙකු බවටද ඔහු පත් කොට තිබුණේ ය.
“අපේ රටේ දැන් අවුරුද්දකට සෑහෙන ගාණක් චිත්‍රපටි රිලීස් කෙරෙනව. ඒත් මම හිතන්නෙ නැහැ ඒව ලංකාවෙ කලාත්මක සිනමාවෙ උසස් ගුණය පෙන්නනව කියල. ඒවගෙන් වැඩි හරියක් හරිම කමර්ෂල් වැඩ!“
සිය රට සිනමාව පිළිබඳ ඔහු කතා කළේ තරමක ලජ්ජාවකිනි.

“ලංකාවෙ සිනමාව උසස්... ඔයාලට ප්‍රසන්නල ඉන්නව. පතිරාජ වගේ දක්ෂ ආචාර්යවරු ඉන්නව...!!“


සෘණාත්මකව අප රට සිනමාව විමසීම මගේ ද සිරිත නොවේ. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන් පසු අපට මහා සිනමාකරුවෙකු නැතැයි ද, ‘නිධානය‘ට කිට්ටු කරන්නට හෝ කෘතියක් තවම දැක නැතැයිද කියන බොහෝ වැඩිහිටියන් අනූව දශකයෙන් පසු සිනමා කෘති දැක තිබුණේ ද නැත. මෑත යුගයකදී මෙතෙක් බිහිවූ හොඳම ලාංකික චිත්‍රපටය ‘පුරහඳ කළුවර‘ බව ලෝ ප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය විසින් නම් කළ පුවත වැන්නකින් මා දෙන පිළිතුර පිළිගන්නට ඔවුන් සූදානම් බවක් පෙන්වූයේ ද නැත.

සැබවින්ම අප රට කලාත්මක සිනමාවේ මූල බීජය ‘රේඛාව‘ හරහා පැල කොට, ‘ගම් පෙරළිය‘, ‘දෙලොවක් අතර‘, ‘අහසින් පොළොවට‘, ‘ගොළු හදවත‘, ‘රන් සළු‘ ආදිය හරහා පෝෂණය කොට අග්‍ර ඵලය ලෙස ‘නිධානය‘ නිම වූ ආචාර්ය ලෙස්ටර්, අප රට සිනමාවේ පුරෝගාමි ප්‍රාඥයා ය. එසේ මුත්, මුල් පරපුරේ ඔහුගේ සිනමාවෙන් පසු, ආචාර්ය පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, නිහාල්සිංහ, තිස්ස අබේසේකර, ගාමිණි ෆොන්සේකා ඇතුළු තවත් පරපුරක් මෙය වර්ධනය කළ බවත් ප්‍රසන්න විතානගේ, අශෝක හඳහම ප්‍රමුඛ පරපුරකින් එහි තෙවැනි යුගය විකාශනය ඇරඹුණු බවත් පිළිගන්නට අප මැළි විය යුතු නැත‍. ස්වර්ණමය යුගයේ ආ, පුළුල් තිරයක විඳි ‘නිධානය‘ වැනි කෘතියක් අදටත් ඉහළින්ම නම් තබාගෙන සිටින බව සත්‍යයක් වුව, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න ජයකොඩි, සංජීව පුෂ්පකුමාර ආදීන් හරහා නැගෙන නව පරපුර නව්‍ය සිනමාවක රුව ගුණ නිපදවනු ඇත. ‘අනාගතය බෙහෙවින්ම අඳුරය‘ යන සිතුවිල්ල කිසි විට මසිත නොනැගේ. ඒ අසන තැනකදී මට සිහිවන්නේ ආචාර්ය ලෙස්ටර් විසින් ම, අශෝක හඳගමගේ ‘මේ මගේ සඳයි‘ අළලා කියන ලද වදන් පෙළකි. ඔහු එය කීවේ අප රට ප්‍රමුඛතම බැංකුවක් එම කෘතියට දුන් ණය මුදල ගැන ද කණගාටුවෙන් එහි ඇගයුමක් දෙන්නැයි පත් කළ ඒක පුද්ගල කමිටුවේ සාමාජිකයා ලෙස ය.

“මේ කෘතිය විශිෂ්ඨයි... මට එදා කියන්න තිබුණු දේවලින් පස්සෙ සීමාවෙනුයි පතීල පටන් ගත්තෙ. මේ ඊ ළඟ අවස්ථාව... හඳගම කියන දේ කියන්න මම පොහොසත් නැහැ. ඒක නව පරම්පරාවක වැඩක්...!“
ආචාර්ය ලෙස්ටර්ගේම කෘති අගයමින්, ඉන් පසු සිනමාවක් නොවී යැයි සිතන පරපුරකට ඔහු දුන් පිළිතුර එයයි. පරම්පරාවන් ඉදිරියටද බිහි වනු ඇති බවත්, අපේ සීමා ඉක්මවූ ප්‍රකාශන ඔවුනතින් නිම වනු ඇති බවත් වන විශ්වාසයෙන් යුතුව මමද රැඳී සිටිමි.

සැඳෑ හිරු සිඩ්නි අහස  එළිය කරමින් උන්නේ සිතට ප්‍රීතියක් දැනෙද්දී ය. අවසන මට මිතුරෙකු හමු ව සිටී. අප රට සිනමාව ද හඳුනන ඔහු මගේ පර්යේෂණ පරාසය පවා වැටහෙන අයෙකි. ලෝක සිනමාව විෂයයෙහි ඔහු තුළ වන ඇල්ම වඩාත් සමීප මිතු දමක අඩිතාලම සාදා ඇත.

“මට සතුටුයි ප්‍රියන්ත... ගොඩක් සතුටුයි... කාලෙකින් වටිනා හවස් වරුවක් ගෙවුණ...“

ඔහු මගෙන් සමුගත්තේ යළි හමුවන්නට සපථ කරගෙන ය.

එලන්ගෙන් පසු සමීපතම මැලේසියානු මිතුරා මට හමු වී ඇත. සතුට දනවන කරුණ ඒ මිතුදම දින දහයකින් නිමා කරන්නට සිදු නොවන්නක් වීමයි.

Saturday, November 3, 2012

එසේ මුත් විහඟ... මා විහඟ... ඔබ පියාපත හකුලන්න - සැඟවෙන්න කාලය නොවේමැයි...


(2012 අප්‍රේල් 27 වැනිදා)


පශ්චාත් උපාධියක් හදාරනු වස් විදේශ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වන්නට වරම් ලැබීම අප රට සමාජයේ ඥාණයට ගරු කරන්නන් අතර ඉහළ වටිනාකමක් ලැබෙන සිදුවීමකි. සිඩ්නි විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට ලද සුදුසුකම කණ වැකුණු බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම සම වයසැති කථිකාචාර්ය මිතුරන්ද සුභ පැතුවේ ලද අවස්ථාව ප්‍රයෝජනවත් ලෙස පාවිච්චි කරන්නැයි සඳහනක් ද තබමිනි.

“හොඳටම ඉංග්‍රීසි හදාගන්න, කාටවත් වැරැද්දක් හොයන්න බැරි වෙන්න... ඉන්න කාලෙ පුළුවන් තරම් කියවන්න, ඔය තැන්වල පුස්තකාලවල තියෙන පහසුකම් අපිට හිතාගන්නවත් බැරි තරම්...!“

මගේ අත දැඩිව ග්‍රහණය කරගනිමින් සුභ පැතූ ආචාර්ය අසන්ත කියා සිටියේ ය. පේරාදෙණියේ කලාගාරය අසළ බැම්මේ වාඩි වී  ඔහු මා සමග කතා කරමින් උන්නේ ය. සිඩ්නි විශ්වවිද්‍යාලයට යාමට වරම් නොලද්දේ නම් පේරාදෙණියට විත් ආචාර්ය අසන්ත වැනි ප්‍රාඥයකු යටතේ පශ්චාත් උපාධියක් හැදෑරීමේ උවමනාවක් කලින් මා තුළ තිබිණි. ඔහු ද ඒ බව දැන සිටි මුත් මේ අවස්ථාව ලබාගන්නට අවශ්‍ය ලිය කියවිලි පවා සාදාදෙමින් ඔහු මට උදව් කළේ විදෙස් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරා  ලබන අත්දැකීම අපට අත්‍යාවශ්‍ය බව සඳහන් කරමිනි.

ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයකින් ඇමරිකා එක්සත් ජනපදයට ගිය ආචාර්ය අසන්ත හෝ පොදුරාජ්‍ය මණ්ඩල ශිෂ්‍යත්වයකින් එංගන්තයට ගිය මිතුරු රෝහිත වැනි අයට මෙන් විශ්වවිද්‍යාලයේ බුද්ධි ගවේෂණ මගෙහිම රැඳෙන්නට මට වරම් නොලැබෙන බව පසක් වන්නට වැඩි දිනක් ගතවූයේ නැත. එදිනෙදා අවැසියාවන් සඳහා පමණක් නොව විශ්වවිද්‍යාල ගාස්තුවෙන් කොටසක් ගෙවීමට මුදල් සෙවීම සඳහාද රැකියා සොයා වෙහෙසෙන්නට සිදුවීමත් සමග විශ්වවිද්‍යාලයේ ගත කෙරෙන කාලය කෙමෙන් හීන වන්නට පටන් ගත්තේ ය. මෙහි පැමිණ දෙමසක් ගත වද්දීම වටිනා අවස්ථා කිහිපයක්ම මග හැරී යමින් ප්‍රකට මහාචාර්යවරුන්ගේ දේශන අසන්නට ලැබුණු අවස්ථා ගිලිහී ගියේ ය. එවැනි දේශන යෙදී තිබුණු ඇතැම් දිනවල රැකියා සම්මුඛ පරීක්ෂණ ආදියට මා පිටව ගියේ කණගාටුවකිනි. ලොව නන් දෙසින් ආ ඇතැම් බුද්ධිමතුන් යළි දකින්නට හෝ අවස්ථාවක් නැති බව දැනගෙනම ඒ මග හරින්නට සිදුවීම ඇති කළේ ප්‍රබල පශ්චාත්තාපයකි.

කුඩා කල නිවසේ ඉදිරි කාමරයේ පොත් රාක්කය හරහා ලෝක සාහිත්‍යය සෙවූ මට මුලින්ම හමුවූයේ රුසියානු නව කථා සහ කෙටි කථා ය. ස්ටෙප්ස් තණ බිම් හරහා ඇඳෙන අශ්ව කරත්තවල කථා නායකයා සමග මමද වාඩිගෙන ගමනේ යෙදුණු අවස්ථා එදවස බොහෝ විය. අධික ශීතලෙන් මිදෙන්නට වොඩ්කා බොමින්, දුම් උරමින් ගිනි උදුන් හෝ ගිනි මැල අභියස ගී ගයන රුසියානුවාගේ සිත් පෙළූ සිතුවිලි, දාහයෙන් පිරුණු නිවසේ, ඇඳි පුටුවකට බර දී, තේ කෝප්පයක් පමණක් තොල ගාමින් විඳින්නට මම පුරුදු වී සිටියෙමි. රුසියානු සාහිත්‍යය හඳුනා ගත් පසුව මට බොහෝ සමීපව විඳින්නට ලැබුණු අනෙක් ප්‍රධාන සාහිත්‍යය හමුවූයේ ඉන්දියාවෙනි. චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය වංග බසින් සෘජුවම සිංහලයට නැගූ කෘති මසිතෙහි අපමණ සංවේදනා ජනනය කළේ ය. එවැනි කෘතීන් හරහා මනසෙහි ඇඳුණු ජීවිත නෙත් අභියස ප්‍රතියමාන කළේ බෙංගාලි සිනමාවයි. සත්‍යජිත් රායිගේ කෘතීන් හරහා බොහෝ ඉන්දීය බිම් පෙදෙස්වල ඇවිද බැලූ මම රිත්වික් ඝටක්ගේ කෘති හරහා එම ජීවිතවල අනුවේදනීය කතන්දරවල පසුබිම කියවා ගත්තෙමි.

“බෙංගාලය නම් පුදුම තැනක්... ඉන්දියානු සාහිත්‍යය, සිනමාව පුබුදුවනවා බෙංගාලය... මට යන්න තවමත් බැරි වුණු, ඒත් යන්නම කැමති තැනත් එතන..“

වරෙක ආචාර්ය සුනිල් මා සමග එසේ පැවසුවේ බුද්ධාදෙව් දාස්ගුප්තගේ සිනමා වැඩමුළුවක් ඇසුරින් ‘චිත්‍රපට‘ සඟරාවට මා සැකසූ ලිපියක් පිළිබඳ කෙරුණු කතාබහක් අතරතුර ය. රායි හා ඝටක්ගේ සිනමාවෙන් පසු බෙංගාලයට යළිත් මා කැඳවා ගියේ දාස්ගුප්ත මහතා ය. ඔහුගේ පස්දින සිනමා වැඩමුළුව අතරතුර  ඔහුගේ විශිෂ්ට කෘති විඳිමින් දුටු ඉන්දියාව යළිත් ඒ මහා දේශය කෙරෙහි වූ ඇල්ම දියුණු කළේ ය.

සමස්ථ මෑතකාලීන ඉන්දියානු සාහිත්‍යය හා කලාව පසුපස වූ සෙවනැල්ලක් බඳු මහා කවි තාගෝර් පිළිබඳ වන අසීමිත ගෞරවාදරය මසිත උපදින්නේ ඔහුගේ කෘති ආශ්‍රය කරන්නටත් පෙරාතුවම ය. පසුකලෙක මා සේවයට බැඳුණු ශ්‍රී පාලි මණ්ඩපය හා ඒ පහළින් වන ශ්‍රී පාලි විද්‍යාලය, කලායතනයක් ලෙස ඇරඹෙන 1930 දශකයේ තාගෝර්තුමන් එහි ආ බවත් එතුමන්ගේ කලා නිකේතනය ගුරු තැන්හි තබමින් විල්මට් ඒ. පෙරේරා මෙය නිර්මාණය කළ බවත් දැනගත් විට සතුටක් දැණුනේ තාගෝර්තුමන්ගේ විශිෂ්ට සාහිත්‍ය කලා මෙහෙවර ගරු කටයුතු බව පිළිගෙන උන් නිසාවෙනි.

සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඕස්ට්‍රේලියානු, ජපාන හා ආසියානු ප්‍රාචීන අධ්‍යයන පිළිබඳ  සංගමය විසින් සංවිධානය කරනු ලදුව මහාචාර්ය එස්. එන්. මුකර්ජි විසින් පැවැත්වීමට නියමිත, “නගරය සහ කවියා: කල්කටාව සහ තාගෝර්‘ නම් දේශනය සඳහා වන දැන්වීම විශ්වවිද්‍යාල වෙබ් අඩවියේ දුටු විට මට ඒ සඳහා කාලය වෙන්කර ගත යුතුමයැයි හැඟුණේ යට කී තාගෝර් ගෞරවය හේතුවෙන් වූවාට සැක නැත.

දේශනය පැවැත්වුණු වුලී ගොඩනැගිල්ලේ පොදු කාමරය මා යන විට පිරී තිබුණේ නැත. එසේ මුත් ජපාන හා ඕස්ට්‍රේලියානු වියතුන් බොහෝ දෙනෙකුන්ම එහි දකින්නට ලැබිණ. මා එහි නොආ යුතු පිටස්තරයකුය යන හැඟීම මා වෙතින් ම මතු ව ආවේ එහි සිටි සියල්ලෝම වයස්ගත ස්ත්‍රී පුරුෂයන් වූ නිසා ය. තාගෝර් විමසන්නට අතීතයෙන්ම පැමිණි විද්වතුන් පිරිසක් අතර මා වාඩිවී සිටින බවට ඇති වූ හැඟීම දෙගුණ වූයේ එම ගොඩනැගිලි බිත්ති පවා බොහෝ පැරණි ස්වභාවයක් පළ කළ නිසා ය. විශ්‍රාමික මහාචාර්යවරුන් කිහිප දෙනෙකුගේම ආලේඛ්‍ය රූපවලින් බිත්ති සැරසී තිබුණේ ය.

දේශනය ආරම්භ වන විටත් ශාලාවේ තරුණ හෝ මැදි වියේ පුද්ගලයින් දක්නට ලැබුණේ දෙතුන් දෙනෙකි. වයෝවෘද්ධ මහාචාර්යවරයා ගැඹුරු හඬින් දේශනය ඇරඹුවේ යළි මෙහි දේශනයකට එන්නට ඉඩ දුන් සෞඛ්‍යයට ස්තුති කරමිනි. තාගෝර්තුමන් විසින් රචනා කරන ලදුව තනු යොදා සැදි බෙංගාල ගීත කිහිපයක්ම ඔහු අපට අසන්නට සැලැස්වී ය. තාගෝර්තුමන් අත් විඳී කල්කටාව, ඔහුගේ කවි හා සාහිත්‍යයේ මෙන්ම චිත්‍රයේ ද හමුවන අයුරු සරලව සාකච්ඡා කිරීමට මහාචාර්යවරයා කටයුතු කළේ ය. 

එම දේශනය තාගෝර් දැක්ම පිළිබඳ ගැඹුරු කියවීමකට කළ මග විවර කිරීමක් නොවේ. තාගෝර් සාහිත්‍යය හා කලා භාවිතයෙන් ඇවිලුණු මනසකින් යුතු තාගෝර් රසකාමියෙකුගේ විස්තර ගොණු කිරීමකි. තාගෝර් දිවිය හා කලාව රස විඳින්නෙකු වූ මා වෙත ඔහු ගෙන ආ ඇතැම් කවි හා ගීත යම් පිබිදීමක් ඇති කරන්නට හේතු සාදා දුනි.

පැයකට ආසන්න දේශනය නිමවී ශාලාවෙන් පිටව එද්දී බොහෝ විද්වතුන් මහාචාර්යවරයා හමුවට ගොස් ඔහුට සුභ පතනු පෙණින. මම විසල් කොරිඩෝවට එළඹ පහළට ඇවිද ආවෙමි. කොරිඩෝව දෙපස බිත්තිවලද සිඩ්නි විශ්වවිද්‍යාලයේ විද්වතුන්ගේ ආලේඛ්‍ය රූ බොහොමයකි. පඩිපෙළ කෙළවර වූ එවන් එක් සිතුවමක ගැඹුරු දෙනෙතක් අභියස මම නැවතුනෙමි. මා නොහඳුනන මහාචාර්යවරයකු මා යන මග විමසමින් බලා සිටිනා බවක් මට දැණින. ඒ දෙනෙතේ ලියැවී ඇති අදහස කුමක් ද? මම නිහඬව මඳ වේලාවක් එදෙස බලා උන්නෙමි.

“තාගෝර් දේශනය අහන්න ආවා නේ ද? ඔයා ඉන්දියාවෙන් ද?“

මා පිටුපසින් ඇසුණු කාන්තා කට හඬ නිසා තිගැස්සුණු මම හැරී බැලුවෙමි. තරුණ විය ඉක්ම නොගොස් ඇතැයි සිතෙන පියකරු ඉන්දීය කාන්තාවක් මගේ පිටුපසින් විය. ඇය මවෙතට එනු මට නොඇසුණේ මා සිත්තම වෙත අවධානයෙන් උන් නිසා වන්නට ඇත. මඳ සිනහවකින් යුතුව ඇය රැඳී සිටියේ පිළිතුරක් අපේක්ෂාවෙනි.

“ඔව්.. මම එතන ඉඳන් තමයි ආවේ.. මම ඉන්දියාවෙන් නම් නෙවෙයි.. මම ලංකාවෙන්“

“ඕ... හරිම සතුටුයි... මට හිතුණ ඔයත් එක්ක කතා කරන්න ඕන කියල දකිද්දිම... ඒකට හේතුව, අද තාගෝර් ගැන අහන්න එන තරුණයො හරිම අඩුයි... දැක්කනෙ... හෝල් එකෙත් කවුරුත් තරුණයො හිටියෙ නැහැ...“

ඇය මා සමඟම පිටව දොරටුව අභියසට ආවා ය.

“මම මිර්ජුලා... වෙස්ටර්න් සිඩ්නි කැම්පස් එකේ පෝස්ට් ඩොක්ටරල් එකක් කරන්නෙ... මම දිල්ලිවලින්..“

ඇය සිය කාඩ්පතක් මා වෙත පෑවා ය.

“ඔයා කැමති වුණා ද දේශනයට...?“

ඇගේ කටහඬේ වූයේ තරමක නුරුස්සන ස්වරූපයක් බව මට හැඟිණ. දිල්ලියෙන් ආ ඉන්දීය ආචාර්යවරියක් සමග තාගෝර් දේශනයක ගුණාගුණ කියන්නට තරම් තාගෝර් දැක්ම පිළිබඳ ඥාණයක් මා තුළ නොවිණ. ඇගේ කාඩ් පත අනුවද මේ ඇගේ ක්ෂේත්‍රය බව මම හඳුනාගෙන අවසන් ය.

“තරමක්....“

මගේ පිළිතුර ඇය එතරම් සැළකිල්ලකට නොගත්තා ය.

“මහාචාර්ය මුකර්ජි කියන්නෙ මේ විෂයය ගැන සිඩ්නි විශ්වවිද්‍යාලයේ ඉන්න ඉහළ බුද්ධිමතෙක්. මම හිතුව මීට වැඩි යමක් තියෙයි කියල. තාගෝර්ගෙ කවි ආයෙම කියන එකයි, පරණ මතක රිපීට් කරන එකයි විතරනෙ වුණේ.... මම නම් සතුටු නැහැ වැඩේ ගැන...“

ඇගේ සෘජු ප්‍රකාශය මගේ සිත් ගත්තේ ය.

“ඇත්තටම මම තාගෝර් දර්ශනය ගැන ගැඹුරු දැනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒත් මම කැමතියි එයාගෙ සාහිත්‍යයට... මගේ පර්යේෂණය යන්නෙත් සිනමාව ගැන... අපේ රටේ සිනමාවෙ නිහඬතාවය හරහා කෙරෙන ප්‍රකාශනය ගැන..  මට හිතෙනව බෙංගාලි කලාවෙ තියෙන අධ්‍යාත්මයත් එක්ක බැඳෙන නිහඬ සංවේදනා අඩු වැඩි වශයෙන් අපේ රටේ කලාවටත් බලපාන්න ඇති කියල... මට ගොඩක් මේ දේවල් ගැන හොයන්න හිතෙන්නෙ ඒකයි..“

මම පිළිතුරු දුන්නෙමි.

“ඇත්තටම....! තාගෝර් ගැඹුරින් හදාරන එක අපේ අලුත් පරම්පරාව ළඟින් ඈත් වුණාට මිනිස්සුන්ගෙ සංවේදනා එක්ක එයාගෙ නිර්මා‍ණවල තියෙන සම්බන්දය අපිට අමතක කරන්න අමාරුයි... ඒව දේශ සීමා පැනල යනව. මට සතුටුයි ඔයා ඒ ගැන හිතන එක ගැන...“

මහ මග දෙසට ආ ඇය මගෙන් සමුගත්තා ය.

“ආයෙම දවසක මුණ ගැහෙමු. හමුවීම ලොකු සතුටක්!“

මම සුපුරුදු පා ගමන ඇරඹීමි. නගරයේ වීදි පහන් දැල් වී ඇත. වේගයෙන් ඇදෙන රථ පෙළ නිව් ටවුන් දෙසට දිවෙන මගේ අතුරුදන්ව සැඟව යති. වීදි ලාම්පුවක ඉහළින් සඳ පායා ඇත. මහත් වූ නගර ආලෝක මැද දිලෙන සඳ, කිරණ බෙදන්නට නොහැකිව ලතවෙන්නාක් මෙන් මට හැඟෙයි. සඳ කිරණ පරයමින් නියොන් එළිය විහිද විසිරී ඇත. මහාචාර්ය මුකර්ජි කියූ තාගෝර් කවියක් මගේ සිහියට නැගේ.

“හෙමින් හරි හෙමින්
සැඳෑ කල එළඹෙයි...
සියලු ගී - සඳහනකුදු නැතිව
සැඟව යෙයි....

අපිරිමිත අහස් කුස...
කිසිදු මිතුදමක් නොගෙනෙයි....
.................................
අඳුර තදින් පැතිරෙයි...

එසේ මුත් විහඟ... මා විහඟ...
ඔබ පියාපත හකුලන්න - සැඟවෙන්න
කාලය නොවේමැයි...“