Tuesday, May 22, 2012

“මගේ රත්තරන් පුතාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහි‍‍‍ටයි”


(2012 මාර්තු මස 14 වැනිදා)

මගේ කාමර සගයින් දෙදෙනාගෙන් ප්‍රංශ ජාතිකයා පැට්‍රික් නමැත්තෙකි. කිසිදු ප්‍රංශ පෙනුමක් නැති ඔහු දුටුමතින් මා විශ්වාස කළේ ඔහු ඉන්දියානුවෙක් විය හැකි බවයි. කඩවසම් ඉන්දීය නළුවෙකුගේ පෙනුමක් පැට්‍රික් හමුවේ දෘශ්‍යමාන විය. 

“අහන්න දෙයක් නෑ. මනුස්සය ප්‍රංශ කිව්වට ඉපදිල ඇත්තෙ ඉන්දියාවෙ“ මගේ අදහස අනුමත කරමින් ජයන්ත අංකල්ද කීවේ මුලින් නවාතැන බලා යළි ඇල්ගනන් වීදියට රථය පදවමිනි. පැමිණ දින කිහිපයකින් පැට්‍රික් මගේ අදහස සනාථ කළේ ය. 

“මම ඉපදිලා තියෙන්නේ රියුනියන් කියන දූපතේ. ඒක තියෙන්නෙ මැඩගස්කර්වලට ළඟින්. මගේ ඇත්ත අම්ම තාත්ත දෙන්න ඉන්නෙ එහෙ. ඒක ගොඩක් දුරට ඉන්දියන් පෙනුම තියෙන මිනිස්සු ඉන්න, ඉන්දියන් සංස්කෘතියක් තියෙන දූපතක්“

ඉංග්‍රීසි වචන සොයමින් පැට්‍රික් පැහැදිලි කරයි. ප්‍රංශ පවුලක් විසින් දරුකමට සාදාගැනීමට රැගෙන ගොස් ඇති ඔහු සිය වැදූ මව හා පියාට වඩා දැඩිව සැදූ පවුලට ආදරය කරන්නෙකි.

“මේ තමයි මගේ පවුල. මේ මිනිස්සු මට හරිම ආදරෙයි. නොදන්න කාලෙම මම මෙහෙම තැනකට, මෙහෙම රටකට ආවෙ මම වාසනාවන්ත හින්ද.“

සැබෑ දෙමාපියන් හමුවට යාම පිළිබඳ මා විමසූ පැනයට ඔහු දුන්නේ එවන් පිළිතුරකි. 

“මම 2009දි එක පාරක් ගියා රියුනියන් වලට. මගේ තාත්ත මැරිල. අම්මා විතරයි මුණ ගැහුනෙ. එයා හරියට ඇඬුව. එයා හිතල නෑ කවදාවත් ආයෙම මාව දකින්න ලැබෙයි කියල“

ක්‍රමිකව හැඟීම්බර වන පැට්‍රික් සෙමින් මුමුණයි. සැබෑ ආත්මීය හැඟීම් සන්නිවේදනය කිරීමට අපේ භාෂා ඥාණය පොහොසත් නැත. රැකියා බලපතක් සහිත වීසාපතකින් මෙරටට පැමිණ ඇති ඔහු ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීම සඳහා භාෂා පාසැලකට යයි. බසකට පෙරළිය නොහැකි ඔහුගේ හැඟීම් දෙනෙත් හරහා කියවා ගැනීමට මම උත්සාහ කරමි. එහි පතුලත සැඟවුණු වේදනාවක සේයාවක් ලෙස මා කියවා ගන්නේ අම්මාගෙන් දුරස් වීමේ මගේ ආත්මීය වේදනාවම ද? 

නිවසේ විනෝදකාමියා - පැට්‍රික්
නිරතුරුව නිවහන විනෝදකාමී ස්ථානයක් කරන්නට සමත් පැට්‍රික්, අහම්බෙන් ප්‍රංශ යුවළක් ඔහු දරුකමට තෝරා ගැනීම වාසනාවක් ලෙස සලකන්නෙකි. එහෙත් සැබෑ ලෙසම මෙවන් සිදුවීමක් හමුවේ කෙළවර නොවන, අප්‍රකාශිත වේදනාවක් ඉතිරි වන බව මට සිතෙයි. 

“ආයෙ කවදා හරි මම එහෙ යන්නෙ මගේ හැබෑ මුල් දකින්න ඕන කියල මගෙ දරුවෙක් ඉල්ලුවොත් විතරයි“ 

සංවේදී වදන් පෙළකින් ඔහු සංවාදය කෙළවර කරයි. රියුනියන් දේශයේ සිය නිවසට වී, හදිසියේ පැමිණ තමන් හඬවා ගිය ආදරණීය පුතණුවන් යළි එනතුරු මග බලා ඉන්නා මවක් මට මැවෙන්නට ගනියි. ඇය අපේ අම්මාට බෙහෙවින් සමාන ය. 

මමත්, අයියාත්, මල්ලීත් පස්වන විය තෙක් සිය උණුසුමෙහි සාදාගත් අපේ අම්මාට ඉන් අනතුරුව ළදරු පාසැල් අධ්‍යාපනය සඳහා අප මහගෙදරට එවන්නට සිදුව ඇත. මාඋස්සාව, රාක්ෂාව, වුඩ්සයිඩ් හා හාතලේ රාජ්‍ය තේ වතු යායන්හි ලිපිකරුවකු ලෙස සේවය කළ තාත්තී එම සේවා ස්ථාන හරහා ලැබෙන නිල නිවාස වල නතර වද්දීම අම්මාගෙන් අපත්, අපෙන් අම්මාත් වෙන් කිරීමේ පිඹුරුපත් සැකසී තිබිණි. තාත්තීගේ මෑණියන් වූ ආච්චී සහ නැගණිය වූ නැන්දා සමග මහගෙදර වාසය අම්මාගෙන් වෙන්වීමේ වේදනාව අවම කළ පරිසරයකින් යුක්ත විය. නැන්දා සහ ආච්චීට අමතරව බාප්පලාගේ ඇසුරත්, අසල්වැසි නෑසියන්ගේ සෙවිල්ලත් අප තිදෙනාගේ පාසැල් සමය තෘප්තිකර කාල සමයක් බවට පත් කළේ ය. 

එහෙත් පාසැල් නිවාඩු සමය කෙළවර අපෙන් සමුගන්නා අම්මා තනිව වතු නිල නිවසේ කෙසේ කල් අරින්නට ඇත්දැයි මම නොදනිමි. කාර්යාල සේවයට උදෑසන නිවසින් සමුගන්නා තාත්තී යළි නිවසට එන්නේ දිවා ආහාරයට හෝ සවස සේවය නිමා කිරීමෙන් අනතුරුව ය. සිය සේවය වෙනුවන් දැඩි කැපවීමක් දැක්වූ ඔහු ඇතැම් වැඩ අධික දිනවල කාර්යාල ලේඛණ හා පොත් පත් නිවසටද රැගෙන එයි.  මිතුරිය ලීලාට ලිපි ලිවීම, කවි පබැඳීම, මැහුම් හා ගෙත්තම් කිරීම, ගුවන් විදුලියට සවන් දීම ආදිය හරහා අප තිදෙනා අසළ නොමැති වේදනාව කොතරම් දුරට මනසින් මකාගත්තේදැයි ඇය විමසන්නට කාලයක් මාවෙත ලැබී නැත. තාත්තීගේ විශ්‍රාමයාමත් සමග මහගෙදරට පැමිණ නොබෝ කලකින්ම ඇය රෝගතුර වූවා ය. 

රීජන්ට් වීදියට පැමිණි නොබෝ දිනකින්ම සොයුරු හැඟීමකින් සමීප වූ පැට්‍රික්ගේ සැබෑ අම්මා, මහගෙදර සිට ස්කයිප් හරහා මා අමතන අම්මා ම විය නොහැකි ද? පුතණුවන් දුරස්වීමේ වේදනාව දරාගත නොහී අම්මාගේ නෙතින් ගලන කඳුළු දුටු පැට්‍රික් මෙන් අපේ අම්මා හඬනු මා දැක නැත. අප ඉදිරියේ කඳුළු නොසැලූ ඇය වසර විසි තිස් ගණනක වේදනාව රෝගයක් ලෙස පිට කළා ය. 

 “මගේ රත්තරන් පුතාට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහි‍‍‍ටයි” 

සිය රෝගය උත්සන්න මොහොතක වුව අම්මාගේ මුවින් නිතැතින් පිටවන මෙම වදන් පෙළ තනිව වතු නිල නිවසේ කල් ගෙවූ යුගයේ අපමණ වතාවක් මුමුණන්නට ඇත. අහම්බ මොහොතක සිය දෙනෙත් අභියස ජීවමාන වී යළි නොපෙනී ගිය කඩවසම් පුතු සිහිකර කඳුළු පිරි මුවින් පැට්‍රික්ගේ සැබෑ මවද ඔවැනිම පැතුමක් මුමුණනු ඇත.

18 comments:

  1. මේ සටහනේ අවසානය මගේ හිතේ කොතැනදැයි නොතේරෙන තැනක් වේදනාවට පත් කරන්නේ ඇයි??
    තාමත් හේතුව හොයනව
    එක දෙයක් තේරෙනව...ඒ පැට්‍රික්ගෙ ඇත්ත අම්මගෙ දුක අපි කාගෙත් අම්මලගෙ දුකමයි කියල

    ReplyDelete
  2. ඔයා කොච්චර ලස්සනට ලිව්වත් තාත්තාට "තාත්තී" කියල ලිවම ඔක්කොම අවුල්. අම්මට අම්ම කියා තාත්තාට අර විදියට අමතන්නේ ඇයි? ලියවිල්ල වෙනුවෙන් වත් ඔය විදිය වෙනස් කරන්න. පැට්‍රික්ට මම Bonjour! Enchanté! කිව්වා කියන්න.

    දරුවො අනුන්ට හදාගන්ට දෙන අය ගැන කතා කරන්ට කැමති නැහැ. එය මගේ රාජකාරිය නොවෙයි.

    ඔයාට කොමෙන්ට් එකක් ලියන අයට උත්තරයක් බඳින්ට.

    ReplyDelete
    Replies
    1. මගේ පියාට 'අප්පච්චි' කියන එකට වඩා ආදරණීය වචනයක් මට වෙන කොහේවත් හොයාගන්ට බෑ. ප්‍රියන්තගේ 'තාත්තී'ත් ඒ වගේ වෙන්ට ඇති.:)

      Delete
    2. මම හිතුවේ ඔහු ලියන රටාවට වඩාත් ගැලපෙන්නේ අප්පච්චි හෝ පියා කියලා තිබුනා නම් බවයි. අම්මත් ලෙඩිං වැටිලා නිසා මම ලියපු එකට තවත් දුක වැඩි උනාද මංදා.

      කොමෙන්ටුවකට උත්තර බඳින්ට වෙලාවක් නැතිව ඇති. ඉගෙනගන්ට නේ ඇවිත් ඉන්නෙ. ලස්සනට ලියනවා කවදා හරි පොතක් ගහන්ට පුලුවන් වේවි.

      මගෙ අක්කගෙ මුණුපුරාත් ළමා රෝහලේ අක්ක එක්ක අද දවසේ. ඒ නිසා මවු උණුසුම දෙන "හදාපු" අම්මලාටත් සමහර වෙලාවට අපිට වගේම "දරුවන්ගෙ දුක" දැනෙන බව නම් කිව යුතුයි

      Delete
    3. ඊ මේල් කවියාMay 23, 2012 at 3:22 PM

      අනුන්ගේ වේදනාවෙන් බයිස්කෝප් බලන්නද ඕනෙ? මේක ඇත්ත කතාවක් මිස බයිස්කෝප් එකක් නොවන නිසා තාත්ති තාත්තා කරල ෂෝක් කරන්න කියන එක සාධාරණ නෑනෙ.

      Delete
    4. මේක ඇත්ත කතාවක් කියල ප්‍රියන්ත කියල තියෙනවනෙ. ඔයා මොකද කලබල වෙන්නෙ ප්‍රියන්ත වෙනුවට උත්තර බඳින්න?

      Delete
  3. සංවේදී කතාවක්.
    මටත් ලියන්න ආසයි මේ වගේ බ්ලොග් එකක්!

    ReplyDelete
  4. ඊමේල් කවිකාරි වෙත:ඔබතුමිය උත්තර ලියන්න කිව්ව නිසයි ලියන්නෙ. මගේ ලියවිලිවල කමෙන්ට්ස් වලට උත්තර ලියන්න මගෙ අදහසක් නැහැ. මම මේ ලියන්නෙ මගේ ජීවිත අත්දැකීම්.මටම අනන්‍ය වුණු දේවලින් සාහිත්‍යමය වටිනාකමක් එන්න පුළුවන් කියල හිතෙන ඒව මම දාන්නෙ. (මම අඩවියෙ පැත්තක කියනව මේක ස්ව-චරිතාපදනයක් කියල) ඉතින් ඔබතුමියට තාත්තෙක් උන්න වගේම මට උන්නෙ තාත්ති කෙනෙක්. මගේ පිය සෙනෙහස හා බැඳීම් ඔය ඇලපිල්ලෙන් වෙනස් වෙලා හරි කෙරිල හරි නැහැ. අදටත් මට එයා තාත්ති!! මම තාත්තා, තාත්ති, පප්පා, ඩැඩී, අප්පච්චි කියල කියන ඕනැම කෙනෙකුට එහෙමම කියන්න ඉඩ අරිනව. පියෙක් ගැන තියෙන ආදරය තියෙන්නෙ ඇලපිලි පාපිලිවල නෙවෙයි.

    ReplyDelete
  5. දයාසේන ගුණසිංහ මහත්මයගෙ කවියක් තියනව ඔය විදිහට හදාගන්ට දීල මුහුදෙන් එතෙර ජීවත්වන දැරියක් ගැන ලියපු....මට මතක පද දෙක තුනයි..:(

    '' මතුයම් දිනෙක සිතියම් පොත බලන විට,
    කඳුලක හැඩය මහ සයුරේ දකීවිද? ''

    ReplyDelete
  6. මට හිතෙන්නේ අපි ආදරේ කරන අයගෙන් වෙන්වුනාම තමා දුක වැඩියෙන් දැන්නෙනේ කියන එක. ලඟ ඉන්නකල් ඕනෑම දේක සැබෑ වටිනාකම අපට දැනෙනේ නෑ. ඒ වගේම වැදු මවක වගේම හැදු මවකගේ හිත තුල ඇතිවන ආදරය සහ කැපවීම මම දැකලා තියනවා.

    මවකගේ ආදරය මිහිපිට කිසිම දෙයකට සමාන කරන්ට බෑ. මේ පෝස්ට් එක කියෙව්වාම අපි හැමෝගෙම හිත්වලට දුකක් දැන්නෙනේ ඒක නිසයි.

    අර කමෙන්ට්ස්ව්ලට පිලිතුරු නොදාන එක ගැන නම් එච්චර සතුටක් නෑ. ඒත් අයිතිකාරයා එහෙම කියනවා නම් අපි මොනවා කරන්ටද නේද? :)

    ReplyDelete
  7. වෙනද වගෙම හොද ලිපියක්. ඔබගෙ මවට ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි.

    ReplyDelete
  8. ප්‍රියන්ත කියන්නේ රිසර්ච් එකක් කරලා තීසිස් එකක් ලියන්න කැපවෙලා ඉන්න කෙනෙක්. කමෙන්ට්ස්වලට උත්තර දාන්න එයැයිට වෙලාව නැතුව ඇති.

    මට නං ඒකේ ප්‍රශ්ණයක් පේන්නේ නෑ.

    හැබැයි උත්තර දැම්මොත් නං කමලා ළමා සමාජයක් ඇතිකරගන්න හැකි වේවි.

    ReplyDelete
    Replies
    1. කමලා ළමා සමාජයක්???

      Delete
    2. ඊ මේල් කවියාMay 23, 2012 at 3:24 PM

      ඔව්, ඔය කතන්දරකාරයා හදං ඉන්න ළමා සමාජෙ වගේ එකක්

      Delete
  9. බොහොම සැරට වැදුනු පෝස්ට් එකක්..වචන අස්සෙ රිංගන්නෙ නැතුව පෝස්ට් එක කියෙව්වනං ඒ වේදනාව දැනෙනව හොඳටම...

    ReplyDelete
    Replies
    1. අද බහුතරයක් දරුවොත්, දෙමව්පියොත් ඉන්නෙ ඔය බෝට්ටුවෙම තමා. ආදරණීය දරුවන්ටත් ආදරණීය දෙමව්පියන්ටත් දෙගොල්ලන්ටම දැනෙන දෙයක් මෙය.

      Delete
  10. aththatama monawada kiyanna one kiyala hithenawa.kohoma unath amma thaththa nethi dawasaka therunata weda nene.inna kale hodata salakanna.nethi unama loketa penna badagena keegahuwata thanage hardaya shakshiyata boru karanna bene neda.ada hawasatawath gedara gihin tikak hodin katha karamu.neththan call ekak hari dunnath kamak ne.

    ReplyDelete