Saturday, September 8, 2012

වැස්සත් සමග.... (අවසන් කොටස)


(පසුගිය ලියවිල්ලෙන්...)


කාන්තාරයක ගමන් කරන්නෙකුට ක්ෂේම භූමියක් මුණගැසීම තරම් තවත් සතුටක් නොවන බව අපි කොතෙකුත් වර කියවා ඇත්තෙමු. එනිසාම දුර පෙනෙන මිරිඟුවට රැවටී දිවිය හානිවන තෙක්ම ඒ පසුපස ගිය මිනිසුන් පිළිබඳ අනුවේදනීය කතා ලෝක සාහිත්‍යය තුළින් ඇසුරු කර ඇත්තෙමු. වනයක අතරමං වූවකුට ද මිනිස් වාසයක් පිළිබඳ දැනෙන සුළු සංඥාවක් වුව ගෙන එන සතුට පෙර කී ක්ෂේම භූමිය හමුවන්නාට දැනෙන සතුටම වනු ඇතැයි මට සිතේ. මේ සියල්ලෙහි පසුපස වන්නේ දුෂ්කරතාවයෙන් ගැලවීම හෝ ඒ ජයගැනීම පිළිබඳ සඳහනයි.

මොහොතකින් අඳුර රජයන්නට නියමිත කඳු මුදුනක වූ වනාන්තරයක, මහ වැසි මධ්‍යයේ, ලේ ගලන දෙපා සහිතව ඇවිද ගිය අපට දක්නට ලැබුණු ජල නලය ළඟම ඇති මිනිස් වාසයක් පිළිබඳ සඳහනක් විය. ඒ ක්ෂේම භූමියක් නොවේ ද? කඳු මුදුනෙහි දිය දහරක් හරස් කොට එයින් එන නැවුම් ජලය සිය නිවස්නය වෙත ගෙන යන්නට ඔවුන් මෙම නල භාවිතා කරන්නට ඇත. එසේ නම්, ආසන්නයකම මිනිස් වාසයක් නම්, අප කෙතරම් වාසනාවන්ත ද?

“අපි බටේ යන පැත්තට යමු ද?“

පිරිසේ කෙනෙක් නැඟූ පැනයට ලැබුණු පිළිතුර තවත් ගැටළුවකින්ම කෙළවර විය.

“බැහැනෙ. පේන්නෙ නැද්ද? ඒක දිගටම පේන්නෙ නැහැ, පොළවට යට වෙලා යනව. අනිවාර්යෙන්ම ඕක යනව ඇත්තෙ එනසාල් වාඩියකට. ඒත් අපි කොහොමද දන්නෙ ඒකෙ මේ වෙලාවෙ කවුරු හරි ඉන්නව කියල?“

සත්‍යයකි. මේ මහා කඳු මුදුනෙහි, වන මැද පිහිටා ඇත්තේ එනසාල් වාඩි පමණකි.  දිනයේ අප මුලින්ම දුටු වාඩියද වසා දමා තිබුණු එකකි. මෙයද වසා දමා තිබුණොත් අප මිරිඟු දිය දකින්නන්ට සමාන වන්නට ඉඩ ඇත.

“අපි හූවක් කියල බලමු!“

සරත් සර්ගේ යෝජනාවත් සමග සැවොම මහ හඬින් හූ හඬ නගන්නට විය.
                            
“හූ...... හූ.....හුහ්...හූ.... !!“

වැස්සේ හඬත් ඒ පරයන සුළං නදත් අතරින් අපේ හූ හඬ වා තලයට නැංඟේ ය. පිළිතුරු හූවක බලාපොරොත්තුවෙන් අපි සියල්ලෝම නිහඬ වීමු. මෙවර වැස්ස හා සුළං නද පරයමින් එකිනෙකාගේ හද ගැස්ම නැගී එන්නට විය. කිසිදු පිළිතුරක් නැත. මහා නිහැඬියාවක් වන බිම රජකරමින් තිබිණි. ඔව්!! සියලු වැසි, සුළං නද මධ්‍යයේ, ඒ මූසල, පාළු නිහඬතාව හේතුවෙන් වනයේ අතරමං වන්නට වීම අනිවාර්යයැයි යන සිතුවිල්ල පිළිගන්නට අප සිත් අපට බල කරමින් සිටියේ ය.

“තව පාරක් කියමු....“

මෙවර හූ හඬ පෙරට වඩා ප්‍රබලව නැඟිණි. කෙසේ හෝ ව්‍යසනයෙන් ගැලවීමේ එකම බලාපොරොත්තුව අපට පෙන්නුම් කළ, නල මග කෙළවර කිසියම් හෝ මිනිස් ප්‍රාණියෙකුගේ දෙසවනට ඒ හඬ වැකේවියැයි යන සිතුවිල්ලෙන්, හැකි උපරිම වෙර ගෙන අපි හූ කීවෙමු.

“හූ...... ඌ....ඌ....ඌ.....හුහ්...හූ.... ඌ....ඌ..... !!!!“

යළිත් නිහැඬියාව රජ කරන්නට විය. එකෙකුගේ හද ගැස්ම අනෙකාටද ඇසෙන තරමේ නිහඬ බවක් සහිත තත්පරයක්... දෙකක්...තුනක්....

“හූ...... හූ........හූ.... !!“

පිළිතුරු හූවක්!! තරමක් නුදුරින් තැනෙකින් නැගී ආ හූ හඬක් වන බිම සිසාරා ආවේ ය. මිරිඟුවක් නොවන කෙම් බිම දුටු මිනිසකුගේ සතුටින් යළි යළිත් හූ හඬ නගමින් අපි ඒ දෙසට දුවන්නට පටන් ගත්තෙමු. අප නගන සෑම හූවකම පිළිතුරු හූ හඬක් ඇසුණු අතර ක්‍රමයෙන් එය ළංවන්නට විය. එක්වරම එනසාල් බිම අතරින් මතුව ආ කුඩා ගෙපැලක් අපේ නෙත ගැටිණි. ඒ එනසාල් වාඩියකි. වාඩි මිදුලට වී අප එන දෙස බලමින් දෙදෙනෙක් හූ හඬ නගමින් උන් හ.

වාඩියට ආ අතරමං වූ අප සත් දෙන ඔවුන් පිළිගත් ආකාරයක් මට මතක නැත. ශරීර ශක්තියටත් වඩා මනසින් නැඟුණු ශක්තියකින් පෙරට ඇදුණු මගේ පාදවලින් ගලා ආ ලෙය කෙතරම් ද යත් යම් අපහසුවක් දැනී වාඩියේ පිළෙහි මම ඇද වැටුණෙමි. පිරිසෙහි තව කිහිප දෙනෙක්ම මා අනුගමනය කරද්දී චන්දික වාඩි වූයේ මෙසේ කියමිනි.

“මෙතනින් අඩියක්වත් ආයෙනම් හෙල්ලෙන්නෙ නැහැ මම නං!“

සැබවින්ම වාඩියේ අපට නවාතැන් ගන්නට ඉඩක් ඇති ද, මේ මිනිසුන් ඊට කැමති වේද සිතන්නටත් පෙරම චන්දික එය තීරණය කර තිබිණි. ඔහුගේ ද, අපගේ ද වාසනාවට වාඩියේ මිනිසුන් ඉතා කාරුණික අය විය.

“මහත්තයල කොහොමද මෙහාට ආවේ? මේ කොහෙ යන ගමන් ද?“

සිද්ධිය කෙටියෙන් විස්තර කළ සරත් සර් කීවේ අප බඹරැල්ලට යන අතරමග බවයි.

“බඹරැල්ලට?? මහත්තයල මේ ඉන්නෙ කන්දෙ අනිත් පැත්තෙනෙ. මෙහෙන් බහින්න වෙන්නෙ මීමුරේට. අපිත් ඒ පැත්තෙ අය මහත්තයො!!“

කළුපහණේ වාඩිය අසළින් පාර අසාගෙන පිටව මොහොතකින් මග වරදාගත් අපි පැය ගණනක් කූඩැල්ලන්ගෙන් පීඩා විඳ, වැසි මැද්දේ ගමන් කර තිබුණේ සම්පූර්ණයෙන්ම වැරදි දෙසකට ය. වාසනාවකට මෙම වාඩිය හා මිනිසුන් මුණ නොගැසෙන්නට අපට මුහුණ දෙන්නට වන්නේ භයංකර ඉරණමකට ය.

වාඩියේ නතර ව පසුදා පිටව යන ලෙස අපට ආරාධනා කළ වාඩියේ වැසියෝ රාත්‍රි ආහාරය ද අපට සාදා දෙන්නට කාරුණික විය. එතරම් ප්‍රණීත අහරක් මා රස විඳ ඇත්නම් ඒ කිහිප වරක් වන්නට ඇත. බිහිසුණු ගමනකින් පසු, වාඩියේ එනසාල් වියලන දුම්මැසි අසළ සුවබර උණුසුමක් ලබමින් අපි රාත්‍රී බත රස වින්දෙමු. නිදාගන්නට ඔවුන්ට තිබුණු ඉඩකඩ අප වෙත ලබා දෙන්නට කාරුණික වූ ඒ අවිහිංසක පිරිස කෙසේ රැය පහන් ක‍රන්නේදැයි අසන්නටවත් ශක්තියක් අප වෙත ඉතිරිව තිබුණේ නැත. වැතිරෙන්නට ලැබුණු සුළු බිම් කඩට වැටුණු විගස අපි නින්දට වැටුණෙමු. දිනයේ අත් විඳි අධික වෙහෙස හා තිගැස්ම කෙළවර ලද මෙම නින්ද කෙතරම් සුවදායක වුව අපේ ගමන කෙළවර වී නොතිබිණි. පසුදා පහන්වත්ම නිසි මග සොයා යළිත් අප පිටව යා යුතුව තිබිණි. එහෙත් ඒ සියල්ල මොහොතකට අමතක කර අපි නින්දට ආරාධනා කළෙමු.

පසුදා හිමිදිරිය වන විට වැස්ස තරමක් පහව ගොස් තිබිණි. සියල්ලන්ම නව ප්‍රබෝධයකින් සිටි අතර උදෑසන අහරින් පසු අපි යළි ගමන ඇරඹීමු. සමුගන්නට පෙර දිවියේ දුෂ්කරම මොහොතක පිහිට වූ වාඩියේ මිනිසුන්ට අප ස්තුති කළද එය වචනවලට සීමා කළ හැකිද යන්න අපටම පැනයක් ව තිබිණි. ඒ එතරම්ම වටිනා උපකාරයකි; මිළ කළ නොහැක්කකි.

පෙර දිනයේ නිසි මග නොදැන ගිය වන බිමට යම් විශ්වාසයකින් පිවිසි අපි බඹරැල්ල දෙසට යන මග සොයා ගතිමු. ඒ ගමන අතරතුර ද ඇතැම් විට වල්මත් වන්නට ගිය මුත් යළි නිසි මග වෙත පිවිසෙන්නට අපට හැකි වූයේ අසීරු අවස්ථා අවම කරමිනි. එනමුත් බඹරැල්ල දෙසට වන බෑවුම සොයාගෙන පල්ලම් බසින්නට ගන්නා මොහොත වන විටත් මධ්‍යාහ්නය පසු වෙමින් තිබිණි. යළිත් නැගී ආ වැස්සත්, මිහිදුමත් නිසා වටපිටාවේ කිසිදු සිරියක් අපට දැකගන්නට ලැබුණේ නැත. එහෙත් අප පසු කරමින් සිටින්නේ සුන්දර කඳු මුදුනක් බව පෙන්වන්නට මෙන් මිහිදුම එක් නිමේෂයකට මැකී ගිය අන්දමත් ඒ ක්ෂණයකින් යාබද කඳු වැටියෙන් ගලා හැලෙන සුන්දර දිය ඇල්ලක් දෘශ්‍යමාන වූ අන්දමත් අපූර්ව සිහින මතකයක් මෙන් මනසේ තැන්පත්ව ඇත‍.
කූඩැල්ලෝ...!!! ඔව්, දෙවන දිනත් යළි සුපුරුදු කූඩලු ප්‍රහාර අප වෙත එල්ල වූ අතර එය පෙර දින තරම්ම ඉහළ අගයක් ගත්තේ නැත. ව්‍යසනය හුරු අපි නැගී ලේ බී වැටෙන කූඩැල්ලන් පිළිබඳ  කිසිදු තැකීමකින් තොරව පෙරට ඇදුණෙමු. පෙරදා සිය සගයින් ලේ උරා බිව් තුවාල යළි යළිත් සපාකමින්, විරෝධයක් නැති අප වෙතින් උහු කුස පුරවා ගත් හ.

බඹරැල්ල ලෙබනන් වතුයායේ ඉහළම ප්‍රදේශයේ මිනිස් වාසයක් වෙත එළඹ මොහොතකින් මා ක්ලාන්තය හැදී ඇද වැටුණේ සෙරෙප්පු පැළඳි ලේ ගලන දෙපා සහිතව ය.

“මේ මහත්තයගෙ කකුල් පිහියකට කැපුණ ද?“

මා හට බොන්නට වතුර දෙමින් නිවැසියෙක් විමසා සිටියේ ය.

තවත් පැයකින් පමණ වතුයායේ නිල නිවාස හා කර්මාන්ත ශාලාව අසළට එන්නට අපි සමත් වීමු. එහි නිලධාරීන් අපට සාත්තු කළේ හිතුවක්කාර ගමනක යෙදීම පිළිබඳව දොස් පවරමිනි.

“යන්න එපා ආය කවදාවත් ඔය වගේ ගමන්. එකපාරක් එපා කියද්දි වැස්සෙ නකල්ස් ගියපු ෆාදර්ස්ල වගේකින් යහතින් එළියට ඇවිත් තියෙන්නෙ එක් කෙනයි!!! ඇතුළෙදි කූඩැල්ලන්ට අහුවෙලා පාර වැරදිලා!!!“

දොස් පවරමින් මුත් ඔවුහු ඉතා හොඳින් අපට සත්කාර කළ හ. පෙරදා රැයේ රස විඳි බත් පත කෙතරම් මිහිරව දැණුනිද, එතරම්ම මිහිරව ඔවුන් අතින් ලැබුණු කිරි කෝපි රස දැණිනි.

පාන්දරම කන්ද නැඟ, එනසාල් ගෝණි ද රැගෙන එන රණමුරේ ගම්වැසියා නගින බඹරැල්ල බසය අපට හමුවුණේ ඊට මොහොතකට පසු, එනම් රණමුරේ වැසියා නැඟී දින එක හමාරකට පසු ය. බසයේ නැගී නිවෙස් බලා ආ අප පිරිසේ බොහෝ දෙනෙකුට පසුදා වන විටම තදින් වැළඳුණු උණෙන් පීඩා විඳින්නට සිදු විය. දින දෙකක් එක දිගටම ශීත කඳු මුදුණක වැස්සට තෙමෙමින්, කූඩැල්ලන්ගේ පීඩා මැද ආ ගමන තදබල උණකින් කෙළවරව යාම ගැන අප කණගාටු වූයේ නැත. බිහිසුණු, රසබර මතක රැසක් උණ රෝගය සුව වූ පසු ද අප වෙත ඉතිරි විය. ඒ යළි යළිත් සිහිගන්වන්නට මෙන් කූඩැල්ලන් කා තුවාල වූ පාදවල වියළී ගිය කැළැල් ද වසර ගණනක් අප සමග විය.

“ප්‍රියා.... මේ බලන්න වැස්සෙ ඔපෙරා හවුස් එක වටේ කවුරුත්ම නැහැ!!“

ජුන් කෑගසයි.

කුණාටු සුළඟත් සමඟ එන වර්ෂාව ඔපෙරා හවුස් පරිශ්‍රය තදින් තෙමා හරියි. සිඩ්නි කලපුව කෙළවර නොසැලෙන ඔපෙරා නිවස මිනිස් නිර්මාණ ශක්තියේ විශ්මිත බවට දෙස් දෙමින් පර්වතයක්ව නොසැලෙයි.

වැසි මැද  රැයෙහි සිඩ්නි නගරය
මම එහි අංගනයේ සිට යළි හැරී බලමි. අහස උසට නැගී වෛවර්ණ ගොඩනැගිලි, අනේක වර්ණ බුබුළුවලින් සැරසී සිඩ්නිය අලංකාර කරයි. වසර විස්සකට පෙර දිනෙක අපට සෙවණ දුන්, දිවි රැක දුන් නකල්ස් වන මැද කුඩා වාඩිය මේ මොහොතේත් ඇත්ද, එසේනම් එහි කවුරුන් වෙසෙත්ද යන පැනය මසිතට නැගේ. කවුරුන් සිටිය ද මේ විසල් නගරය දෙස බලා සිටින මට පෙනෙන දහස් ගණනැති ආලෝක ධාරා ඔවුන් වෙත තිබෙනු නැත‍. අප එහි ගත කළ දිනයෙහි මෙන්ම කුඩා පහන් දැල්ලක් එහි කෙළවරක දැල්වෙනු ඇත.  

No comments:

Post a Comment