Wednesday, September 5, 2012

වැස්සත් සමග... (2 වන කොටස)


(පසුගිය ලියවිල්ලෙන්...)

රණමුරේ ග්‍රාමයෙන් පිටවන්නට මොහොතකට පෙර...
සිහිනයකදී, මහත් බියජනක සිද්ධියක් දැක ඒ නිසාම මහහඬින් මොර දෙන්නට යද්දී ශබ්දයද නොනැඟෙන විට දැනෙන තිගැස්සෙන සුළු භීතිය මා මෙන්ම ඔබද අත් විඳ ඇතැයි සිතමි. විශාල එනසාල් පත් මතට මහ හඬ නංවමින් ඇද වැටෙන වැසි බිඳු, අඳුරු වනාන්තරය තුළ වන භංයකරත්වය ගුණාකාරව වැඩි කර දුන් අතර කිසිදු මග සළකුණක් නොපෙනෙන, බැලු බැලු අතින් එනසාල් වගාව හා ඒ වසා පවතින රූස්ස වන ගහණයත්, කෙමෙන් නැගී එන මිහිදුම් බර වටපිටාවත් සියලු සන්තුෂ්ටීන් වහා උදුරා දමා යට කී සිහින උන්මාදයේ භීතිය අප වෙත ගෙන ආවේ ය. මෙතෙක් වේලා ගමනාන්තය පිළිබඳ සටහනක් අප වෙත වූ නිසාම වැස්ස, අඳුර හා වනයේ ස්වභාවය පිළිබඳ කිසිදු තැකීමක් කිසිවකු තුළ නොවූ අතර යා යුත්තේ කුමන දෙසකටදැයි යන්න ගැටළුවක් වූ විටම සැඟව උන් භීතියක් සියල්ල පරයා නැඟ ආ අන්දම විශ්මයජනක ය. ඒ සියල්ලම අතරෙහි... ඔව්.... අප සිටියේ වචනයේ පරිසමාප්තයෙන් කූඩලු රජදහනක ය!

“ඔන්න කකුලෙ එකෙක්!!“

මගේ පාදය දක්වමින් සුමින්ද කෑ ගසත් දී එළෙසම අනෙකකුගේ පාදයක් දක්වමින් තවත් අයෙකු මොර ගැසී ය. මෙතෙක් මා දැක සිටි අතිවිශාලම කූඩැල්ලන් එකා දෙන්නා බැගින් පහසුවෙන් ආක්‍රමණය කළ හැකි මගේ පාද තෝරා නැග, සිය ගොදුරු වපසරිය මැනබලමින් ඉඳිනු පෙණින. කූඩැල්ලන්ටම පහසුකම් සපයන්නට මෙන් මා පැළඳ උන්නේ සෙරෙප්පු යුවලකි!

“වතුර පාරවල්වල කූඩැල්ලො නැහැ... වතුරකට බැහැල ගලවන්න. කූඩැල්ලො දැක්ක ගමන් නතර වෙන්න එපා. තව නගිනවා එතකොට!!“

සරත් සර් එළෙස කීවේ දුටු මතින් කූඩැල්ලන් ගැලවීමට නතර වූ චන්දිකට ය. සැබවින්ම මෙම බිය කැඳවන මොහොතේ වුව, සිය පයේ නගින කූඩැල්ලා ගලවන්නට ඔහු සිදුකරන ක්‍රියාවලිය දුටු අපට සිනා සඟවාගත නොහැකි විය. කූඩැල්ලකු දකින චන්දික සිය මෙහෙයුම ක්‍රියා කරන පිළිවෙල ලිවීම කෙතරම් අසීරු වුව හැකි උපරිම උත්සාහය නොගැනීම නොමනායැයි මට හැඟේ. එය මෙපරිදි වේ.

සිය පාදයේ නගින කූඩැල්ලා දුටු මතින් ඉද්ද ගැසුවා මෙන් නතර වන චන්දික පළමුව මහත් වෛරයකින් කූඩැල්ලා දෙස බලා සිටියි. අනතුරුව වටයක් දෙකක් කරකැවී අසල ගසකින් කුඩා අතු කැබැල්ලක් කඩා ගනියි. අතු කැබැල්ලෙන් සිහින් සවිමත් කෝටුවක් වෙන් කර, ඒ කෙළවරින් කූඩැල්ලා කඩා වෙන් කිරීමේ මහා මෙහෙයුම ආරම්භ කරයි. මේ සඳහා කූඩැල්ලා ගමන් කරන දිශාවට සමානුපාතිකවත්, එරෙහිවත් වට කිහිපයක්ම කරකැවීම අනිවාර්ය අංගයකි. අවසානයේ කූඩලු චුෂකය පරාද කරන්නට සමත් වන චන්දික කෝටුවේ කෙළවරට කූඩැල්ලා අමුණා ගනියි. නමුත් ඒ අවසානය නොවේ. මේ මොහොතේ පටන් ඇරඹෙන්නේ වන්නමකි. මී ළඟ කූඩැල්ලා සමග සටන් කිරීමට අත ඇති ආයුධය බිම දැමීමට අකමැති වන අප කතා නායකයා කෝටුවට නැඟි කූඩැල්ලා ඉන් ඉවත් කරන්නට මහත් නැටුමක් නටයි. පාදයෙන් කූඩැල්ලා කෝටුව වෙත කැඳවීමේ පියවර ජය ගත්ත ද දෙවැන්න ජය ගන්නට ඔහු සමත් වන්නේ නැත. අවසානයේ මහත් වේගයකින් කූඩැල්ලා සහිත කෝටුව බිම දමන ඔහු, කූඩැල්ලා පොළවට වැළලී යන තෙක් වේගයෙන් ඒ මත කිහිප වරක් උඩ පනිමින් ජයග්‍රාහී අවසන් පිම්ම වෙත පිවිසෙයි.
“දුන්න උට වැඩේ.....!!!“

අවසාන විජයග්‍රහණයේ වදන් පෙළ කෙළවර වන විට සිය සිරුරේ වෙළෙන, නගින කූඩැල්ලන්ට රිස්සක් කර ගන්නට ඉඩ දී සිටින සෙසු අය මහත් ආයාසයෙන් මැඩගත් සිනාවෙන් රංගනය රස විඳ හමාර ය. පිරිසේ කෙනෙක් සෙමෙන් චන්දිකගේ පාදයකට යළි ඇඟිල්ල දිගු කරයි.

“ඔය එන්නෙ වැඩේ දෙන්න!“

යට කී නාටකය අතරතුර ඔහුගේ පාදයේ එල්ලුණු තවත් කූඩැල්ලන් තිහ හතළිහක් සිය ආහාරයට සුදුසු ස්ථාන සොයා යනු පෙනෙයි. දැන්..... නාටකය යළිත්!!!!

‘චන්දික අයියෙ අන්න...!“

මේ අතර කුඩා උදය පෙන්වන්නේ උඩ පැන තළා වල දැමූ කූඩැල්ලා ද පස් අතරින් ඉවතට ඇදෙන ආකාරයයි.

කූඩැල්ලන් පිළිබඳ ඇසීම, උන් දැකීම හෝ උන්ගේ ආක්‍රමණයන්ට ගොදුරු වීම මටත්, මල්ලීටත් අමුතු අත්දැකීම් වී නොතිබිණි. වාසනාවකට පිරිසේ සෙස්සන් ද කූඩැල්ලන්ට දැඩි බියක් දැක් වූ හෝ පිළිකුළක් දැක් වූ අය නොවී ය. එහෙත් මෙම කූඩලු ප්‍රහාරය තරම් මා කම්පනය කළ වෙනත් දේ වේ නම් ඒ ඉතා කිහිපයක් වූවාට සැක නැත. කළුපහණේ අපට හමුවූ කූඩැල්ලෝ වර්ග කිහිපයක්ම වන්නට ඇත. නිතර අප නිවෙස් අසල වැසි මොහොතක හමුවන කුඩා කූඩලු වර්ගයත්, සාමාන්‍යයෙන් විශාල තනි වර්ණිත කූඩැල්ලනුත් අතර යම් බිය මුසු පෙණුමකින් යුතු ඉරි වැටුණු වර්ගයක් ද වූ බව අදද මට හොඳින් මතක ය. කූඩැල්ලන් අපගේ පාදයකින් ලේ උරන්නට වීම මහත් බියජනක කටයුත්තක් නොවූව ද මග නොදැන, වැසි අධිකව වැටෙන වනාන්තරයක අතරමංව ශීතලෙන් පීඩිතව ඉන්නා මොහොතක ගෙන එන්නේ කිසිදු සාමාන්‍ය මානසික තත්වයක් නොවේ.

පාද...!! බොහෝ වේලා ගතවන තුරු ම පාද දෙසම, ඒ දිග නැගෙන කූඩැල්ලන් දෙස බලමින් ම උන් අපට ශරීරයේ අනෙකුත් අවයවයන් පිළිබඳ කිසිදු තැකීමක් නොවී ය. එහෙත් මුහුණ උසට වැවුණු එනසාල් පත් මත සෘජුව නොසැලී උන් වෙනත් මානයක හමුදාවක් අපේ අත්, ගෙල හා මුහුණට ද ඉලක්ක ලබාගෙන අවසන් බව වැටහුණේ ඉඳුනිල්ගේ කණ පිටුපසින් ඔහු කූඩැල්ලකු ගැල වූ විට ය. ඉදින් පසු අපි තරගයට මෙන් පාද හා සමානවම මුහුණ, අත්, ගෙල ඇතුළු නිරාවරණ ශරීරාංග පුරා විසිරෙමින් උන් කූඩලු හමුදා සමග සටන් ඇරඹීමු.

කූඩැල්ලන් හා සමග සටන පිළිබඳ කියවන ඔබට අප සැම සිටින්නේ මග අපැහැදිලි, වන බිමක මහ වර්ෂාවකට මැදිව බව අමතක වන්නට පටන් ගෙන ඇත්තේ යම් සේද කණ්ඩායමේ අපටද කූඩලු ප්‍රහාර නිසාවෙන් මුහුණ දී සිටින ප්‍රධාන අභියෝගය මොහොතකට අමතකව යමින් තිබිණි.

“දැන් අපි කොහාටද යන්නේ...?“

තරමක් එළිමහන් බිම් කඩකට විත් නතර වී කූඩැල්ලන් කඩමින් කවුරුන් හෝ ඇසූ ප්‍රශ්නයෙන් ගමනේ දුශ්කරම අභියෝගයක් තවත් ඉතිරිව ඇතැයි යන තිගැස්ම යළි නැගී ආවේ ය. කූඩැල්ලන්ගෙන් බේරෙන්නට හිතුමතේ පෙරට දිව් අපට ආ දිශාව පිළිබඳ ව වුව නිශ්චිත අදහසක් තිබුණේ නැත. නොනවතින වර්ෂාව අප පරදවා හමාර ය. හිස මත පොලිතින් කවර ගැට ගසා  සාදාගත් වැසි ආවරණ දියබත් ව ගොසිනි.

“වෙලාව තුනයි!!“

කවුරුන් හෝ ඒ කී වදන් පෙළ එක්වරම මහහඬින් දෙසවන් අසළම හෙණ හඬක් පුපුරා ගියාක් වැනි විය. තවත් පැයකින් හෝ දෙකකින් මේ මුළු වනයම අඳුරේ ගිලෙනවාට සැක නැත. ඒ වන තෙක්ම අපට මිනිස් පා ගැටුණු මග ලකුණක් දක්නට නොලැබුණොත්?

“අපි එක පැත්තක් තීරණය කරල ඒ පැත්තට යමු. අපි ආවෙ මෙහෙන්... එතකොට මට හිතෙන්නෙ බඹරැල්ල පැත්තට බෑවුම ඇත්තෙ මේ පැත්තෙ. අපි යන්න ඕන එහෙට...“

සර්ත් සර්ගේ අදහසට එකඟ වූ සියල්ලෝම ඔහු දැක්වූ දිශාව දෙසට ගමන් ඇරඹීමු. කූඩලු ප්‍රහාරත්, වර්ෂාවත්, අතරමං වී සිටීමත් අප ශරීර තුළ නැගෙමින් තිබූ අධික වෙහෙස යටපත් කොට දමා තිබිණි. එකම දිශාවක් දෙසට ඇදෙන්නට වී මොහොතකින් එනසාල් වගා බිම කෙළවර විය. කූඩලු ආක්‍රමණ තරමක් අඩු වූ නමුත් නතර ව ගියේ නැත. එහෙත් ඒ වන විට වචනවලින් එකඟ නොවූ සම්මුතියක් කණ්ඩායමේ සියල්ලන් විසින් අනුගමනය කරන ලද බව පෙණින. ඒ කූඩැල්ලන්ට රිසි සේ ලේ බොන්නට ඉඩ හැර නිකම් සිටීමයි. විශේෂයෙන් මාගේ පාදයේ වූ සෙරෙප්පු පටි යට සැඟව (පටිවල හැඩයටම පටියක් සේ උන් පෙළ ගැසී සිටි බව මතක ය.) දිගින් දිගටම ලේ උරා බිව් කූඩැල්ලෝ ලොවි ගෙඩි සේ මහත් ව, ගැලවී වැටෙන්නට පටන් ගෙන තිබිණි.

වැස්ස තරමක් පහව ගිය අතර තවත් පැයක පමණ කාලයක්  තිස්සේ අපි පෙරට ඇදුනෙමු. එහෙත් ඒ වන විටත් කිසිදු අඩි පාරක් හෝ මිනිස් වාසයක් පිළිබඳ සළකුණක් අප නෙත ගැටුණේ නැත.  

“මේක නම් පුදුම වැඩක්. කිසිම අඩි පාරක්වත් නැති එක...“

තරමක එළිමහනකට විත් වෙහෙස නිවෙන්නට වතුර උගුරක් බොමින් එක් අයෙක් සඳහන් කළහ.

“පුදුම වෙන්න දෙයක් නැහැ. මට හිතෙන්නෙ අපි එක තැන කැරකෙන්නෙ. අපි මෙතනින් කලින් ගියා නේද?‘

අප දුටු විශේෂිත හැඩයක ගසක් දක්වමින් කවුරුන් හෝ කීවේ තරමක බිය මුසු ස්වරයකිනි. සැබවින්ම ඒ එම ගසම ය!! නිසි ඉලක්කයක් තෝරා අප පිටව යන්නට මොහොතකට පෙර ඒ ගස ගැන අප කතා කළ අතර එතැනට පැමිණි දිශාව, ඒ මොහොතේ සිටි තැන් පවා හඳුනාගන්නට මොහොතක් ඇතුළත අපට හැකි විය. මෙයනම් පුදුමයකි. යළිත් වටයකින් ආරම්භක ස්ථානයට පැමිණීම වෙනත් මොහොතක සිනාවක් කැඳවන්නක් වුව, ක්‍රමයෙන් වැඩී නැග එන රැහැයි නද පසුබිම් කරගෙන ගෙන ආවේ සන්ත්‍රාසයකි. කිසිවිට අද දිනයේ මෙම වනයෙන් අපට පිටවන්නට ඉඩක් නොලැබෙනු ඇතැයි යන හැඟීම සියල්ලන් තුළ නැගී එන්නට ඇති මුත් කිසිවකු ඒ වචනයට නගන්නට නිර්භිත වූයේ නැත. කූඩලු ආක්‍රමණ අවම වී තිබුණු මුත් කිහිප දෙනෙකුගේම පාද ලෙයින් තෙත් වී තිබිණි. මාගේ දෙපාවලින් වෑහුණු රුධිරය සෙරෙප්පුවත් පාදයත් අතරින් නිරතුරුව ගලා යමින් තිබුණු අතර පය තබන මොහොතක් පාසා ඇඟිලි අතරින් මතුව නැංගේ ය.

එහෙත් අප සත් දෙනෙකි!! ඔව්... කිසිවකු සෙස්සන් දිරි ගන්වන්නට වචන පිට නොකළද මා සමග තවත් පිරිසක් වෙතැයි යන ශක්තිය සැම දෙනා තුළම වන්නට ඇත. අපි යළිත් ගමන් ඇරඹිමු. අප පසු කර දමා තිබුණු කූඩලු රජදහන වෙත හැර සෙසු ඕනෑම දිශාවකට පය ඔසවන්නට බියක් අප වෙත වූයේ නැත. මුල් දිශාව මඳක් වෙනස් කර මෙවර ගිය මගෙහි මඳ දුරක් යත්ම යළි එනසාල් ගහණය දක්නට ලැබිණ. එහෙත් එනසාල් පඳුරුම පමණි. කිසිදු මිනිස් සළකුණක් නොමැතිව....!!!

වාසනාවකට මෙවර එනසාල් වගාව අතරෙහි කූඩැල්ලන් බහුල නොවී ය. වේලාව පස්වරු හතරත් පහත් අතරේ විය හැකි බව අනුමාන කළ හැකි වුවත් සිය ඔරලෝසු දෙස බලන්නට කිසිවෙක් උත්සාහ කළේ නැත. වේලාව පිළිබඳ සංඥාව ගෙන එන්නේ තවත් තිගැස්මක්ම පමණක් වන හෙයිනි.

“මෙන්න බලන්න....!!!!“

මෙවර කවුරුන් හෝ නැගූ හඬ විශ්මයත් සතුටත් අතර වූවකි. ඔහු අත යොමු කරගෙන උන්නේ පොළව දෙසට ය. අපි ක්ෂණයකින් ඔහු අත දිගු කළ පෙන් වූ දෙසට හැරු‍ණෙමු. ජල නලයක්...!!!
එනසාල් වගා බිම හරහා ඇදී යන ජල නලයක් ඔහුගේ නෙත ගැටී තිබිණි.

(මතු සම්බන්ධයි)

No comments:

Post a Comment