Saturday, October 20, 2012

‘වසන්තය, ගිම්හානය, සිසිරය, ශීතය හා... යළිත් වසන්තය‘


(2012 අ‌ප්‍රේල් මස 24 වැනිදා) 

රීජන්ට් වීදියේ කෙළවරින් පැරමටා පාරට හැරුණු මම විශ්වවිද්‍යාලය වෙත පිය එසවීමි. රීජන්ට් වීදියේ නවාතැනේ සිට විශ්වවිද්‍යාලය වෙත ඇවිද යාමට ගතවන්නේ විනාඩි පහළවක - විස්සක කාලයකි. ප්‍රධාන නගරයෙන් පිටව නිව් ටවුන් දෙසට යන බසයක නැගී ඒ වෙත යාමට ගතවන්නේ විනාඩි කිහිපයක් වුව ඒ සඳහා ගෙවිය යුතු මුදල විශාල හෙයින් බස් නැවතුම දෙස නොබලාම මම පෙරට ඇවිද යමි.

සතියේ දිනවල උදෑසන මෙම වීදි පදිකයන්ගෙන් පිරී පවතී. සිය කාර්යාලය වෙත දිවයන සේවක සේවිකාවෝ, පාසැල් කරා ඇදෙන ළමා පිරිස් මෙන්ම විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ ද ඒ අතර වෙති. සිඩ්නි විශ්වවිද්‍යාලය පමණක් නොව සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලය හා නොත්‍රා දාම් විශ්වවිද්‍යාලයද පිහිටා තිබුණේ එකිනෙකට ආසන්නයේ බැවින් පදිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් සිසු සිසුවියෝම වන අවස්ථා ඉහළ විය.

වර්ණ ආලෝක පුවරු කිහිපයක් පසුකර යා යුතු මගේ පා ගමන කිලෝ මීටර දෙකකට නොවැඩි ය. පෙර දින රැයේ පැවති සාදයේ අවසානය සිහි කැඳවමින් පසෙකින් වූ බ්‍රෝඩ් වේ හෝටලයේ පිල් කඩ මත හිස් බීර බඳුන් විසිර පැවතිණ. වේගයෙන් දිවෙන රථ පෙළ නිමවන තෙක් හිස් බීර බඳුන් විසිරී ඇති හෝටල් දොරටුව දෙස බලා සිටි මම පදිකයන් දෙස හැරී බැලුවෙමි. ‘දැන් මග පදිකයන්ට හිමි‘ බව කියැවෙන ඇවිදයාම දක්වන කොළ පැහැ විදුලි බුබුළ දැල්වෙන තෙක් බලා සිටින මුහුණු ගණනාවකි. සැම විටම පදිකයන්ට මග වෙන් කරන තෙක් මොවුන් තුළ ඇත්තේ නොසිඳෙන නොඉවසිල්ලකි. සවන් ලා සිටින ඉයර් පෝන් යුගලයන් හරහා සිය සිත්ගත් රිද්මයන් නිරතුරුව විඳිමින් සිටිනා මෙම පදිකයෝ වැඩි දෙනෙකු වර්ණ සංඥා පුවරු අභියස නතර වූ විට එම රිද්මය ඇඟලා ගනිමින් සෙමින් රැඟුම් පාති. ඇවිදින අතර සංගීතයට සවන් දීම නුහුරු මම මාවතේ එවැනි දේ විඳිමින් යන ‍සෙස්සන්ගේ රැඟුම් දෙස බලා සිටින්නට කැමැත්තෙමි.

“මට සිඩ්නි යුනිවර්සිටි එකට යන හැටි කියන්න පුළුවන් ද?“

මා අසළම දකුණු පසින් වූ එක්තරා තරුණියක් එක්වරම මා ඇමතුවා ය. චංචල නාගරික වටපිටාවේ සිදුවීම් දෙස බලමින් ආ මම කිසිවකුගේ සමාගමයක් අපේක්ෂා නොකළෙමි. එක්වරම ආසන්නයෙන් ආ ඇමතුම මා මවිතයට පත් කළේ ය. නගරය කෙතරම් ජනාකිර්ණ වුව වෙනත් පදිකයෙකු හා වචන හුවමාරුවක යෙදෙන්නකු හමුවන්නේ කලාතුරකිනි.

මම තරුණිය දෙස බැලීමි. ඇය ජපන් පෙනුමකින් යුත් සුන්දර යුවතියකි. මගේ පිළිතුර අපේක්ෂාවෙන්, තරමක සිනහවකින් යුතුව ඇය බලා සිටියා ය.

“යමු, මම යන්නෙත් සිඩ්නි යුනිවර්සිටි එකට තමයි... මම පෙන්නන්නම්..!“

මම ඇයට පිළිතුරු දුනිමි.

“ෂා...හ්. එහෙනම් නියමයි... මම බය වුණා හොයාගන්න බැරි වෙයිද කියල...“

ඇය සතුටින් කීවා ය.

අපි වීදිය මාරු වී බ්‍රෝඩ් වේ වෙළඳ මධ්‍යස්ථානය දෙසට පියවර එසවීමු.

“ඔයා මේ අලුතින්ම කැම්පස් එකට එන ගමන් ද?“

“ආ... නැහැ... මම මේ සිඩ්නිවලට ආපු ගමන්... මම කොරියාවෙන්. ට්‍රේනින් එකකට ඕස්ට්‍රේලියා ආවෙ. මම හිටියෙ බ්‍රිස්බන් වල. ඒත් රටේ ඇවිදින්න හිතුවා. මම හරිම ආසයි ඇවිදින්න.“

 ඉතා පැහැදිලි ඉංග්‍රීසියෙන් ඇය පිළිතුරු දුන්නා ය.

“මොකක්ද ට්‍රේනින් එක...?“

“මම ඉංග්‍රීසි ගුරුවරියක්... මේක භාෂා පුහුණුවක්!“

තමන් සංචාරය කරන ඕනෑම පෙදෙසක ඇති විශ්වවිද්‍යාල නැරඹීමට යාම සිය මුල්ම පියවරක් බව සඳහන් කළ ඇය සිඩ්නි විශ්වවිද්‍යාලය දැක ගැනීමේ නොනිත් ආශාවකින් පසු වූවා ය.

“ඇවිදින්න වගේම මම විශ්වවිද්‍යාලවලටත් ආසයි. ඒකයි මම ඒව බලන්න යන්නෙ... ඒක නෙවෙයි, ඔයා මොනවද මේකෙ ස්ටඩි කරන්නෙ?“

මදෙසට හැරෙමින් ඇය විචාලා ය.

“මම පෝස්ට් ග්‍රැජුවෙට් එකක් කරනවා. සිනමා අධ්‍යයනය පැත්තෙන්....“

“ඇත්තටම.....?? සිනමාවෙන්....??“

විශ්මයත් සතුටත් මුසුවුණු මුහුණින් ඇය මදෙස බැලුවා ය.

“දන්නවද? මමත් කැමතිම විෂයයක්නෙ සිනමාව... මට ෆිල්ම් පිස්සුවක් තියෙන්නෙ!“

නම නොදන්නා කොරියානු යුවතිය දිගින් දිගටම විස්තර කරන්නට වූවා ය.

“ඔහ්... හැබෑද? ඒක නම් අහන්න ලැබුණු එක සතුටුයි. මම කැමතියි ගොඩක් ඔයාලගෙ කොරියානු සිනමාවටත්... විශේෂයෙන්ම කිම්-කි -දුක්ගෙ ෆිල්ම්ස්වලට“

කොරියානු තරුණිය මඳක් නතර වූවා ය. ඇයගේ දෙනෙත් විශ්මයෙන් විවර වී තිබිණි.

“විශ්වාස කරන්නත් අමාරුයි... ඒත් කිම් - කි - දුක් තමයි මමත් කැමතිම!!“

ශ්‍රී පාලි මණ්ඩපයේ සිනමාව උගැන්වූ පසුගිය වසර කිහිපය තුළ සතිපතා බදාදා දිනයේදී සම්මානනීය සිනමා කෘතියක්  ප්‍රදර්ශනය කිරීම ස්වේච්ඡා කටයුත්තක් ලෙස මාතින් ඉටු වූවකි. ඉන්දීය, චීන, ඉරාන, ජපන්, ඉතාලි, ප්‍රංශ, ජර්මානු, ඇමරිකානු සිනමා කෘතීන් විද්‍යාර්ථීන් වෙත ගෙන ඒමට මා දැරූ වෙහෙස අදද සුන්දර මතකයක් ලෙස ඉතිරිව ඇත. මෙම සිනමා දැක්මට කොරියානු සිනමා කෘති හඳුන්වා දීමට යෝජනා ක‍ළේ එවකට බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස පැමිණි මිතුරු සංජීව පුෂ්පකුමාර ය. කිම් - කි - දුක්ගේ සිනමාව අප හමුවට ආවේ ඉන් පසුව ය.

සිනමා කෘතිය නැරඹීමට විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ සිට හෝ පුද්ගලික නවාතැන්වල සිට පැමිණෙන තරුණ තරුණියෝ නොමිලේ විවර කෙරෙන අරුන්දතී ශාලාවේ සුදුසු අසුන් සොයා යති. මවිසින් සිදුකරන මූලික හැඳින්වීමකින් අනතුරුව සිනමා පටය ඇරඹෙයි. රිත්වික් ඝටක්ගේ ‘මෙගා ධක තාරා‘ නරඹා සිය වැඩිමහළු සොයුරිය සිහිව හඬා වැටුණු සිසුවියන්, මජිඩ් මජිඩිගේ ‘චිල්ඩ්‍රන් ඔෆ් හෙවන්‘ නරඹා සතුටු කඳුළු වගුරමින් අත්පොලසන් නැගූවන්, ටොම් ටයික්වර්ගේ ‘රන් ලෝලා රන්‘ නරඹා ප්‍රීති ඝෝෂා නැගූවන් සිහිවී ඉඳහිට සිතට සොම්නසක් නැඟෙයි. කිම් - කි - දුක්ගේ ‘වසන්තය, ගිම්හානය, සිසිරය, ශීතය හා... යළිත් වසන්තය‘ (Spring, Summer, Fall, Winter... and Spring) මෙම සිනමා දැක්මට ගෙනා මුල්ම කොරියානු සිතුවමයි.

නිසල විල් තලයක පාවෙන පන්සලක දිවි ගෙවන මහළු භික්ෂුවකි. මහණ වීමේ අභිලාෂයෙන් භික්ෂුව හමුවට එන කුඩා දරුවෙකුගේ ජීවිතය විවිධ අත්දැකීම් ඔස්සේ කාලය හරහා ගලා බසියි. විවිධ සෘතූන් පැමිණෙයි; පිටව යයි. දරුවා තරුණයෙකු වෙයි; සසුන්ගත වීමට පුහුණුව ලබයි. මේ අතර රෝගාතුර වූ තරුණ දියණියක් සමග යන මවක් දියණිය සුවපත් කරනු ඇතැයි විශ්වාසයෙන් ඇය භික්ෂුව වෙත පමුණුවයි. සුව වන සුන්දර තරුණියගේ රූපයට ලොබ බඳින තරුණයා ඇය හා බැඳේ. රහස් පෙම භික්ෂුවට හසුවූ පසු දෙදෙනාම රහසින් පලා යති.

කලකට පසුව ඔහු යළි පන්සල වෙත හමුවන්නේ සිය බිරිඳ මරා දැමූ මිනීමරුවකු ලෙස ය. රහස් පරීක්ෂකයින් ඔහු පසුපස වන අතර සිය දිවි නසා ගැනුමට ඔහුට අවශ්‍ය ය. එසේ මුත් ජීවිතය හා එහි අරුත පිළිබඳ භික්ෂුව හරහා ඔහු යළිත් උගනියි. රහස් පරීක්ෂකයින් ඔහු රැගෙන ගිය ද කලකට පසු මහළු භික්ෂුවගේ ඇවෑමෙන් එහි හමුවන නව භික්ෂුව ඔහු බව අපට වැටහෙයි.

යළිත් වසන්තය එළැඹෙයි. තවත් දරුවෙක් පුහුණුව සඳහා දියමත පන්සලට විත් අතීත සිදුවීම් යළි ප්‍රති නිර්මාණය කරද්දී සිනමා පටය නිම වෙයි.

භාවනාවකට සමවූ කිම් - කි - දුක්ගේ එම සිනමා පටය දිනයේ සිය ගණනක සිසු සිසුවියන් පිරිසක් අරුන්දතියේ වාඩිවී උන් හ. භාවාතිෂය සිනමා පට හමුවේ එන කඳුළ සොයන පිරිස් අතර කෙසේ වුව තරමක් හෝ උසස් රසයක් සොයන ශිෂ්‍ය පිරිස් අතර වුව මෙවැනි නිහඬ ව්‍යායාමයකට කැමැති අය සිටිනු ඇත් ද? සිනමා කෘතියේ ප්‍රබල ප්‍රකාශන ශක්තියෙන් මා සසල වී තිබුණ ද එයම සෙස්සන් වෙත ඇතිවිනැයි මට නිගමනය කළ හැකි ද?

සිනමා දැක්මක් කෙළවර, කාලය තිබුණහොත් යළි මම යම් විමසුම් වදනක් එක් කරමි. එදින ද මම මගේ අදහස් කිහිපයක් කී බැව් මතක ය. මුවින් වදනකුදු නොදෙඩූ ශාලාවේ සිසු සිසුවියෝ මගේ වදන් පෙළ කෙළවර නිහඬව පිටව ගිය හ.

දින කිහිපයකට පසු  දේශනයක් සඳහා දේශන ශාලා දොරටුවක් අසල සිටි මට අනෙත් අධ්‍යයන අංශයේ දේශනයක් නිමවී පැමිණෙන ශිෂ්‍ය පිරිසක් මුණ ගැසිණ. සෑම බදාදාවකම සිනමා දැක්මට පැමිණෙන හසිනි ද ඒ පිරිස සමග විත් මා දැක නතර වූවා ය.  

“සර්...“

ඇය යමක් කියන්නට උත්සාහ කරන බවක් පෙණින.
“ඔව් හසිනි...?“

“එදා ෆිල්ම් එක නම්... මාරයි... මට දරාගන්න බැරි වුණා.... ඒත් ඒක ඉවර වෙලා සර් කතා කරපු එකට නම් මම කැමති නැහැ...“

“ඒ ඇයි?“ මම විශ්මයෙන් විමසා සිටියෙමි.

“නැහැ... වෙනද වගේ නෙවෙයි... ඒ ෆිල්ම් එක ඉවර වුණාම ඉල්ලා හිටියෙ නිස්සද්දකම... සර් කතා කරන්න හදද්දි මට කියන්න හිතුණ අනේ ප්ලීස් එපා කියල... ඒ තරම්ම ඒ ෆිල්ම් එක අපේ ඇතුළටයි කතා කරන්නෙ... ඒකෙ හැඟීම් සාකච්ඡා කරන්න අමාරුයි... විඳින්නයි තියෙන්නෙ...“

ඇගේ විශ්මිත ඇගයුම් වදන් පෙළින් මම සසලව ගියෙමි. සැබවින්ම සිනමාපටය ඉල්ලා සිටින්නේ නිහඬතාවය නොවේ ද? මිනිස් ජීවිතය පිළිබඳ ගැඹුරින් විමසන කෘතිය නිහඬ, දෙබස් රහිත රූප රාමුවලින් අනූන ය. එහෙත් ඒ රූප සංකල්පවලින් සුපෝෂිත ය. ඒ රූවලින් නැඟෙන අදහස් සංවාදයට ඇරයුම් කරන්නේ මනැසට ය.

“ඒක ඇත්ත හසිනි.. ඔයා කියන එක හරි...මම කළේ ඉතින් අදහසක් බලාපොරොත්තු වෙන ළමයි හිටපු නිසා කතා කරපු එකනෙ...“

මම ඇගෙන් සමුගෙන දේශන ශාලාව වෙත ගියෙමි.

ඇය කියූ වදන් පෙළ එවැනි නිහඬතාව ඉල්ලා සිටින සිනමා කෘති කිහිපයක් කෙළවරකදී ම මගේ සිතට නැංගේ ය. එබැවින් එවැනි දිනවල නිහඬවම ශාලාවෙන් පිටව ආවෙමි. වදනකුදු නොබැන, කල්පනාබරව නවාතැන් කරා ඇවිද යන සිසු සිසුවියන් දෙස එළිමහනේ තැනෙකට වී බලා සිටින්නට පුරුදු වුණෙමි.

“අර තියෙන්නෙ සිඩ්නි යුනිවර්සිටි එක... “

මම කොරියානු තරුණියට පෙන්වීමි.

“මම මෙතනින් හැරෙනවා.. ඔයා දිගටම යන්න... මේ පැත්තට ගියාම තමයි ලස්සන බලන්න පුළුවන්..“

මම ඇයට ප්‍රධාන ගොඩනැගිලි දක්වමින් කීවෙමි.

“ගොඩක් ස්තුතියි... තව එක දෙයක් කරන්න කැමති ද යන්න කලින්..?“

“මොකක් ද?“

ඇය කුඩා වීඩියෝ කැමරාවක් සිය බෑගයෙන් එළියට ගත්තා ය.

“මම යන හැම තැනම වැදගත් දේවල් මම වීඩියෝ කරනවා. හම්බවෙන මිනිස්සු ඉන්ටවිව් කරනවා.... ඔයා කැමති නම් මගේ කැමරාවට ටිකක් කතා කරල යන්න..!!“

මම සිනාසුණෙමි.

“මොනවද මම කියන්න ඕන?“

“මොනව හරි... මේ යුනිවර්සිටි එක ගැන... ලංකාව ගැන... සිනමාව ගැන... කිම් - කි -දුක් ගැන...“

ඇය සිය කැමරාව ක්‍රියාත්මක කරමින් මගේ නම විමසා සිටියා ය.

“මම ප්‍රියන්ත“

“ඔව්... මම දැන් ඉන්නේ සිඩ්නි නුවර, සිඩ්නි විශ්වවිද්‍යාලය අසළ... මගෙත් එක්ක ඉන්නවා ප්‍රියන්ත. ලංකාවෙන් ඇවිත් මෙහෙ සිනමාව හදාරන කෙනෙක්. එයා කිම් - කි - දුක්ගෙ සිනමා කෘති අගය කරන කෙනෙක්...“

මා හඳුන්වමින් සිය කැමරාවට කතා ක‍ළ ඇය එය මා වෙත යොමු කළා ය. සිඩ්නිය හා කොරියානු සිනමාවට මගේ ඇති කැමැත්ත, දුක්ගේ සිනමාව පිළිබඳ වචන කිහිපයකින් මම කියා සිටියෙමි. අවසානයේ කැමරාව සිය ගමන් මල්ල තුළ රුවා ගනිමින් ඇය මට අත දී සුභ පැතුවා ය.

“අපි ආයෙත් හමු වෙමු! සුභ දවසක් ඔයාට... ස්තුතියි පාර කිව්වට...!!“

සමුගන්නා මොහොතේ දී මම ඇගේ නම විමසා සිටියෙමි.

“මගේ නම සොකෝ..!“

ඇය හැරී මට අත වනා සෙනඟ අතර නොපෙනී ගියා ය.


(සම්පූර්ණ චිත්‍රපටයේ  සබැඳිය - http://www.youtube.com/watch?v=1_MwKoueHz8&feature=player_detailpage )

8 comments:

  1. ///ශ්‍රී පාලි මණ්ඩපයේ සිනමාව උගැන්වූ පසුගිය වසර කිහිපය තුළ සතිපතා බදාදා දිනයේදී සම්මානනීය සිනමා කෘතියක් ප්‍රදර්ශනය කිරීම ස්වේච්ඡා කටයුත්තක් ලෙස මාතින් ඉටු වූවකි. ඉන්දීය, චීන, ඉරාන, ජපන්, ඉතාලි, ප්‍රංශ, ජර්මානු, ඇමරිකානු සිනමා කෘතීන් විද්‍යාර්ථීන් වෙත ගෙන ඒමට මා දැරූ වෙහෙස අදද සුන්දර මතකයක් ලෙස ඉතිරිව ඇත.///

    මා සොයමින් සිටි කෙනා ඔබයි... :) නිවාඩු වෙලාවක බලනු පිණිස මේලක් එවා ඇති...

    ReplyDelete
  2. කොරියන් චිත්‍රපටි ගැන ලියවුන දෙයක් නිසා මතක්වුන අතීත මතකයක් ලියල යන්න හිතුවා .

    එතකොට අපි දෙවෙනි අවුරුද්දේ වගේ .කොරියන් එම්බසි එකෙන් සoවිධානයකල කොරියන් ෆිල්ම් ෆෙස්ටිවල් එකක තිබුන එල්ෆින්ස්ටන් එකේ .උදේයි හවසයි දෙකේම . එක දවසක් ලෙක්චර් එකට ආවම පන්තියෙම සෙට් එකට ඒ ලෙක්චරව එපා වෙලා හිටි නිසා ලෙකචර්ස් කට් කරන ක්‍රමයක් කතාවුන වෙලාවේ මම ෆිල්ම් ෆෙස්ටිවල් අදහස ඔලුවට දැම්ම .ක්ලාස් එකෙන් බාගෙකට වැඩිය කැමති වෙලා කට් කරලා ගියා ෆිල්ම් බලන්න .ඒත් කරුමෙට එල්ෆින්ස්ටන් මැනේජ්මන්ට් එක කිව්වා උදේ පාසල් දර්ශන වි.වි .ශිෂ්‍යන්ට අතුල්වෙන්න දෙන්න බෑ කියලා .අන්තිමට කට්ටියම මරදානේ පොත් කඩ වල් වල රස්තියාදු වෙලා ආවා .ඒත් ඊට පස්සේ හවස ගිහින් මම ෆිල්ම් බැලුවා .ඒයින් හොන්දට මතක ආස එකක් තමයි ආර්ට් මියුසියම් බයි ද සූ. අනික් එක කැලෑවක ජීවත් වුන වලන් හදන්නේක් හා එයාගේ බිරින්දගේ කතාව .ෆිල්ම් හතක් විතර පෙන්නුව .කොරියන් බාසාවෙන් ඉන්ග්ලිශ් සබ් ටයිටල් එක්ක .ඒත් කිම් කි දුක් ගැන දැන්ගත්තේ අද . TG

    ReplyDelete
  3. මං බැලූ මුල්ම කොරියානු චිත්‍රපටිය මෙයයි.
    මාරයි නේද?
    මේ වගේ සිංහල චිත්‍රපටියක් අපි දකින්නේ කවදාද?
    ප්‍රියන්තම තමයි ඉතිං හදන්න ඕනෑ!

    ReplyDelete
  4. කිම් කී දුක් තමයි මගේ කොරියානු සිනමාව. වඩාත් පැහැදිලිව කීවොත් මට අනුව නම් කොරියානු සිනමාව තමයි කිම් කි දුක් ..ඔබේ සටහන අපූරුයි.

    ReplyDelete
  5. මමත් කොරියානු සිනමාවට ආදරය කරන කෙනෙක් . එයාලගේ ටෙලි නාට්‍යත් ලස්සනයි

    ReplyDelete
  6. කොරියන් ෆිල්ම්ස් වැඩිය බලලා නැති කෙනෙක්. ස්තූතිය සබැඳියට.

    අද ලියවිල්ල හරිම අපූරුයි. ප්‍රියන්ත එක්කම ඒ වෙන හැම සිදුවීමකම මමත් හිටියා වගේ දැනුනේ.

    ReplyDelete
  7. හරි අපූරු ලියවිල්ලක්!
    ජය!

    ReplyDelete