Tuesday, June 5, 2012

හැංගිමුත්තං


(2012 මාර්තු 20 වැනිදා) 

රීජන්ට් වීදියේ නවාතැනේ විශාල කාමරයේ ලැගුම්ගෙන උන් ජුන් කොරියානුවෙකි. ඉතා ලගන්නා සුළු අවිහිංසක සිනාවක් මුවග රඳවා‍ගෙන සිටින ඔහු පරිගණක සජීවකරණය සිය ප්‍රධාන විෂයය ධාරාව ලෙස තෝරාගත් අයෙකි. එහෙත් ඔහු මෙහිදී ඒ විෂයය වෙත අවධානයක් යොමු කරන්නේ නැත. රැකියා සඳහා වන වීසා බලපතකින් මෙහි පැමිණ ඇති ජුන් සිඩ්නියේ කොරියානු හෝටලයක සේවය කරයි. සිය සේවා ස්ථානයට උදෑසනම පිටව යන ජුන් සවස් කාලය එළඹෙත්ම යළි නවාතැනට එයි. 

පරිගණක සජීවකරණය සිය ප්‍රධාන විෂයය ලෙස තෝරාගත්ත ද සජීවීකරණ චිත්‍රපට නැරඹීමෙහි වාර්තා තබන්නේ ජුන් නොව මගේ කාමර සගයා වන ජපන් ජාතික ෂින් ය. ජපාන සජීවකරණ චිත්‍රපට නොකඩවා නැරඹීම කරගෙන යන ෂින් සිය ඉංග්‍රීසි පාඨමාලාව සළකන්නේ චිත්‍රපට නැරඹීමට එල්ල වී ඇති, නොබිඳිය හැකි තර්ජනයක් වශයෙනි. ඉංග්‍රීසි පන්තිය නිම වී හැකි වේගයෙන් රීජන්ට් වීදියට දිව එන ඔහු කාමරයට ගොඩ වැදී අපතේ ගිය කාලය අල්ලා ගැනීමට මෙන් වහවහා පරිගණකය ක්‍රියාත්මක කරයි. එතැන් සිට අඩනින්දට වදින තුරුම සජීවීකෘත චිත්‍රපටය හා ඔහු අතර වන ගණුදෙණුව බිඳ දමන්නට බලය හිමිවන්නේ තිදෙනෙකුට පමණි. ඒනම් පෙම්වතිය, රියැලිටි වැඩ සටහන් සහ කුසගින්න යන බලවේගයන්ට ය. සජීවීකෘත චිත්‍රපට නරඹන අතරතුර යම් කාල පරාසවලදී සිය පරිගණක තිරය හරහා ජපාන රියැලිටි වැඩසටහන්ද නරඹන ෂින්, අතරතුර විශාල බත් දීසියකට හෝ චොකලට් තැවරෑ පාන් පෙති කිහිපයකට වගකියා, පෙම්වතිය සමග සල්ලාපය අරඹයි. ගෝල්ඩ්කෝස්ට් නගරයේ වෙසෙන සිය පෙම්වතිය සඳහා තිරයේ අඩක් වෙන්කරමින් ම, යළි අහිමි වන කාලය ගැන බිය වන ඔහු, ඊළඟ සජීවීකෘත චිත්‍රපටය ධාවනය කරවයි. නිරතුරුව ක්‍රියාත්මකව පවතින ඇපල් පරිගණකය, ඇඳ මතම රැඳී ඉඳිමින් ෂින්ගේ කෙටි අඩනිදි විවේක අතරතුර ද සිනමා පට ඔහු වෙත ලබා දී, සිය ජීවිත කාලය නිමවීමට පෙර හැකි පමණ සජීවීකෘත චිත්‍රපට නරඹන්නට ඔහු තුළ වන පරම අධිෂ්ඨානයට සහාය දක්වයි. 

ජුන්ගේ කාමරයේ ම සිටින මර්සෙලෝ නැමති බ්‍රසීලකාරයා චතුර ලෙස ඉංග්‍රීසි කථා කළ හැකි ඉංජිනේරුවකු වන අතර ප්‍රංශ ජාතික ෆ්‍රන්සුවා කතා කරන ඉංග්‍රීසි ස්වල්පයත් කොයි ලෙසකින් හෝ ප්‍රංශ ලෙසම අපිට ඇසීමට සැලැස්වීමෙහි දක්ෂයෙකි. මගේ කාමරයේ සිටින පැට්‍රික්ට වඩා පෙනුමින් පූර්ණ ලෙස යුරෝපීය බවක් ගෙන ආ ඔහු, අඩි හය හමාරක් පමණ උසැති සෙල්ලක්කාරයෙකි. අමතක වූ කිසිවක් සෙවීම ඔහුගේ දිනපතා කාල සටහනෙහි අනිවාර්ය අංගයකි. නවාතැනේ යතුර, ජංගම දුරකථනය, මුදල් පසුම්බිය, හෙඩ් ෆෝන් යුගලය වැනි කිසියම් හෝ භාණ්ඩයක් සොයමින් නවාතැන කණපිට පෙරළන ඔහු දිනයකට දෙකකට පසු මිතුරකුගේ නිවසේ තිබී හමුවූ භාණ්ඩය රැගෙන නවාතැනට එයි. ඔහු වෙනුවෙන් ම නැතිවීමට බැඳී සිටින්නාක් මෙන් භාණ්ඩයෝ ද ෆ්‍රන්සුවාට ඔට්ටු දමා  දින කිහිපයකින් යළි අතුරුදන් වෙති.

ළමා අවදියේ අපේ අතුරුදන්වීම් හෙවත් හැංගිමුත්තම් ඇරඹුණේ චතුර මල්ලී හා ශෂික මල්ලී කටුගස්තොට මහගෙදර ආ පසු ය. තාත්තාගේ වැඩිමහළු සහෝදරයා වූ සෝමේ බාප්පාගේ පුතුන් දෙදෙනා වූ චතුර හා ශෂික පාසැල් නිවාඩු සමයන්හි දිනයකට දෙකකට මහගෙදර ආවේ බාප්පා හා පුංචි අම්මා ද සමග ය. එවකට විදුලිය ලැබී නොතිබුණු මහගෙදර අපේ හැංගිමුත්තම් කෙළියට සූදානම් කෙරෙන්නේ රාත්‍රිය එළඹෙත් ම ය. රාත්‍රි අහර සකසන ආච්චිලාට සහ අම්මලාට කුස්සියේ ආලෝකය පවත්වාගෙන යාමට අවසර දෙන අපි නිවසේ සෙසු සියළු ලාම්පු නිවා දමා අඳුර නිපදවන්නෙමු. අඳුරේ ගිලෙන නිවස තුළ ඇති සියළු භාණ්ඩ හා එහි පිහිටීම මැනගන්නට දිවා කල ඒ දැක ඇති මතකයත්, කුස්සි ලාම්පුවෙන් හෝ සඳ කිරණෙන් පෙරී එන සියුම් ආලෝකයත් හොඳින් ප්‍රමාණවත් ය. සෙවීම භාරගන්නා තැනැත්තා කුස්සියේ තබා සෙස්සන් අඳුරේ සැඟව යන අතර සිය ආරක්ෂිත සැඟවුම්පළ තෝරාගෙන එහි සැඟවුණු පසු හූවකින් ඒ බව දන්වා සිටියි. සියල්ලන්ගේම හූ හඬ ලැබී අවසන් වූ පසු සොයන්නා කාර්යය අරඹයි. ඇඳ, පුටු යට, අල්මාරි හෝ පෙට්ටගම් තුළ හෝ මත, අකුලා ඇති පැදුරු අතරෙහි හිඳ සොයාගැනෙන සැඟවුණු පිරිස අතරින් මුලින්ම හසුවූ තැනැත්තාට ඊළඟ සොයන්නා වීමේ වරම හිමි‍ ‍‍වේ. 

පිරිසේ බාලයා වූ ශෂික මල්ලී නිරතුරුව සොයන්නා වීමේ වරම් ලැබූයේ අප තරම් නිර්මාණශීලී ලෙස සැඟවෙන්නට ඔහුට අවබෝධයක් නොතිබූ නිසා ය. ඇතැම් විට භාණ්ඩ ලෙසම පෙනෙන්නට වෙස් වළාගත් අපි තවත් විටෙක නින්දට ගිය චූටි බාප්පා හෝ අයියා ලෙස පෙනී සිටිමින් සොයන්නා නොමග යැව්වෙමු. සැඟවීමට සුදුසු ස්ථානයක් නොමැති වූ කල අප කළේ නීති උල්ලංඝණය කිරීමයි. කිසි විටෙක නිවසින් පිටට යා නොහැකි බවට අප විසින්ම පනවා තිබූ නීතිය රහසින් බිඳ දමන කෙනෙක්, සොයන්නා සොයා අහවර කළ ස්ථානයකට පසුව ඔහුට හොරා ගොස් සැඟවීම සඳහා නිවසින් පිටතට පනී.

හැංගිමුත්තමේ අපේ මට්ටම දැක එය විමසා බලන චූටි බාප්පා ඔවුන් කුඩා අවදියේ සිදු කළ හැංගිමුත්තම් කෙළි අපට විස්තර කරයි. 

“ඒ දවස්වල අපි හැංගෙන්න මේ මුළු පළාතම පාවිච්චි කළා. එකපාරක් අපේ එකෙක් හැංගිලා තිබ්බෙ සීතා නැන්දලාගේ ගෙදර දුම් මැස්සෙ!“

සීතා නැන්දා ලෙස ඔහු හඳුන්වන අපගේ ඥාති ආත්තම්මාගේ පෙර කී නිවස අපේ මහගෙදර සිට තරමක දුරින් පිහිටියකි. ඉඩම් විකිණී ගොස්, වැටවල් බැඳෙන්නට පෙර එකම යායක්ව  තිබූ ගම් පියසේ බාප්පලාගේ කුඩා අවදිය මහත් කෙළිදෙලෙන් ගෙවී ඇත. 

හැංගිමුත්තම් කෙළිය විනෝදයට පමණක් සිදු කරන්නක් නොවන බව මට වැටහෙන්නට ගත්තේ පාසැලේ අටවැන්න පසු කරද්දී ය. රට පුරා හිස ඔසවමින් තිබූ භීෂණ යුගය නිසාවෙන් නිවසේ තිබූ ලෙනින් හා මාක්ස් කෘති සියල්ල ට්‍රන්ක් පෙට්ටියක බහා නිවස පිටුපස වළ දමන්නට චූටි බාප්පා කටයුතු කළේ ය. ආරක්ෂාව සඳහා පොලිතීන් කවරවල දමා ට්‍රන්ක් පෙට්ටියේ ඇසිරූ පොත් එකතුව ගෙය පිටුපස වළ තුළ සැඟ වී යනු මම මහත් වේදනාවෙන් බලා සිටියෙමි. ඉදිරිපස කාමරයේ පැය ගණන් නිහඬව හිඳිමින් කියවීමෙහි යෙදුණු බාප්පා ඥාණ සම්භාරයකින් හෙබි නැණවතෙක් බව මට ඒත්තු ගැන්වූයේ මෙම පොත් එකතුවයි. යළි ඒ පොත් ගොඩට ගැනීමට ඉඩ නොලැබෙනු ඇති බවත්, කිසිවකු නොසිතූ අවස්ථාවක මේ පොත් කියවූ බවට චෝදනා කරමින් බාප්පා පොලිස් අත්අඩංගුවට පත් වනු ඇති බවටත් මට සිතෙන්නට විය.
   
බාප්පා පොලිස් අත්අඩංගුවට පත් නොවූ නමුත් අපේ නිවස සැඟව සිටීම සඳහා තෝරාගත් පහළ ගෙදර සීයා ඇතුළු පිරිස ඉන් දින කිහිපයකට පසු අපේ නිවසට ආහ. තාත්තිගේ ලොකු බාප්පා වන පහළ ගෙදර සීයා (අප ඔහු ඇමතුවේ ලොකු සීයා කියා ය.) පොලිස් දෙපාර්තමේන්තුවේ සිට විශ්‍රාම ලැබූවෙකි. සුදත්, සමන්, නාමල් හා අමල් ලෙස නම් ලද බාප්පලා සිවු දෙනෙක් ඒ පවුලේ වූ අතර ඉන් වැඩිමහල්ලන් වූ සුදත්, සමන් (මතකය නිවැරදි නම් නාමල්) යන බාප්පලා ද ඒ දිනවල සේවය කළේ පොලිසියේ ය. භීෂණ යුගයේ තර්ජන ඉහළ යත්ම බාප්පලාට පොලිසියෙන් ඉවත්ව යන ලෙස දන්වා නිර්ණාමික ලිපි නිවෙස් දොරින් ගෙට රිංගා තිබූ අතර එසේ නොකලහොත් සියල්ලන්ට ම දඬුවම් විඳීමට සිදුවනු ඇති බව ඒවායේ ලියා තිබූ බව පසුව මට දැනගන්නට ලැබිණි. රාත්‍රියේ හැංගිමුත්තමට අප නිවසේ පහන් නිවූ ලෙස පහන් ආලෝක නිවී යත්ම පහළ සීයා, ආච්චි හා අමල් බාප්පා (ගෙදර බල්ලාද කැටිව) අප නිවසට ඇතුළු වෙති. එකිනෙකාගේ මුහුණු දෙස බලමින් මුවින් නොබැන ගෙවෙන රාත්‍රී කාලයන් අතරතුර පාළුව මකා දමමින් ඈතින් වෙඩි හඬක් හෝ කිහිපයක් නැඟේ. 
මේ ගං දිය පත්ලේ සැඟව....

රාත්‍රි කාලය නිමවී සීයලා නිවසින් පිටව ගිය පසු රාත්‍රි වෙඩි හඬ පිළිබඳ ආරංචි මාර්ග නිවසට එයි. සෙමින් නිවසින් බැස ගඟ දෙසට ඇදෙන චූටි බාප්පා යළි පැමිණ විස්තර කියන තෙක් හිඳින්නට අසමත් වන මම මිනිත්තු කිහිපයකින් නිවසින් නික්මෙන්නේ සැඟවුණු අභිරහසක් එළිදරව් කර ගන්නට යන පරීක්ෂකයෙකු ලෙස ය. එහෙත් මහවැලි ගඟ දෙසට වැටුණු මාර්ගය අතරමග දී නිවස දෙසට එන චූටි බාප්පා මට යළි හමු වේ.

“යන්නෙ නෑ ඒ පැත්තට.... යනව ගෙදර!“ 

ඔහුගේ විධානයට කීකරු වන මම ආපසු හැරෙමි. කලක් නිවසින් අතුරුදන්ව සිටි කිසියම් තරුණයෙකුගේ මළ සිරුරක්, හිස පසා කරගෙන ගිය වෙඩි පහරක්ද සහිතව නාන තොට අසළ බෝක්කුව පහළ වන බව ආච්චි සහ නැන්දාගේ කතා බහින් මම පැහැදිලි කර ගනිමි. කිසිවිට බෝක්කුව අසළ මළ සිරුරක් දෙනෙතින් දකින්නට ඉඩ දී අප කම්පනයට පත්වීම චූටි බාප්පාගේ සෙනෙහස විසින් වළක්වා දැමූවද ගඟ දියේ වන මළ සිරුරු මනස තුළ මැවීම ඉන් නතර වූයේ නැත. 

කුඩා කළ බාප්පලා, අයියලා සහ පසු කලෙක සංජය හෝ සාගර වැනි මිතුරකු සමග දිය කෙළි කළ මහවැලිය, සඟවාගත් මළ සිරුරු සහිත අභිරහස් ගංගාවක් ලෙස දැනෙන්නට ගත් නිසාදෝ භීෂණ යුගය නිමව ගිය පසු එහි හමුවූයේ සීමිත පිරිසකි. වැලි සහිත බිම පෑගෙත්දී පයට දැනෙන සනීපයත්, නිල් පැහැ ජල කඳ සිරුර වැළඳ ගනිද්දී දැනෙන ආහ්ලාදයත් නදිය ක්‍රමිකව ජරාජීර්ණව, අපිරිසිදු වෙත්ම අහිමිව ගියේ ය. මා සිඩ්නියට එන අවදිය වන විට ගඟ දියෙහි කෙළි පාන්නෙකු තබා ගං තොටක හිඳ දිය නාන්නෙකු වුව දක්නට සිටියේ නැත. එහෙත්, තවමත් හූ හඬක් නොදී මේ ගං දිය පත්ලේ සැඟව සිටින කවුරුන් හෝ වෙතැයි යන හැඟීමක් මා තුළ ඉතිරිව ඇත.

3 comments:

  1. //ප්‍රංශ ජාතික ෆ්‍රන්සුවා කතා කරන ඉංග්‍රීසි ස්වල්පයත් කොයි ලෙසකින් හෝ ප්‍රංශ ලෙසම අපිට ඇසීමට සැලැස්වීමෙහි දක්ෂයෙකි.//
    ඒත් ප්‍රංශ උරුවට ඉංග්‍රීසි කතා කරද්දී හරිම ලස්සනයි නේද? :)

    ReplyDelete
  2. ගහට කොලට ගඟ දොළට කතා බැහැ!

    (අමරදේවගේ සින්දුවකින්)

    ReplyDelete
  3. ජාත්‍යන්තර යාලුවොත් එක්ක ඉද්දී හම්බෙන අත්දැකීම් :D

    ReplyDelete