Sunday, August 26, 2012

අවුරුදු


( 2012 අ‌ප්‍රේල් මස 15 වැනිදා ඉරිදා )

මධ්‍යම දුම්රිය පළෙන් පෙනන්ට් හිල්ස් බලා දිවෙන දුම්රියකට ගොඩ වැදුණේ සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයින්ගේ අවුරුදු උත්සවයට යන්නට ය. කිසිදු කිරිබතක්, කැවුම් ගෙඩියක් නොදුටු ජීවිතයේ ප්‍රථම සිංහල අවුරුද්ද මෙයයි.

සිඩ්නි දුම්රිය ගමන් තරමක් හුරු වී තිබුණ ද පෙනන්ට් හිල්ස් ගමන තරමක දිගු කාලයක් ගන්නා එකකි. මධ්‍යම දුම්රිය පළෙන් පිටවන දුම්රිය, උමං මාර්ගයක් ඔස්සේ යමින් ප්‍රධාන සිඩ්නි නගරය පසු කරයි. වින්යාර්ඩ් හෝ නගර ශාලා උමං දුම්රිය පළකින් බැස යන්නකුට ප්‍රධාන නගර මධ්‍යයෙන් පිටතට විත් නගරයට ප්‍රවේශ විය හැක. උමං මාර්ගයෙන් පිටතට එන දුම්රිය ප්‍රකට හාබර් පාලම මතින් ගොස් නගරයේ උතුරු ප්‍රත්‍යන්තයට පිවිසෙයි. තවත් දුම්රිය පළ කිහිපයකට පසු යළි දිගු උමං මගක් ඔස්සේ දිවෙන ගමනක ද කෙළවරදී ය, පෙනන්ට් හිල්ස් හමුවන්නේ.

පෙනන්ට් හිල්ස්, එපින් ඇතුළු උතුරු ප්‍රත්‍යන්ත පෙදෙස්හි ශ්‍රී ලාංකිකයෝ බහුලව පදිංචි ව සිටිති.

“අපේ කට්ටිය මේ පැත්තේ ගොඩක් ඉන්නවා. දැන් අවුරුදු උත්සවේ තියෙන තැන හරියට ලංකාවෙ අයගෙ තැනක් ගාණට ඇවිත්. ගොඩක් සංස්කෘතික වැඩ සංවිධානය වෙන්නෙ එතන තමයි“

පෙනන්ට් හිල්ස් දුම්රිය පළේ දී මා පිළිගත් ජයන්ත අන්කල් රිය පදවන අතරතුර පැහැදිලි කළේ ය. ඇල්ගනන් වීදියේ නිවසින් පිටව ආ පසු ජයන්ත අන්කල් සහ කුමාරි ඇන්ටි යළි මුණගැසෙන්නේ අද ය. සැබවින්ම ඔවුන්ගේ ආරාධනය නොවන්නට පැමිණ මසක් ඇතුළත කෙරෙන මෙම උත්සවය ගැන මා දැන නොගන්නට බොහෝ දුරට ඉඩ තිබිණ. සිඩ්නියේ අවුරුදු උළෙල??? මෙහි කවරනම් ක්‍රියාකාරකම් සිදුවනු ඇත් ද? කුමනාකාරයේ මිනිසුන් හඳුනාගන්නට ඉඩ ලැබේවි ද? ජයන්ත අන්කල්, කුමාරි ආන්ටි, රංග හැරුණු විට මා හඳුනන ශ්‍රී ලාංකිකයන් සිඩ්නියේ වූයේ කිහිප දෙනෙකි. ඔවුන් ද ෆේස් බුක් අඩවියකදී හමු වූවා හැරෙන්නට මෙහි ආ පසු මුණගැසුනේ නැත.

පෙනන්ට් හිල්ස් සිට කිලෝ මීටර 2-3ක ගමනකින් පසු කාලින්ෆර්ඩ් හි රෝස්ලී ප්‍රජා ශාලාව ඉදිරියට රථය ප්‍රවේශ විය. ශාලාව ඉදිරිපසත්, මහමග දෙපසත් නවතා තිබුණු දිගු වාහන වැල නවීන පන්නයේ මෝටර් රථ හා ජිප් රථවලින් පිරී පැවතියේ ය.

“මේ සේරම අවුරුදු උත්සවේට ආපු අයගෙ. පේනවනෙ? හැමෝම වාහන පාවිච්චි කරනවා. මෙහෙ වාහනයක් නැතිව අමාරුයි. අනික වාහන ලාබයි. තමන්ගෙම වාහනයක් තියෙනව නම් ලාබම ඒකෙ යන එක. කෝච්චියට, බස් එකට වඩා ඒක ලාබයි!“

ජයන්ත අන්කල් තව දුරටත් පැහැදිලි කළේ රථය නැවතීමට ඉඩක් සොයමිනි. අතුරු සිදුරු නැති වාහන ගංගාව අතර ඉඩක් නොවූයෙන් පහළ වීදියකින් ප්‍රජා ශාලාවේ පසුපස පිට්ටනි පෙදෙසට ඔහු රිය පදවාලී ය.

ප්‍රජා ශාලාව පසුපස භූමිය මනරම් ක්‍රීඩා පිටි කිහිපයකින් සමන්විත විය. අවුරුදු උත්සවයේ අලියාට ඇහැ තැබීම, කණා මුට්ටිය බිඳීම වැනි තරග පවත්වා නිම වූ සළකුණු පිටියේ දෘශ්‍යමාන විය. කඹ ඇඳීමේ තරග සඳහා සූදානම් කෙරෙමින් තිබුණු පිටියේ පිරිසක් රැඳී හිඳිනු පෙණින. එහෙත්, රථ වැලට ගැලපෙන මහ සෙනඟක් එහි නොවීම මසිතට ගෙන ආවේ කුතුහලයකි.

“කෝ කට්ටිය හරි අඩුයිනෙ?“
කඹ අඳින්නට යන තරුණියෝ

මම ජයන්ත අන්කල්ගෙන් ඇසීමි.

“කට්ටිය පෙනෙයි හෝල් එක ඇතුළට ගියාම! එතන තමයි වැඩ තියෙන්නෙ. ඔයාටත් පුළුවන් අපිට හෙල්ප් එකක් දෙන්න ‘ආප්ප ස්ටෝල්‘ එක පැත්තට ඇවිත්!!“

ආප්ප ස්ටෝල් එකක්!! මම ප්‍රශ්න රැසක් සිත් හි රඳවාගෙන ශාලාවට ප්‍රවේශ වීමි. ශාලාවේ රැඳී සිටි පිරිස, පිටියේ රැඳී සිටි පිරිසට වඩා විශාල ය. ජයන්ත අන්කල් සඳහන් කළ ආප්ප සඳහා වූ වෙළඳ කුටිය, සිඩ්නියේ වන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ කටයුත්තකි. ඒ හැරුණු විට බත් කඩයක්, කොත්තු කඩයක්, අවුරුදු රසකැවිලි කඩයක් මෙන්ම සිංහල සාහිත්‍ය කෘති වෙළඳ සළක් ද ඇතුළු වෙළඳ කුටි කිහිපයක්ම එහි වූ අතර කොත්තු කෑමට, ආප්ප කෑමට හෝ බත් කෑමට කැමැත්තෙන් ඒ වෙළඳ කුටි ඉදිරිපස පෙළ සැදී උන් පිරිස් ද දක්නට ලැබිණි. ඩොලර් 7-8ක මුදලකට බොහෝ ආහාර අළෙවි වූ අතර පෙළ ගැසුණු සියල්ලෝ තම වාරය තෙක් නොඉවසිලිව රැඳී උන් හ.

“බිත්තර ආප්පයයි, ප්ලේන් ආප්ප තුනයි, ලුණු මිරිසයි, චිකන් කරියයි මේ ගණන්වලට ලාභයි. ඒකයි මිනිස්සු හැමෝම කැමති!“

ආප්ප සාදන කුමාරි ආන්ටි ඇතුළු පිරිසට අත්උදව් දෙන අතර කවරකු හෝ කියනු මට ඇසිණි. අවුරුදු උළෙලක් පිළිබඳ පූර්වයෙහි වූ මනස් චිත්‍රයට සපුරා වෙනස් සිතුවමක් මා ඉදිරියේ දිග හැරෙනු දැකීම මාහට වේදනාවක් ගෙන ආවේ නැත. සිය සමීප නෑසියන්ගෙන් වෙන්ව, දුරු රටක වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට උපන් දේශය පිළිබඳ ඇත්තේ අතීතකාමයෙන් පිරි මතක එකතූන් සහිත හැඟීම් මාලාවකි. ගම් පියසේ ‘ලවුස්පීකර් ගස් බැඳ‘ අපූරුවට පැවති අවුරුදු උළෙල යළිත් සිය ඕස්ට්‍රේලියානු වාසී දුවාදරුවන් අභියස මවාලීමේ නොතිත් ආශාවක් මෙම වැඩිහිටියන් තුළ වනු නොඅනුමාන ය. එහෙත් ශීතල පරිසරයත්, බටහිර රුවැති ගොඩනැගිලි පිරි වටපිටාවත්, නවලොව ඇඳුමින් සැරසුණු තරුණ තරුණියන් පිරිසත් මේ සඳහා පූර්ණව ගැලපෙන තත්වයක් නිපදවන්නේ නැත. ඒ කෙසේ වුව හැකි පමණින් මෙම උළෙලෙහි අසිරිය විඳ ගන්නට ඔවුහු උත්සුක වෙති.
ශාලාවේ උණුසුම

තරග කරනු හැරුණු විට, ඇතැම් විට ඊටත් වඩා මෙම පිරිස සතුටු වන්නේ සිය හිතවතුන් මුණ ගැසීමෙන් විය හැක. ඒ අතරතුර සිය රට මතක සිහිගන්වමින් ආප්පයක් හෝ කොත්තුවක් ද කන්නටත් ලැබේ නම්!! ශාලාවේ වෙළඳ කුටි අසළ රැඳී හුන් පිරිසගේ මනස තුළ ඇත්තේ එවන් හැඟීමක් නොවේ යැයි කිව හැකි ද?

ආප්ප සැදෙන්නේ වේගයෙනි. කුඩා ගෑස් උදුන් 10ක 12ක ආප්ප සාදන සිඩ්නි නුවර ගෘහණියෝ වේගයෙන් ලැබෙන ඇණවුම් ඉදිරියේ පරාජය නොවෙති. බිත්තර ආප්ප සෑදීමේදී අප රටේදී මෙන් එක්වරම බිත්තරය ද ආප්පය සමගින්ම බැදී නොඑන්නේ මන්දැයි මට වැටහී නොගිය ද සාදන ලද බිත්තර ආප්පයේ බිත්තරය ද පදමට සැකසෙන තුරු ඒ ක්ෂුද්‍ර තරංග උදුනේ තැබීම මාහට පැවරුණු රාජකාරිය විය.

ආප්ප ඇණවුම් අඩුවෙමින් පවතිද්දී එතැනින් සමුගත් මම ශාලාව වටා ඇවිද ගියෙමි. අවුරුදු රසකැවිල්ලෙන් පිරුණු රසකැවිලි කඩයක් ද පසෙක වූ අතර යොවුන් වයසේ වූ පිරිසක් එහි අලෙවි කටයුතු සිදු කරමින් උන් හ. වැලිතලප!!! කොණ්ඩ කැවුම්, මුං කැවුම්, කේක් හා දෝසි අතර මගේ නෙත පැහැර ගත්තේ වැලිතලප යි.

“ප්‍රියන්ත පුතා කියන්නෙ නැති වුණු අපේ කිරි අත්ත වෙන්න ඇති කියල තාත්ති කියනව. අපේ කිරි අත්තත් වැලිතලපවලට හරි ආසයිනෙ පුතා වගේම...“

පාසැල් නිවාඩුවට වත්තට ගිය විට අපි වෙනුවෙන් සදන වැලිතලප පිළිගන්වමින් සිනාසෙන අම්මා කියන්නී ය. මා වැලිතලප කන්නට ආසා බව දන්නා ඇය නිවාඩුවක දී බොහෝ විට ඒ සාදා දෙයි. එසේ නමුත් මහගෙදර දී ද අපට වැලිතලප ලැබෙන අවස්ථා එමට ය. රස කැවිලි සැදීමේ මනා හැකියාවක් ඇති ආච්චී ද ඇතැම් දිනවල වැලිතලප සාදයි.

“කැකුළු සහල් පිටියෙන් ද...
තම්බා කඩ පිම්මෙන් ද.... “

මනා ස්මරණ ශක්තියකින් හෙබි ආච්චි වැලිතලප අප වෙත බෙදා දෙන්නේ වැලිතලප කවිය ද මුමුණමිනි.

වඩා රසවත් වැලිතලප කෑමට මටත් මල්ලීටත් වරක් අවස්ථාව ලැබුණේ අම්මාගේ නැන්දා කෙනෙකුගේ ගම් පියසට ගිය විටදී ය. රිදීගමට ද තරමක් දුරින් මනරම් වෙල් යායවලින් වටවුණු එම ගම්මානයට යන්නට අප මහත් කැමැත්තක් දැක්වූයේ අම්මාගේ ඥාති සොයුරු සොයුරියන් වන බාප්පලා, නැන්දලාගේ ආදර සංග්‍රහ නොමඳ ව ලැබුණු නිසා විය යුතු ය. බාප්පලාගේ දරුවන් සමග සෙල්ලමට වැටීමටත්, කඳුකරයේ සිට ගලාවිත් ගම හරහා ගලන ඔයෙන් නාන්නට ඉඩලැබීමත් මෙම ගමනට ඇති උනන්දුව දෙගුණ කර දුන්නේ ය. මෙසේ ගිය ගමනක දී, ඔයෙන් නා නිවසට පැමිණි පසු සවස්වරුවක දී ය, ඒ ආච්චී අපිට වැලිතලප දුන්නේ.

“වැලි පිට්ටු වගයක්. ටික දවසක් වෙනව හදල. මම ටිකක් තියල තිබ්බ පුතාලට!“

එපෙදෙසේ අය වැලිතලප හැඳින්වූයේ වැලි පිට්ටු යන නමිනි. යහමින් කිතුල් පැණි යොදා සාදා තිබුණු වැලිතලප කැබලි කිහිපය නිමා කරන්නට මටත් මල්ලීටත් වැඩි වේලාවක් ගත වූයේ නැත. අවසන් කැබැල්ලත් මුව තුළට ලා ගනිද්දීම දෙවැනි බාප්පාගේ කුඩා පුතු (මල්ලී) එතැනට කඩා පැන්නේ ය.

“ඒ මොනව ද?“

“වැලි පිට්ටු!. ඇයි මගේ පුතාට මම දුන්නේ. මේ අයියලාට දුන්නු පංගුව“

“මටත් ඕනෑ...!!“

“ආයෙ හදල දෙන්නම්. දැන් ඉවරනෙ මගෙ පුතේ..“

“එහෙම බෑ. දැන්ම ඕනෑ...“

ආච්චි බලවත් ලෙස අපහසුතාවයට පත් වූයේ නැති වැලි පිට්ටු ඉල්ලමින් මල්ලී කළ පෙරළිය නිසා ය.

“ආ... මෙතන කෑල්ලකට වඩා තියෙනවා...“

අවසානයේ ඇය වැලිතලප තිබූ භාජනය තුළ වූ කැඩී ගිය කොටස් ඔහු අත්ලට දැම්මා ය.

“මට මේව එපා... මට ඕන හොඳ කෑල්ලක්... නැත්තං මම මේව විසි කරනවා...“

සිය විරෝධය පෑමට අත වූ කොටස් ඔහු වේගයෙන් විසි කළේ ය. එහෙත් ඒ පසෙකට නම් නොවේ. අනෙත් අත වෙතට ය!!!

පස් වියැති දඟකාරයාගේ ක්‍රියාව දුටු ආච්චිටත්, එතැනට ආ නැන්දලාටත් සිනාව නවතාගත නොහැකි විය. ඉමිහිරි රසය නිසාම අප වෙත දුන් සියලු වැලිතලප කා දමා උන් මල්ලීටත් මටත් පිරිස හා එක්ව සිනාවට එක් වෙනු හැර කළ හැකි යමක් ඉතිරිව තිබුණේ නැත‍.

“මේ වැලිතලප කෑල්ලක් කීය ද?“

Oh...It’s one dollar!

මගේ පැණයට ඉංග්‍රීසි බසින් පිළිතුරු දුන් තරුණිය වෙත මම ඩොලරයක් දිගු කළෙමි. රුපියල්වලින් නම් එකසිය තිහක්!!

මුදලට ගිණිය නොහැකි වූ යමක් මා අතට පත් වූ බව මට හැඟිණි. අතීතය! අම්මා, ආච්චී, අම්මාගේ නැන්දා, අතින් අතට වැලි පිට්ටු විසි කර විරෝධය පෑ දෙවැනි බාප්පාගේ පුතු ඇතුළු සියල්ලන් හා බැඳුණු අතීත මතකයක් ඩොලරයකට මා අතට ලැබී තිබිණි.

අවුරුදු උළෙල නිසා මට නව මිතුරන් කිහිප දෙනෙකුම මුණ ගැසිණි. ලංකාවේ සිට මා ගැන සොයා බැලූ සිනමා කැමරාකරු සුමින්ද වීරසිංහයන්ගේ උදව්වෙන් හඳුනාගත් කණිෂ්ක මුලින්ම මා හමුවන්නට ආවේ අවුරුදු උ‍ළෙලට ය. ඒ මතු නොව සිංහල බ්ලොග් රචකයෙකු ද, සාහිත්‍යයට උනන්දු කිහිප දෙනෙකු ද මහ සෙනඟ අතර හිඳ මුණ ගැසුණේ අහම්බයෙන් මෙනි. එහෙත් සියල්ල හමාරව කණිෂ්කගේ රියෙහි නැඟ පිටව යද්දී ද සිහියට ආවේ අතීතය යි. ඩොලරයේ වැලිතලපය එය මා වෙත තිළිණ කර තිබිණ.

අවුරුදු උළෙලෙන් සමුගෙන යළි සිඩ්නි නුවර ධාවනකාරී දිවියට පිටව යන සියල්ලෝම මේ බිම වෙතින් එවන් මතක මිළට ගෙන හෝ සිහි කැඳවාගෙන යනු ඇත.

3 comments:

  1. මට අවුරුද්දට අම්මා මතක් වෙනවා අද මතක් වෙනවාටත් වඩා..අම්මත් එංගලන්තයේ අවුරුදු සමරනවලු ලංකාවේ අය එක්ක.මට මේ විස්තරේ කියවල මතක් උනේම ඒක ....... :(

    ReplyDelete
  2. ඇයි අවුරුදු කුමාරයා, කුමාරිය තේරුවේ නැද්ද? ප්‍රියන්ත වැඩියෙන් කතා කරලා තියෙන්නේ කෑම ගැනනේ. ලංකාවේ කෑම නොලැබෙන හන්දා මිස්වෙනවා වගේ. අවුරුදු කාලෙට ඔයවගේ කෑම විකිණෙන එක නම් සිරිතක්. ඔය මුදල් ඉතින් වෙන මොනවට හරි දානවා මිසක් විකුණන අයගේ ආදයමට නම් වැටෙන්නේ නැතුව ඇති.

    වැලිතලප කෑල්ලක් ඩොලරයක්....:D

    ReplyDelete
  3. කියෙව්ව අපුරුයි .

    හිතවතෙක්

    ReplyDelete