Wednesday, June 20, 2012

ගිනි මහත්තුරු


(2012 අප්‍රේල් මස 01 වැනිදා)

මසකට ආසන්න කාලයක් ගත වෙමින් පැවතුණ ද තවමත් සිඩ්නි නගරය හා ඔස්ට්‍රේලියාව මා හට ආගන්තුක ය. කාලගුණයේ කිසිදු වෙනසක් නැතත් රාජ්‍ය මට්ටමින් ඔස්ට්‍රේලියානුවෝ අද සරත් කාලය ආරම්භ කළහ. ඒ අනුව අප්‍රේල් පළමුවැනිදා ඇරඹුනේ දිවා කාලය රැක ගැනීම වෙනුවෙන් ඔරලෝසුව පැයක් පසුපසට ගනිමිනි. එම නිසා ඊයේ රාත්‍රියට මධ්‍යම රාත්‍රින් දෙකක් එළඹෙන්නට ඇත!

පසුගිය සතිය පුරාම සිරුරට වද දුන් ශාරීරික අපහසුතා අමතක කළ මම යළි වැඩ කිරීමට තීරණය කළෙමි. එහෙත් මනස කිසි විට එක්තැන් නොවේ. විනාඩි කිහිපයක් විෂයයට අදාල යමක් කියවාගෙන යන මාහට ෆේස්බුක් අඩවියේ සැරිසරා මිතුරකු හෝ මිතුරියක හමුවන්නට සිතේ. කිසිදු පදනමකින් තොර වුව ද ඒ හමුවීම් මනසට මහත් අස්වැසිල්ලකි. මා වෙනුවෙන් කාලය මිඩංගු කරමින් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට කෙනෙක් ලෝකයේ යම් අඩවියකින් හමුවීම මනසට මහත් ප්‍රබෝධයක් ගෙන එයි. මා වෙනුවෙන් ඔහු හෝ ඇය යමක් යතුරු ලියනය කරන සංඥාව පරිගණක තිරයේ සටහන් වත්ම ඒ කුමක්දැයි දැන ගන්නට වන නොඉවසුමක් සිතට නැගේ. සංවාදයට කවරකු හෝ නැතද මවිසින්ම එක් කළ ඡායාරූප එකතූන් අතර සරමින් හෝ මිතුරකුගේ ඡායාරූප ගොන්නක් නරඹමින් ගත කිරීම කදිම කටයුත්තකි. මා නොමැති ඉසව්වක සරමින් මා හඳුනන අයෙකු කළ කී දෑ දැකීම කුමන ආශ්චර්යයක් ද?

නිලංකාට දෙවන දරුවා ලැබී ඇති බවත්, රසාංගි නොලැබෙන ප්‍රේමයට වැළපෙද්දී සුමදිකා හා නයන වෙන්වන ලකුණු පෙන්වන බවත් ෆේස් බුක් ප්‍රවේශය හරහා දැන ගතිමි. මා සමග වැඩිපුර නොදොඩන අයෝමි නැමති ශ්‍රී පාලියේ ශිෂ්‍යාවක් කවි පොතක් පළ කරන්නට යන වගක් පෙනෙයි. මම වහාම ඇයට සුභ පැතීමි. එම සුභ පැතුම දැක ඇය උද්දාමයට පත් වනු ඇතැයි යන සිතුවිල්ල මා තුළ නැගේ. රවින්ද්‍රගේ දේශපාලනික සංවාද හා රජයට ආවඩන්නන්ට ඔහු දෙන හරබර පිළිතුරුත්, ඒ සංවාද අතරට පැන විමල් වීරවංශට හෝ බන්දුල ගුණවර්ධනට සාහසික හාස්‍ය වදන් හරහා පහර දී ඇති නන්නාඳුනන පුද්ගලයින් රැසකගේ රචනාත් අතර මම සැරිසරමි. ඒ සමග බන්දුල ගුණවර්ධනගේ රුපියල් 7500/- කතාව සිතට එයි. මම මගේ වියදම් සිතින් ගණන් බලමි.

ෆේස් බුක් සැරිසැරීම නිසියාකාරව කෙළවර කරන්නට මත්තෙන් තට්ටු නිවාසයේ ගිනි සඳහා වන අනතුරු සංඥාව නාද වන්නට විය. ඇනී දිව විත් කීවේ අප වහාම නිවාසයෙන් පිටට යා යුතු බවයි. මම ජපන් මිතුරා ශින්ද සමග ඇනී පසුපස දිව්වෙමි. පහළ වීදියට පය තබත්ම වේගයෙන් ආ ගිනි නිවන රථ දෙකක් සංකීර්ණය අසලින් නැවතුණු අතර ඉන් බිමට බට ගිනි භටයෝ නිවාසය තුළට දිවූ හ. කන්චුකා හා ලොහාන් සිංහලයට නැගූ ‘තට්ට ගායිකාව‍‘ මතකයට විත් මට ඉබේම සිනා පහළ විය. තට්ට ගායිකාව නාට්‍යයේ ලොකු ගිනි මහත්තයා මෙන්ම ලිප තුළ ඇවිලෙන පුංචි ගින්නක්වත් නැතිව ගිනි භටයෝ පිටව ගිය හ.

මේ අපේ නිවාස සංකීර්ණයයි. මෙහි විලාප නලා බහුලය!
සිඩ්නියේ පමණක් නොව ඕනෑම දියුණු නගරයකට යෑමට ඔබ සූදානම් වන්නේ නම් මෙවන් අවස්ථා බහුලව  නැගෙන බව සිහි තබා ගත යුතුම ය. ඔබ ලිප මත තබන උදුනේ ගින්දර තරමකින් හෝ ඉහළ ගිය විගස ස්වයංක්‍රීයව පණ ගැන්වෙන අනතුරු නළා ගින්නක අනතුර දන්වමින් මහත් විලාපයක් නගයි. සොයි සහ ක්‍රිස්ටල් අද දිවා ආහාර සකසද්දීත් මේ විලාපය අපේ නිවසින් නැගින. එහෙත් ගින්න පිළිබඳ හෝ විලාප නලාව පිළිබඳ ඔබ බිය විය යුතු නැත. ගිනි නලාවට හේතුව ලිපගින්න බව ඔබ දන්නා බැවිනි. කළ යුතු වන්නේ වහා දොර ජනෙල් විවර කොට විලාප නළාවේ පසෙක බොත්තම ඔබා නාදය නවතා දැමීමයි. සොයිලා දිවා ආහාර සකසද්දී නළා හඩ සමග ආ ජුන් සහ පැට්‍රික් කළේ ද මෙම ක්‍රියාවලිය ම ය. වෙනසකට වූයේ තෙල් තාච්චිය ද රැගෙන සොයි බැල්කනියට දිවීම පමණි. 

නලා නාද නොවුවද මුදල් යහමින් නොමැතිව සිඩ්නියේ (ඕනෑම විදේශයක, වියදම් අධික නගරයක) ජීවත්වන්නකුට දැනෙන්නේ කුසගින්නයි. ධනවාදී අර්ථ ක්‍රමය යහමින් ක්‍රියාවට නැගෙන මෙවන් තැනෙක ඔබේ වේදනාව කියවා බලා, කුසගින්න නිවා දැමීමට කිසිදු ගිනි නිවන්නෙක් නොපැමිණෙනු ඇත. තමතමන්ගේ ජීවිත දෙසට විවැරැති මනසින් යුතුව හැල්මේ යෙදෙන අපැහැදිලි ගමනක් මෙම වැසියන් උරුම කරගෙන හමාර ය.

ජීවිතය හා එහි අනාගතය පිළිබඳ කිසිදු විශ්වාසයක් ගොඩනගාගත නොහැකි, නමුත් තරමක මුදලක් යට කළ හැකි තරුණ ලාංකිකයෝ මෙන්ම උපාධිය හරහා සිය දක්ෂතාවය මත පුරවැසිභාවය ඉල්ලුම් කරන බුද්ධිමත්තු ද විටින් විට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙති. ලංකාවේ ආර්ථික ක්‍රමය හා බිඳවැටුණු දේශපාලන ක්‍රමවේද සමග යුද්ධ කරමින් සිටිනවාට වඩා පහසුවෙන් ‘යමක්‘ මෙහි කරගත හැකි වෙතැයි යන විශ්වාසය පැමිණෙන සියල්ලන්ගේම සිත් තුළ රැඳී පවතී. බලාපොරොත්තු ඉටු වුවද, නොවුවද කාලයාගේ ඇවෑමෙන් මෙහි ජීවන රටාව වැළඳ ගන්නා සියල්ලෝ නිශ්චිත ඉලක්කයටම නොගියමුත් තමන් ලද ‍‘යම්‘ දේ ගැන සිතා සතුටු වෙති. ආරාධනා කර තමන්ව නංවා ගන්නා දුම්රිය, නගිද්දී ආචාර සම්පන්න ලෙස පිළිගන්නා රියදුරකු සහිත බස්රිය, සියලු යස ඉසුරින් පිරි සාප්පු සංකීර්ණ, මනාව නැංවූ මංමාවත් හා උද්‍යාන ඇතුළු නව ලෝකයේ දේවලින් තමන්ට ළඟා කරගත හැකි දෙයින් සැනසී අතීත ලාංකික දිවියේ කටොළු මතක හා ඒ සසඳා බලති.

අපිළිවෙල ජීවන පැවැත්මකින් යුතු පුද්ගලයින් සහිත සමාජය හා අවම ආදායමින් යැපෙන්නට සිදුවන ලාංකික ජීවිතය හා සසඳද්දී ඕස්ට්‍රේලියානු දිවි පැවැත්ම තුළ තෘප්තිකර තැන් පෙන්වාදීම අපහසු කටයුත්තක් නොවේ. එහෙත් හදවතෙහි නොදන්නා තැනකින් නැඟී එන අපැහැදිලි සංවේදනාවක් මේ සියල්ල කෙළවර ඉතිරි වන බව මෙම ජීවිත ඇරඹි බොහෝ දෙනාගේ ප්‍රකාශවලින් හඳුනාගත හැක.

“දවසක් එකපාරටම අපි දෙන්නටම දැනෙන්න ගත්තා අපි තනිවෙලා කියල. අපිටම නොදැනි අපේ ඇස්වලින් කඳුළු ගලන්න ගත්තා. ගොඩක් වෙලා යනකම්ම අපි කතා නොකර කඳුළු ගලන්න ඉඩ ඇරියා“

මෙල්බර්න් නුවර කලක් පශ්චාත් උපාධිය හැදෑරූ මා මිතුරු ආචාර්යවරයෙකු සිය බිරිඳ හා තමන් මුහුණ දුන් අත්දැකීමක් වරක් මා සමග කී බව මට මතක ය.

එහෙත් මෙල්බර්න් අත්දැකීම් වේදනාවකින් තොරව මා සමග පැවසූ මිතුරන් ද නොවූයේ නොවේ.

“උඹ දන්නෙ නෑ. එහෙ ඔස්ට්‍රේලියන්කාරයගෙ ඇක්සන්ට් එක හරි වෙනස්. සුරුස් ගාලා කියල දානවා. මේ ලෝකෙ මිනිහෙක්ට බෑ අල්ලන්න. මම ඉතින් කොහොම හරි ගේමක් දීලා, ඒව අල්ලගෙන, වැඩෙත් කරගෙන, පොඩි ජොබකුත් ඇදලා, කෝස් එකත් කරලා ආවා“

මම පේරාදෙණියේ ඉගෙන ගන්නා කාලයේ, මෙල්බර්න් නුවර කරා ගොස් පැමිණි මිතුරෙක් ඉහත විස්තරය ගෙන ආ අයුරු මට තවම මතක ය. පාසැලින් සමුගත්ම විවාහ වූ ඔහු සිය තරුණ බිරිඳ ද සමග මෙල්බර්න් නුවරට ආවේ සිය මාපියන් සතු නිවසද උගසට තබමිනි. වසර කිහිපයකින් පෙරලා පැමිණි ඔහු සිය මෙල්බර්න් ජීවිතය පිළිබඳ නිතර විස්තර කළේ විශ්වවිද්‍යාල ආචාර්ය මිතුරා මෙන් නොව මහත් ආඩම්බරයෙනි. පාසැල් දිවියෙන් සමුගත්ම ඔහු ගිය ගමන අසන්නට මිතුරන් ඔහු පිරිවරා ඉඳීම එකල සුලභ දසුනක් විය.

එහෙත් අත්දැකීම් අඩු ලාබාල වියේදීම විවාපත්ව, මාපියන් සතු නිවසද උගසට තබමින් ගිය ඔහුගේ ගමනින් අත්වූ විශිෂ්ට ජයක් මා දුටුවේ නැත. ඔහුගේ මාපියන්ට නිවස අහිමි වූ අතර ඔහු යළි ලංකාවට ආවේ තනිව, බිරිඳ නැතිව ය.

6 comments:

  1. Dan oyaa mokadda meken dena aadarshe? Bandala Australiyaawata giyoth birinda nethuwa aapahu enna wenawa kiyana ekada? eekada oyaa thaniyama giye?

    ReplyDelete
  2. ඇනෝ , මේක බ්ලොග් එකක් මිසක් පත්තරයක් නෙවෙයි. ලියන කෙනා කැමති දෙයක් ලියන්න එයාට අයිතියක් තියෙනවා වගේම ආදර්ශවත් කතා ලිවීම නොලිවීම ඔහුගේ වැඩක්. ඔයාට මෙතන ගන්න දෙයක් නැත්තන් නෑවිදින් ඉන්න..

    ReplyDelete
  3. මේ කතාවේ තේරුම වෙන්න තියෙන දේ කොහේ හිටියත් වෙනවා කියන එකයි!

    ReplyDelete
  4. තාමත් තමන් නොදන්නා පරිසරයකට සෙමින් හුරුවෙන කෙනෙක්ගේ හිතුවිලි මේ කතාවෙන් දක්නට ලැබෙන්නේ. ඒ වගේම ඒ සම්බන්දව තමාගේ හිත තුල තියෙන අවිනිශ්චිතබවකුත් මින් පැහැදිලිවෙනවා.

    කාලයත් සමග ඔය හැමදේම වෙනස්වේවි. සමහරවිට ඔස්ට්‍රේලියාවේ පංචිවෙන තරමට.:)

    ReplyDelete
  5. අතරමන් වීම නම් අපි අපේ කියා ගන්නා උපන්දා සිටන් ජිවත් වූ මහගෙදර දී වුවද වෙන්න පුළුවන් . නන්නාදුනන රටවලට ගියහම අවදානම වැඩියි . තම තම නැණ පමණින් අවම ආශාවන්ගේ යුතුව ජිවත් වෙන්න පුළුවන් නම් ලෝකේ කොහෙත් එකයි . හැබැයි ඉතින් ගහමරාගෙන හරි තමන්ගේ මිනිස්සු අතර ඉන්න තිබුන නම් හොඳයි කියල මටත් නිතරම හිතෙනවා . අර කිව්වා වගේ එතකොට මෙහෙ ඉඳිද්දී ලැබෙන හොඳ දේවල් ගැන වැඩිපුර හිතනවා .

    ගිනි නලාව,,,,,අය්යෝ අපේ නම් ඕක ප්‍රසිද්ධියේ වදින්නේ නැහැ . හොදි මාළු ලිපේ තියල බ්ලොග් එකකට හෙම ගියොත් පුළුටු ගඳ කාමරේට එන්න කලින් සිකියුරිටි මලය ගෙදර බෙල් එක ගහල ඉවරයි . එයාලට zone එක පේනවලු . කීප වතාවක්ම ඕක වුනා . දැන් හරිම පරිස්සන් .

    ReplyDelete
  6. කොහොම කිව්වත් කවුරුත් බලන්නේ තමන්ගේ ජීවන යාත්‍රාව තමුන්ගේ සිහින දේශය වුන සංවර්ධිත රටකට පදවගෙන යන්න ඒ වෙනුවෙන් ඕනෙම කටුවක් කාලා සිහින රටට ගොඩබහින්න . එහේ සිටිසන්ශිප් එකක් ගන්න .දැට්ස් ද රියැලිටි :)

    අහල තියේද යූ එස් ඒ වල /යුරෝප් වල ෆයිනැන්ෂල් ක්‍රයිසිස් කියලා ලංකාවට හැරිල ආව උදවිය ? නෑ කිසි කෙනෙක් එහෙම එන්නේ නෑ

    අහල තියේද ඉන්දියාවට ගිහින් පෝස්ට් ග්‍රැජූවෙට් කරන්න ස්කොලර්ශිප් ඉල්ලලා අඬන ප්‍රොෆෙශනල්ස් ලා නෑ කිසි කෙනෙක් නෑ එහෙම නිකන් දුන්නත් ගන්නේ නෑ තමන්ගේ සිහින දේසෙට යනව මිසක් :) ඒ නිසා ඕවා තාවකාලික අන්සර්ටනිටිස් .නො වොරිස් :)

    ReplyDelete