Sunday, April 24, 2016

බටහිර දෙසට පළමු වරට...!

(2012 ජූනි)

දුම්රිය ස්ට්‍රැත්ෆීල්ඩ් දුම්රියපළ පසු කරමින් තිබිණි.

සිඩ්නි චෙස් ඇකඩමියේ කටයුතු පිණිස බටහිර දෙසට ඇදෙන දුම්රියක නැගී ආ කාලයේ මා පැමිණ තිබුණේ බර්වුඩ් දුම්රියපොළ වෙත පමණි. ස්ට්‍රැත්ෆීල්ඩ් යනු බර්වුඩයට පසු හමුවන දුම්රියපොළ ය. එය පොල්ගහවෙල නැතිනම් මහව හන්දිය දුම්රියපොළ සිහි කළේ එක් ඉලක්කයක් ඔස්සේ ඇදී ආ දුම්රිය මග දෙපසකට බෙදා හරිමින් ගමනාන්තයන් දෙකක් වෙත දුම්රිය යොමු කළ හෙයිනි. බටහිර දෙසට විහිදුණු මාර්ගය පැරමටා සහ බ්ලැක්ටවුන් පසු කරමින් පෙන්රිත් හරහා බ්ලූ මවුන්ටන් කදු ශිඛර දෙසට හෝ රිච්මන්ඩ් ප්‍ර‍ත්‍යන්ත වෙත ජනයා කැටුව යන්නට සූදානමින් සිටි අතර යළි උතුරට හැරුණු මග එපින් ප්‍ර‍ත්‍ය නගරයේදී සිඩ්නියේ සිට එන උතුරුබඩ මාර්ගය හා එක් වීමට දිව ගියේ ය.

මුල් වරට ඇස ගැටෙන බටහිර ඉම් පෙදෙස් දෙස දුම්රිය කවුළුව තුළින් මම බලා සිටියෙමි. වේගයෙන් පසු වී යන දර්ශන පෙළ විටෙක වීදිවලින් බර වී එකිනෙකට ආසන්නයෙන් පෙළ ගැසී තිබුණු නිවාස පන්ති ද, දිගු යායට විහිද ගිය ප්‍ර‍ත්‍ය නගරබද ගොඩනැගිලි ද, සුවිසල් දුම්රිය එකලස් කරන හෝ අලුත්වැඩියා කරන අංගනද මවෙත රැගෙන ආවේ ය.

මා අද හමුවන මිනිසා, නාරද, කවරෙකු විය හැකි ද? මවිසින් මින් ඉහත පළ කරන ලද ‘සිඩ්නි සිතුවිලි‘ ලේඛණ කියවා මවෙත ඊමේලයක් එවා තිබුණු ඔහු මා හමුවන්නට කැමැත්තෙන් පසුවන බව ලියා තිබුණේ ය.

“ඔබ අපට කැපෙන කෙනෙක් බව පෙනෙනවා. වෙලාවක මුණගැහෙමු!“ යනුවෙන් සදහන් කරමින් අවසන් කර තිබුණු ලිපියේ කෙළවර ඔහුගේ දුරකථන අංකයද ලියා තිබිණි. ඒ දුරකථන අංකයට මා ඇමතුමක් දුන්නේ දින දෙකකට පෙර හවස්වරුවක ය.

“හරිම සතුටුයි ප්‍රියන්ත කතා කරපු එක නම්... එන්න පුළුවන් ද පැරමටාවලට අනිද්ද උදේම? මම අනිද්ද නිවාඩු. අපිට ටිකක් කතා කළ හැකි!“

බටහිර දෙසට දිවෙන දුම්රියේ ජනේල කවුළුවක් අසළ අසුන් ගෙන මා මේ ගමන් කරමින් සිටින්නේ ඔහු හමුවන්නට ය. ඔහු කුමන වයසක, කුමන තරාතිරමක, කොයි ආකාරයක මිනිසකු දැයි යන්න පිළිබ කිසිදු අදහසක් නැතිව මා මේ යන ගමනට අර්ථයක් තිබේ ද?

නැත! එක්තරා අයුරකින් මම ඔහුව ද, ඔහු මාවද හඳුනාගෙන අවසන් ව ඇත. නන්නාඳුනන මිනිසුන් සමූහයක් අභියස සිටින ඔබ එහෙන් මෙහෙන් නැගෙන විසිරුණු දේශපාලනික කතාබස් අතරතුර ඔබට සමීප අදහස් දරන්නකු හඳුනාගන්නේ කොයි ලෙසකින් ද, මොහොතකින් ඔහු හෝ ඇය සමග අදහසක් දෙකක් හුවමාරු කරගන්නේ කොයි ලෙසකින් ද එලෙසම මා නාරද වෙත එක් පියවරකින් සමීප වී හමාර ය. ඔහු මා ලියන ‘සිඩ්නි සිතුවිලි‘වල රසිකයෙකි. මා මෙන්ම හෝ වෙනයම් අයුරකින් මෙරටට ආ ඔහුට මා විඳි මේ හැඟුමන් හමුවී තිබෙනු සැක නැත. මා ලියූ ලේඛණවලින් ඔහු හඳුනාගන්නා ඔහුගේ අතීතය යළි හිස ඔසවා විත් මට ද අත වනයි. එක් අතකින් ඔහු අද මුණගැසෙන්නට බලාපොරොත්තු වන්නේ ඔහුගේ අතීතයම විය හැක. එසේනම් මේ මාගේ අනාගතය ද?

අනෙත් අතට මා මේ යන ගමනින් මා විදින ගැහැටින් මිදී යම් පිළිතුරක් සොයාගන්නට... ඔව්... යම් රැකියාවක් පිළිබද අදහසක් සොයාගන්නට මට ඉඩක් ලැබේවි ද? මේ හමුවන අමුත්තා මගේ සිඩ්නි ජීවිතයේ කටොළුවලින් මා ගලවා ගන්නට හැකි විශ්වකර්ම මිනිසකු වී නම් යන ‘සිහින සිතුවිල්ල‘ ද මවෙත නොමැත්තේ නොවේ. ඔහුගේම තැනක රැකියාවක් මා වෙත දෙන්නට තරම් ඔහු පොහොසතකු නම්...?

දුම්රිය ක්ලයිඩ් දුම්රියපොළ පසු කරමින් තිබිණ. ඊ ළග දුම්රියපොළ පැරමටා බව දුම්රියෙහි ආරක්ෂක නියාමකවරයා අපට දැනුම් දෙන හ ඇසෙයි.

Next Station, Parramatta!”

පැරමටා දුම්රියපොළට දුම්රිය සේන්දුවත්ම මගීහු රැසක් ආසනවලින් නැගිට දොරටු වෙත රැස් වන්නට වූ හ. මහා මාර්ගයට තරමක් ඉහළින් පිහිටි අංගනයෙන් පිටතට එන මගීන්ට දුම්රියපොළින් පිට වීමේ දොරටු සහා සෙමින් කැරකැවෙන පඩි පේළි මතින් හෝ විදුලි සෝපානය මතින් හෝ පිවිස පහළ මාලයට බැසිය යුතු විය.
මම නාරදට දුරකථන ඇමතුමක් ගතිමි.

“මම බැහැල ඉන්නෙ“

“ඔව්. ඔහොමම පහළට එන්න. මම පල්ලෙහා ඉන්නව.“

මම පිටවීමේ දොරටුව අසළට පැමිණෙන විට අනෙත් පසින් පැමිණි එතරම් උසක් නැති තලෙළු මැදි වියෙහි වූ ඔහු  සිනාමුසු ව මවෙත අත දිගු කළේ ය.

“මම නාරද!“

මම ඔහුගේ අත අල්ලා ගනිමින් ඔහු පිළිගතිමි.

“ඉතින් ප්‍රියන්ත...?“
පැරමටා - බටහිර දුම්රියෙන්...

ඔහුගේ ‘ඉතින් ප්‍රියන්ත‘ යන වදන්වල දිගු සංවාදයකට මුල පිරීමේ ලකුණක් විය. කොතනින් පටන්ගත යුතුදැයි යන්නට අදහසක් මවෙත නොවූ හෙයින් මම කිසිත් නොබිනීමි. මවෙතින් පිළිතුරක් නොවිමසමින්ම, මහා මාර්ගයට නොපිවිස, උමං මගක් දිග දිවෙන වෙළ සැලින් පිරි මාවතක් ඔස්සේ  මා කැවාගෙන ඔහු අසළ වූ ආපන සැලකින් සිසිල් බීම කෑන් දෙකක් මිලට ගෙන එකක් මවෙත පෑවේ ය.

“අපි මොනව හරි බොමු!“

නාරද තුළින් විද්‍යාමාන වූයේ සැහැල්ලු බවකි. ඔහු මට වඩා තරමක් වයසින් වැඩි අයෙකු වූයෙන් මම කතාව ඇරඹූයේ තරමක ගෞරවයකින් යුතුව ඔහු අමතමිනි.

“මිස්ට නාරද ළපාත ද පදිංචිය?“

“මම ඉන්නෙ බ්ලැක්ටවුන් කිට්ටුව... මට මිස්ට නාරද කියන්න ඕනෙ නෑ. නිකම්ම නාරද කිව්වම ඇති. ඕස්ට්‍රේලියාවේ ඔය බොරු මිස්ට කෑලි දාන්නෙ නැහැනෙ. නම කියන්නෙ නම!“

ඔහු සිනාසී පිළිතුරු දුන්නේ ය.

බොහෝ සැහැල්ලුවෙන් මා හා කතාවට වැටුණු නාරද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඔහුගේ අතීතය ගැනත්, විශ්වවිද්‍යාල දිවියෙන් පසු මැදපෙරදිග ඔහු කළ රැකියාවන් ගැනත් මා වෙත විස්තර කළේ ඒ අතීත වෘත්තයන් විමසා දැනගන්නටම මා ඔහු සොයා පැමිණි බව විශ්වාස කරන පරිද්දෙනි.

“මම සිඩ්නි ආවෙ පීආර් ලැබිල දැන් අවුරුදු 20කට විතර උඩදි... මෙහෙ ජීවිතේ පටන් ගන්න හරිම අමාරුයි. ලොකු කට්ටක් කන්න වෙනව. ප්‍රියන්තගෙ බ්ලොග් එක කියවද්දි මට තේරුණා ඔයා ලියන කතාවල තියෙන ඇත්ත. අනික මමත් සාහිත්‍යයට කැමතියි. ඔයාට හොට ලියන්න පුළුවනි. අපි මෙහෙ මේ සිංහල සංස්කෘතික හමුවත් එක්ක එහෙම සෑහෙන වැඩ කරනව. ප්‍රියන්ත අපිට වටිනව....“

ඔහුගේ කතාව අතරතුර අපි යළිත් පැරමටාවලින් දුම්රියක නැගී බ්ලැක්ටවුන් දක්වා, ඔව්... තව දුරටත් බටහිර දෙසට... ගමන් කළෙමු.

“මෙහෙ වෙස්ට් එකට එච්චරම මිනිස්සු එන්න කැමති නෑ. සල්ලි වැඩි වෙද්දි හැමෝම ටික ටික දකුණට යන්න බලනව. බ්ලැක්ටවුන් වගේ පැති කලබල තියෙන පැති කියලයි හැමෝම හිතන්නෙ. කල්ලො ටිකක් වැඩිපුර ඉන්නෙ මෙහෙ. ඉහිට රණ්ඩු නෑ නෙවෙයි. ඒත් ඔය කියන තරං වෙස්ට් එක නරක නෑ...“

අපි බ්ලැක්ටවුන් දුම්රියපොළින් පිටතට පැමිණි පසු නාරද මා කැටුව ගියේ ඒ ආසන්නයේ තිබුණු සිංහල අවන්හලකට ය.

“වෙස්ට් එකේ සිංහල කඩ කීපයක් තියෙනව... මේක මෙහෙ තියෙන හො රෙස්ටෝරන්ට් එකක්...“
ඔහු බත් සහ වෑංජන කිහිපයක් සහිත, පූර්ණ වශයෙන් ‘සිංහල‘ ගතියකින් යුක්ත දිවා ආහාර වේලක් මිලට ගත්තේ ය.

“අපි ළදි වහනව අනේ... අමාරුයි දැන් මේක කරන්න. පාඩු හින්ද නෙවෙයි... අමාරුයි!“

අවන්හලේ සිටි කාන්තාව නාරද සමග කතාබහ කළ ආකාරයෙන් ඔවුන් හොඳින් හඳුනන අය බව මට ඒත්තු ගියේ ය.

“සුද්දො නං හරියට එනව. ඔසියො ඉන්නව මිරිස් සැරට කන්නම කැමති! බැදපු මිරිස් එක්කමයි ඉල්ලන්නෙ... අනේ ඒත් මේක කරන්න අමාරුයි. නිවාඩුවක් නෑ කිසිම... දැන් අපිට ඇති වෙලා...“

ඇය සිය වෙහෙස යළියළිත් පුනරුච්චාරණය කරමින් අප වෙත කියා පෑවා ය.

“අපි කෑම කාල යමු අපේ ගෙදර. අපිට තියෙනව ගොඩක් දේවල් ප්ලෑන් කරන්න. ප්‍රියන්තට මොකක් හරි ආදායම් මාර්ගයක් හොයාගන්නත් වෙයි. අද අපේ වයිෆ් වැඩ. පුතයි දුවයි ඉස්කෝලෙ ගිහින්... ඔයාට පුළුවන් අපේ දිහා ගිහිල්ල, වයිෆ් එහෙම ආවම රෑට කෑම ටිකක් එහෙම කාලම යන්න.... හදිස්සියක් නැහැනෙ? අද වැඩක් නැහැනෙ වෙන...?“

නාරද බ්ලැක්ටවුන් දුම්රියපොළ ආසන්නයේ නවතා තිබූ සිය මෝටර් රථය පණගන්වමින් මදෙස බලා කීවේ දිනයේ ඉදිරි වැඩ සටහන පිළිබ තමන් තීරණය කර අවසන් බව හවමිනි.

ජීවිතයේ ඇතැම් අවස්ථාවල අප අභියස පෙනී හිදින ඇතැම්හු පෙර කිසි දිනෙක හමුවී නොමැති වුවත් මහත් උනන්දුවකින් අප ජීවිතයේ කාර්යයන් සාධනය කරනු පිණිස සහාය වෙති. පැය කිහිපයකට පෙර මා නොදැකවත් තිබුණු මේ අපූරු මිනිසා මහත් වූ අභිරුචියකින් මාහට උදව් කිරීමටත්, ඔහුගේ නිවාඩු දිනය මා වෙත කැප කිරීමටත් තීරණය කර ඇත.

මම නිසාන් සනී රථයේ රියදුරු අසුනට බරදී රිය පදවන ඔහු දෙස හැරී බැලුවෙමි. ඉදිරියෙන් වම් පසට හැරවීම සහා මාර්ග සංඥා දක්වනු පිණිස සන් ලාම්පු දැල්වූ ඔහු රථයේ කැසට් යන්ත්‍ර‍ය ක්‍රියාත්මක කළේ ය. එම්.එස්. ප්‍ර‍නාන්දුගේ ගීතයක් නැගෙන්නට විය.

බටහිර දෙසට... ඔව්... සිඩ්නියේ බටහිර දෙසට පැමිණ සිටින මට අලුතින් මුණ ගැසෙන්නට නියමිත මිනිසුන් පිළිගන්නට සූදානම් විය යුතු ය. මම රථයේ කවුළුවෙන් පිටත බැලීමී. 


සේයාරුව - http://www.news.com.au/ අඩවියෙනි.

Monday, December 7, 2015

මතක සිතුවම්

(2012 ජූනි)


දයි සවෙත් - ගෝල්ඩන් සලම්බර්ස් චිත්‍රපටයෙන්

රීජන්ට් වීදිය සුපුරුදු අඳුරු වැහිබර සන්ධ්‍යා කාලය පිළිගන්නට සූදානමින් මෙන් මග දිවෙන වාහන සංඛ්‍යාව පහළ දමා ඇත. සමාගමයට කිසිදු මිතුරකු නොමැති නවාතැනින් මා පිටතට ඇදී වීදියට බැස තිබුණේ පුරුද්දට මෙනි. සිහිල් සුළං රැල්ලක් ද සමගින් සිඟිති වැහි බිඳු කිහිපයක් පාළු වීදිය දෙපස වුණු උස් ගොඩනැගිලි අතරින් වීදියට බසින්නට පටන් ගත්තේ වීදියේ වූ පාළුව හා පෙමින් වෙලුණේ විය. මම අත තිබුණු කුඩා කළු පැහැ කුඩය දිග හැර, ඔවුනට රිසි සේ පෙම් කෙළින්නට ඉඩ දී, කෙළවර මංසන්ධියෙන් ජනාකීර්ණ දුම්රිය පළ දෙසට හැරුණෙමි.


සෑම නගරයකම මෙන්ම සිඩ්නියේ ද සැඳෑ කාලය ගෙවෙන්නේ සමාන ලෙසිනි. නගරයේ සිය සේවා ස්ථානවලින් පිටතට විත් දිගු ජන ගංගා අතරට රිංගා ගන්නා මිනිසුන් සිය නිවෙස් වෙත දිවෙන ගමන ආරම්භ කිරීම සෑම වැඩ දිනකම සිදු වෙයි. දිගු රථ පෙළ අතර මගීන් පිරුණු බස් රථ බහුල ය. දුම්රිය පළට, බස් රථ නැවතුමට දිවෙන මහ ජනකාය අතරින් මිදුණු එකකු දෙන්නෙකු සැඳෑ සමයේ සිය ගත උණුසුම් කරන මධුවිත සොයා බීරහලක් වෙත ඇදෙයි. දිවා කාලයේ ගලා ආ හිරු එළිය නගරය හැරයත්ම නැගෙන අඳුර හා තරග වදින්නට වීදි පහන් දැල්වෙන්නට පටන් ගනියි.


දුම්රිය මං සන්ධිය පසුකළ මම නගර මධ්‍යය දෙසට සමාන්තර දිවෙන මහ වීදි දෙකෙන් වම් පස වීදිය තෝරා ගතිමි. මා ඇවිද යන ජෝර්ජ් වීදයත් දකුණු පසින් දිවෙන පිට් වීදියත් සිය කෙළවර සීමා කරන්නේ සිඩ්නි වරාය ආසන්නයෙනි. කාලය ගෙවා දමමින්, නගරයේ සුන්දරත්වය දෙස නෙත් යොමමින් ගමන් කොට වෙහෙසකර ගමනාවසානයේ මුදල් අය නොකරන නගර සේවා බස් රථයක නැගී යළි මධ්‍යම දුම්රිය පළ දෙසට එන්නට අදහස් කරන්නේ නම් ඔබ නිරතුරුව තෝරා ගත යුත්තේ මෙම වීදියකින් එකක අද්දරකි.


නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ නැගී ඇති සිනමා උළෙල කොඩි කණු සිඩ්නි සිනමා වසන්තය තවමත් නිමා නොවී ඇති බවට දෙස් දෙයි. සිහින්ව නැගී දැන් තරමක තියුණු ස්වභාවයක් ගත් වැසි බිඳු හේතුවෙන් උස්, දිගු උළෙල පතාක තෙතබරිතව බිමට හැරී සිටිති. ඒ වැහි බිඳුවලින්ම බේරී සිටීමට නානාවිධ කුඩ දිගහැරගත් සිනමා රසිකයෝ ඉවෙන්ට් සිනමා සංකීර්ණ දොරටුව අසළ පේළී ගැසී සිටිති.


සිනමා උළෙල වෙත ඇති ඇල්ම හේතුවෙන්ම මා නිතැනින් ඉවෙන්ට් සිනමා සංකීර්ණය වෙත හැරුණ ද සිනමා කෘතියක් නැරඹීමේ අභිලාෂයක් මවෙත නොවී ය. සියල්ලටම වඩා, ඉහළ මිළක් ගත් සිනමා ප්‍රවේශ පතක් මිළට ගන්නට මා අත මුදල් නොවීමත්, ලබා ගත් පොදු ශිෂ්‍ය ඇතුළු වීමේ පත්‍රය නෝමන් අත වීමත්  සිනමා පට පිළිබඳ සොයා බලන්නට හෝ ඇති වුණු අවැසියාව බිඳ දැමුවේ ය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව, උළෙල සඳහා දායකත්වය සපයන තරුණ පිරිස් උළෙල නරඹන්නට පෙළ සැදී උන් ජනයා අත රැඳී ප්‍රවේශ පත් පිරික්සූ හ. මම ඔවුනතරින් ඉදිරියට ඇදී ගියෙමි. උළෙල තොරතුරු රැගත් කුටිය ඉදිරිපිට හිඳ, චිත්‍රපටවල තොරතුරු රැගත් පුවරු දෙස බලමින් ද, පූර්ව ප්‍රචාරක පට රැගත් ටෙලිවිෂන් තිර දෙස බලමින් ද කල් යැවීම ප්‍රවේශ පතක් අත නැති විට සිදු කළ හැකි එක් දෙයකි.


“ඒ.... ප්‍රියන්ත!“


සිනමා රසික පෙළ අතර හිඳ මවෙත අත වනමින් උන්නේ සිටොන් ය. ඇය අසළටම වී සිනා පිරි මුවින් මා දෙස බලා සිටියේ නෝමන් ය.


“ඔයා කොහෙද මේ? ෆිල්ම් එක බලනව ද?“ සිටොන් දුර සිටි මගෙන් කෑගසා විමසී ය. හඬ නගා කිසිවිට කතා නොකරන නෝමන් ද පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇස් අයා මදෙස බලා හිඳිද්දී මම ඔවුන් දෙදෙනා වෙත පිය නැගුවෙමි.


“ඇත්තටම අදහසක් තිබිල නෙවෙයි. නිකං ආව... මොකක්ද ෆිල්ම් එක දැන් තියෙන?“


“නෑ... ඔයත් එන්න බලන්න... එකත් එකටම ලස්සන ඇති!“ සිටොන් ආරාධනා කරද්දී නෝමන් මදෙස බලා කතා කළේ කණගාටුවෙනි. ටිකට්පතක් මිළට ගන්නට මා අත මුදල් නැතැයි යන සිතුවිල්ල ඔහු තුළ නැගී තිබිණ.


“අනේ සොරි ප්‍රියන්ත... මගෙ ළඟ දැන් පාස් එකක් නං නැහැ... බලනව නං ටිකට් එකක් මෙතනින් ගන්න වෙනව.“


ඔහු පසුතැවිලි විය.


“කමක් නැහැ. මොකක්ද මේ ෆිල්ම් එක? කොයි රටේ එකක් ද?“ මම යළිත් ඇසුවේ නැග එමින් පැවති සිනමා කෘතිය නැරඹීමේ ආශාව මැඩගන්නට හේතු සොයමිනි.


“ගෝල්ඩන් සලම්බර්ස්! මේක කාම්බෝදියන් ඩොකියුමන්ට්‍රි එකක්!“ යළිත් සිටොන් පෙරමුණ ගත්තේ ය.


කාම්බෝජයේ සිනමාව කවරාකාර විය හැකි ද? එසේම වාර්තා චිත්‍රපටයකට උකහාගත් කාම්බෝජ භූමිය කුමක් නම් අපට කියයි ද? මේ සිනමා කෘතියේ හමුවන මිනිස් චරිත මොනවා ද? සියල්ලටම වඩා මෙය කුමක් ගැන ද?


“මම ටිකට් එකක් ගන්න බලන්නම්“


සිටොන් හා නෝමන් දෙදෙනා වෙත සන් කරමින් මම ශාලා කවුන්ටරය වෙත ඇදුණෙමි. ඉතා තීරණාත්මක මොහොතක භාවිතයට ගන්නෙමැයි සුරැකිව තබාගෙන උන් ණය කාඩ් පතෙහි වූ සොච්චමින් කොටසක් දැන් ඉතින් කාම්බෝජය පිළිබඳ දකින්නට වන සිනමා කෘතිය වෙනුවෙන් ගෙවිය යුතුව ඇත.


“ක්‍රෙඩිට් කාඩ් එකෙන් නම් කොමිෂන් එකක් ගෙවන්න වෙයි“


කවුන්ටරයේ උන් තරුණයා මදෙස බලා කියද්දී මා එකඟතාව පළ කර හිස වැනුවෙමි. ඩොලර් 21ක්, දිවියේ මා සිනමා කෘතියක් වෙනුවෙන් ගෙවන වැඩිම මුදල, සඳහන් කළ ටිකට් පතක් මා වෙත යොමු විය.


ඔබේ දිවියේ ඕනෑම මොහොතක ඔබට  කිසි දා බලාපොරොත්තු නොවූ දේ මුණගැසිය හැක. ඒ ගැහැණියක හෝ මිනිසකු නම්, ඔව්.... ඉඳහිට දිනෙක, මහත් පාළුවෙන් මහමගක හිස නොබා ඇවිද යන ඔබට, එක්වරම, සිත හා මනස පිනවන රුවැති ලඳක හෝ කඩවසම් තරුණෙකු මුණ ගැසී ඇතුවා වන්නට පුළුවන. යළි කිසි දින හමු නොවන ඒ රුව, ඔබ නෙතු අභියස නැගී, මොහොතක් රැඳී පැවතී අතුරුදන් වන්නේ ජීවිත කාලයක් පුරා මැකී නොයන ලෙස ඔබ මනසෙහි පිළිරූ අඳිමිනි. සමානවම, ඔබ නොසිතන මොහොතක, සෝබාමත් දිය දහරින් පිරි හරිත වන පෙතක්, නොඑසේනම්, අහස්කුස අරා නැගි විශ්මිත ගොඩනැගිලිවලින් පිරි විසල් නගරයක් වැනි දෙයක සිට ඉතා ක්ෂුද්‍ර නමුත් ඔබේ සිත පැහැරගන්නා අරුමැති දසුනක් ඔබ අභියස මැවී නැගෙන්නට ද ඉඩ ඇත. මේ සියල්ල එක් අයුරකින් අප වික්ෂිප්ත කරවයි. තවත් ලෙසකින් අප සිත සතුටින් පුරවාලමින් අප විඳින ජීවිතය පිළිබඳ නැවුම් හැඟුමන් පුබුදුවාලයි.


ඔව්... අහම්බෙන් නැගී ජෝර්ජ් වීදියේ ඇවිදයමින් උන් මා ඉවෙන්ට් සිනමා හළ දෙසට හැරුණේත්, එහිදී සිටොන් හා නෝමන් මුණ ගැසුණේත් පූර්ව නිශ්චිතයන් පදනම්ව නොවේ. ක්ෂණිකව ගන්නා ලද තීරණයක් හේතුවෙන් මා අභියස තිරයේ දැන් ඇඳෙන සිතුවම, ගෝල්ඩන් ස්ලම්බර්ස්, යටකී ලෙස කිසිදු පූර්ව බලාපොරොත්තුවකින් තොරව මා හමුවට ආ රුවැති තරුණියක නැතිනම් අරුමැති දසුනක පරිද්දෙන් මා නෙත් සිත් පැහැරගමින් තිබිණි. එහෙත් ඒ එහි වූ සුන්දරත්වයෙන් නම් නොවේ. සිත පෙළන, සැබෑ අතීතයක බිහිසුණු බව යළි චිත්‍රණය කරදීම හේතුවෙනි.


අතීතය වළ දමා කෙළවර කළ හැකි ද? බිහිසුණු ‘පොල්පොට්‘ පාලන සමයේ දී කාම්බෝජයේ පැවති සිනමාව පූර්ණ වශයෙන්ම විනාශයට පත් කෙරෙයි. 60 දශකය වන විට, බොලිවුඩයේ මහා ධාරාවේ සිනමාවට සමානව, අති ප්‍රබල ගීතමය සිනමාවක් සහිතව නැගෙන කාම්බෝජය තුළ පොල්පොට්ගේ පාලනයෙන් පසු ඉතිරිවන්නේ මියගිය හෝ මරා දැමුණු නළු නිළියන්ගේ මතක, විනාශ වුණු චිත්‍රාගාර සහ සිනමා ශාලා ආදිය පමණි. ‘ගෝල්ඩන් සලම්බර්ස්‘ චිත්‍රපටය මේ අතීතයේ මතක සිතුවම් වෙත ඇවිද යාමකි.


සිය සීයා වන, සිනමා අධ්‍යක්ෂ වැන් චාන්ගේ අතීතයට එබිකම් කරමින්, මියගිය හෝ මරා දැමුණු ඒ අතීතය සිතුවමට නැගීමය, මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන තරුණ ඩෙව් චොව් අතින් සිදුවන්නේ.


“ඒ කාලේ විනෝද වෙන්න කියල දේකට තිබ්බෙ නටන්න යන එකයි, චිත්‍රපට බැලිල්ලයි විතරයි. ඒත් නැටුමට ගොඩක් තහංචි තිබ්බ. ඉතින් චිත්‍රපටි ප්‍රසිද්ධ වුණා. මිනිස්සු ශාලාවල පොදි ගැහෙන්න පටන් ගත්තා“


චිත්‍රපටයේ හමුවන වැඩිහිටියෙක් අපට කියයි. ඔහු භීම ‘පොල්පොට්‘ සමයේ වූ ‘කැමරූච්‘ පාලනය මැදින් මෙහා ඉවුර වෙත පියමං කළ අයෙකි. පුරවැසියාගේ විනෝදය සඳහා වුණු ප්‍රධාන විනෝද මග වූ සිනමාව මිය ඇදුණු ආකාරය අපට කියන්නේ එදා සිනමාව වැළඳ ගත් රසිකයින් ය; ඉතිරි වූ, දයි සවෙත් වැනි, නළු නිළියන් කිහිප දෙනා ය; යුවොන් හෙම් වැනි, දහසක් හිස් කබල් අතර තම හිස ද නොසැඟවූ, සිනමා අධ්‍යක්ෂවරු කිහිප දෙනා ය.


ඩෙව් චොව්ගේ සිනමා නිර්මාණය පුරවා දමන්නට අතීත සිනමා කෘතිවල පුස්තකාල දර්ශන හෝ සිනමා ශාලා, චිත්‍රාගාරවල වර්තමාන පසුබිම් නැත. අතීත සිනමා ශාලා අද එක්කෝ සමාජ ශාලාවන් ය. නැතිනම් හෝටල් ය. ඒත් නැතිනම්, කුඩා මුඩුක්කු සාදාගත් දුප්පත් මිනිසුන් ඒවායේ රැඳී ඉඳිනු පෙනෙයි. චොව් සිය කැමරා මෙවලම් මෙම පසුබිම්වල ස්ථානගත කරමින් අපට සිය බේදනීය පුවත කියයි. ඉතිරි වූ එකම ප්‍රධාන නිළිය වූ දයි සවෙත්ගේ නිවසේ බිත්තියේ ඇලවී තිබෙන පැරණි සිනමා රූප, සිනමා කෘති රැසක ආඛ්‍යාන පිළිබඳ හැඟුමන් නගා දෙයි. ඇතැමුන් නිහඬ ය. තවකකු හඬා වැළපෙයි. කිසිවකු නොදැන උන් අතීතයක, වැළලී ගිය සිනමාකරුවන් හා ශිල්පීන් මෙන්ම නිර්මාණ රැසක් අපේ හදවතට යවුලින් අණියි.


චිත්‍රපටය කෙළවර, එහි නැගුණු ඩෙව් චොව් කී දේ අසන්නටවත් ඉඩ නොතබාම මගේ දෙසවන් අගුළු වැටී තිබිණි. ‘කැමරුච්‘ පාලනය විසින් නසා දමන්නට යද්දී කෙතරම් නම් සිනමාකරුවන් පිරිසක් හඬා වැටෙන්නට ඇද්ද? මහරු සිත්තම් තිරයට නැංවූ ඒ උදාර මිනිසුන්, මා දැක හෝ නැති දේශයක, එක්තරා අඳුරු පෙදෙසක, මරා දැමෙන අන්දම දැනී මගේ හදවත තියුණු ලෙස තැවෙන්නට පටන් ගත්තේ ය.


ජෝර්ජ් වීදියේ පිවිසුම තෙක්, හා සමග ඇවිද ආ සිටොන් හා නෝමන් වේදනාබර මුහුණුවලින් යුතුව මා හට සමු දුන් හ. චීනයෙන් හා මැලේසියාවෙන් ආ මේ මිතුරු දෙපළ ද මා සමග ඇවිද ආවේ වචනයකට දෙකකට වඩා මුවින් නොබැන බැව් මගේ සිතට නැගුණේ ඈත මාවත දිග පිය නගන දෙදෙනා දෙස මොහොතක් නැවතී බලා සිටි පසු ය. වෙනස් ජීවන පරිසරවලින් නැගී ආ මුත් අප තිදෙන පෙළූ, සිනමා පටය අප අභියස මැවූ, වේදනාත්මක පවත යළි යළිත් අප නිහඬ කළේ අප තුළම සැඟවුණු,එකිනෙකාට ආවේණික, අතීත වෘත්තයන් හා ඒ සමපාත වීම නිසා ද?


“අපි ඒ කාලෙ පිච්චර් බලන්න යන්නෙ කීයට එන්න වෙයි ද දන්නෙ නැතුව... සමහර දාට ගෙදර එද්දි රෑ 12යි නැත්තං 1යි. වෙම්බ්ලි එකේ ෂෝ එක බලල රෑ එන්න කොළකවය බස් එක තිබුණ.“


චිත්‍රපට පිළිබඳ අතීතය ඇවිස්සෙන මොහොතවල තාත්ති කියයි. මා ඒ විස්තර අසා සිටින්නේ මහත් අභිරුචියෙනි. කුඩා කළ, මල්ලීත් මමත් කැටුව, අම්මාත් තාත්තීත් කටුගස්තොට සීගිරියේ ‘රිදී තැල්ල‘ බලන්නට ගිය අයුරුත්, විවේකයේ දී මල්ලී වෙත වැඩිපුර හකුරු ටොෆියක් දීම නිසා උරණ වූ මා වෙත ටොෆී ගෙන එන්නට තාත්ති සිනමා හලේ අවන්හල වෙත ගිය ගමනත් අදද මසිත මැවෙන්නේ සිතුවමක් ලෙසිනි. ඈත අවන්හල් දොරින් ඔහු සිනමා හළට ඇතුළුවත්ම ශාලාවේ ආලෝකය නිවී යද්දී මට හැඬුම් ආවේ තාත්තිට අප සිටින තැන සොයාගන්නට නොහැකි වනු ඇතැයි යන තිගැස්ම සිත නැගුණු නිසා ය.


“අපි පොඩි කාලෙ ඉතින් ගමේ කට්ටිය යනව කුරුණෑගලටම පිච්චර් බලන්න. ඒ ගිහිං එද්දි කිරි අත්ත අපිට අරන් දෙනව එක එක දේවල්. මොර කාලෙට නං මොර... රඹුටන් වාරෙට රඹුටන්“


එසේ කියන්නී අම්මා ය. ඇය, ළමා කාලයේදී මෙන්ම තුරුණු වියේ දී නරඹන්නට ගිය සිනමා කෘති ගැන අප හා කියන්නේ මහත් අභිරුචියෙනි.


“පුතාල දන්නෙ නෑ... ඒ කාලෙ පිච්චර් එකක් ආව සාමා කියල. 60 ගණං වල. ෂහ්... බලන්න එපායැ... ඒක මේ නිකං එච්චර නැගල ගියෙ නෑ. ඒත් මරු පිච්චර් එක!“


තවත් යුගයක,  කුඩා මා කර තබාගෙන, හුළු ගග උඩින් වැටුණු පාලමක් ද තරණය කොට, තේ වතුයායවල් අතර නැගුණු තහඩුවලින් තැනූ සිනමාහළක සිනමා පටයක් බලන්නට තාත්ති, අම්මා හා අයියා ද සමග ගමන් කළ බවට වූ සිහින මතකයක් මට ඇත.


“ඒ කාලෙ ඔය වතුවල මිනිස්සු දෙමළ පිච්චර් බලන්ට පැල් බැඳගෙන යන්නෙ. එක පාරක් දිව්ව පිච්චර් එකක්, ‘පාතාල භහිරවී‘ ඒකෙ නම! ආයෙ නෑ, අර දෙවිවරු එනව දැක්කම මේ මිනිස්සුන්ට ඊට එහා දෙයක් නෑ...“


වතුයාය පිළිබඳ කතා අතර තාත්ති මේ විස්තරය ද නිතර එක් කරයි.


තේ වතුවල කුඩා නිලනිවාස අතර නිවාඩු සමයන්හිදී ඇවිද යන මටත් මල්ලීටත් ඒ නිවසවල බිත්තිවල එල්ලා ඇති සිනමා නළු-නිළියන්ගේ රෑ රැගත් කැලැන්ඩර හමුවෙයි. විජය, ගාමිණී, මාලිනී, සබීතා, සනත්, අනෝජා, ශෂී විජේන්ද්‍ර ඒ රූප වෙත හිඳ අප දෙස එබී බලයි. ක්ෂුද්‍ර කැලැන්ඩර දින සටහනට ඉහළින් වන විශාල අවකාශය ඔවුන්ට අයිති ය.


“විජය කුමාරණතුංගට වෙඩි තියලලු!“


තාත්ති මේ ආරංචිය අපට කියන විට අප උන්නේ ද වතු නිල නිවසක ය. පසුදිනෙක විජයගේ මළගමට ආ මහ සෙනඟ දෙසත්, ඔහුගේ අවසන් කටයුතු කෙරෙන ආකාරය දෙසත් මා රූපවාහිනියෙන් බලා සිටියේ දැඩි ශෝකයෙනි. මා ඔහුව හොඳින් දැන සිටියේ ය යන, මා සිත තුළින් නැගී ආ හැඟුම මැඩගන්නට මට කිසිදු හැකියාවක් තිබුණේ නැත. මහා සෙනඟ අතරින් නැගී තිබුණු ඔහුගේ දෙන රැගත් චිතකය ගිනි තබන විට, එවකට කුඩා පාසැල් සිසුවකු වූ මා, සිත වාවාගත්තේ අපහසුවෙනි.


අප වතු නිලනිවසින් සමුගෙන මහ ගෙදර බලා එන සමය වන විට මහනුවර වේල්ස් සිනමාහළ ගලවා දමා තිබිණි. බට යොදා තනා තිබුණු දිගු පෝලිම්වලට ඉඩ තිබූ මඩුවක් වැනි කොටසක් ද සහිත ශාලාව මගේ මතකය තුළ රැදුණේ චූටි බාප්පා සමග ගොස් ‘මුවන් පැලැස්ස‘ බැලූ තැන හැටියට ය. ඕඩියන් සිනමාහළ වසා දැමුණේ, අප උසස් පෙළ කරද්දී පාසැලින් පැන වැඩිහිටියන්ට පමණක් වෙන්වුණු ‘ජූලියා‘ නරඹා ටික කලකිනි.


රීජන්ට් වීදි නවාතැනේ අපේ කාමරයේ වීදුරු බිත්තිය අසළ වුණු සුදු පැහැ පැලැල්ල මා වසා දැමුවේ රාත්‍රිය සමග නැගෙන ශීතය තරමකින් හෝ වළකාලන්නට ය. මම කුඩා මේසය අසළ වාඩිවී පරිගණකය ක්‍රියාත්මක කළෙමි. ‘ගෝල්ඩන්ස් සලම්බර්ස්‘ වෙතින් නැගී මා අතීතයට කැඳවා ගිය, තියුණු වේදනාවක් කැඳවූ වෘත්තය මා ලිවිය යුතු ය. එහෙත්, පළමුව ඒ විශිෂ්ඨ කෘතියට අභිමන් පිදිය යුතු ය.



මතක සිතුවම් වෙත ඇවිද යාම“, මම ලිපියේ ශීර්ෂය පරිගණක තිරය මත සටහන් කළෙමි.



ඡායාරූපය  - https://beyondasiaphilia.files.wordpress.com/2012/04/golden_slumbers.jpg

Tuesday, November 3, 2015

නීල් සහ හායි

- (2012 ජූනි)- 


“මම යනව එළියට... පොඩ්ඩක් ඇවිදල එන්න!“


මදෙස බලා එසේ කියූ පැට්‍රික් මගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොරැඳීම කාමරයෙන් පිටව ගියේ ය.


නිහඩ රීජන්ට් වීදිය

නිවස මැද, සැමට අයත් සාලය දෙසින් ඇසෙන ජුන්ගේ සහ මර්සෙලෝගේ සිනා හඬ පැට්‍රික් පිටව යමින් කවටකමක් කළ බවට ගෙනෙන හැඟවුමකි. පිරිසගේ කතාබහ අතරට එක් වන්නට සාලය දෙසට යා යුතුය යන හැඟීම යළි යටපත් වූයේ  වැතිර උන් තැනින් නැගිටින්නට ඇතිවුණු කුසීතකම නිසා විය යුතු ය. රැකියාවක් පිළිබඳ අදහසක් හෝ තවම නැත. ශිෂ්‍යයකු ලෙස පැමිණෙන්නෙකුට හිමිවන සතියකට පැය 20ක නීත්‍යානුකූල සේවා කාලය බොහෝ තාවකාලික රැකියා වරම් පිළිබඳ ඇති බලාපොරොත්තු කඩා බිඳ දමයි.


“තියෙන වීසා එක මොකක් ද?“


“මම ස්ටුඩන්ට් කෙනෙක්“


“අහ්... සමාවෙන්න. එහෙනම් මෙහෙ තියෙන සේවා මුරවලට ඔයාට එන්න බැරි වේවි!“


ඉඳහිට ලැබෙන ඔත්තුවක් දිගේ රැකියාවක් සොයා යන මගේ ගමන අවසන් කරන දුරකථන සංවාදය එබඳු ය. දියව යන මුදල් එකතුව ගැනත්, ළඟා විය නොහැකි අවශ්‍යතා ගැනත්, සිත එක් අරමුණකට ගෙන ආරම්භ කළ යුතු නමුත් නොහැකි පර්යේෂණ වැඩ කටයුතු ගැනත් දිගු කල්පනාවකට වැටුණු මගේ දෙසවනින් සාලය දෙසින් ඇසෙන සිනා හඬ මැකී ගියේ ය. නගරාසන්නයේ අවන්හලක සේවා සහායකයකු ලෙස පැමිණෙන්නැයි ඊයේ දිවාකාලයේ ලැබුණු දුරකථන ඇමතුමින් උදම්ව වහා සැරසුණු මට මගේ සේවය අවැසි නැතැයි යන දෙවන දුරකථන ඇමතුම ලැබුණේ නිවසින් පිටව යන්නට මෙහොතකට පෙර ය.


“ඔය හැමදේම ඔහොම තමයි. මෙහෙ කාටවත් අපි ගැන හැඟීමක් නැහැ.“ සිය නව රැකියාවේ මුරය නිම කොට පැමිණි ජුන් කීවේ ය.


ජුන්ට යළිත් රස්සාවක් ලැබී දින කිහිපයකි. දැන් යළිත් ඔහු සුපුරුදු පරිදි උදෑසන පිටව යයි. රාත්‍රිය එළඹෙත්ම සුපුරුදු වෙහෙසපිරි මුහුණින් නිවසට ඇතුළු වෙයි. අහර කිස නිමවා, නිවැසියන් හා සිනාසෙමින්, සාලයේ මේසය වෙතට වී සිය චිත්‍ර ඇඳීම සඳහා යොමු වේ.


“හලෝ... යස්.. නීල් හිය!“


මනසින් ඇවිද ගිය ගමන කෙළවර කළේ නීල්ගේ උස් හඬ ය. නීල් මගේ අලුත් කාමර සගයා ය. ෂින්ගේ සමුගැනීමෙන් පසු හිස් වුණු කාමරයේ වම් පසින් වුණු තට්ටු ඇඳේ පහත මාලයේ නවතම හිමිකරු වූ ඔහුගේ උපන් රට චීනයයි. එහෙත්, ඔබ දෙනෙත් පියාගෙන මඳ වේලාවක් ඔහුගේ කතාබහකට සවන් දී සිටියේ නම්, නිසැකවම ඔහු ඕස්ට්‍රේලියාවේම උපන් ස්වදේශික තරුණයෙකැයි සිතන බව මට ඉඳුරා කිව හැකි ය. ඔව්... ඔහු එතරම්ම චතුර ලෙස ඉංග්‍රීසි බස වැහැරූ තරුණයෙකි. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මහද්වීපික භූමියට පහළින් පිහිටි තස්මේනියා ප්‍රාන්තයේ තස්මේනියා විශ්වවිද්‍යාලයේ සිය කළමණාකරන උපාධිය නිමා කර තිබුණු ඔහු සිඩ්නියට පැමිණ තිබුණේ කළමණාකරන ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගන්නට ය.


“වෙල්.. යා... අයි කැන් ඩූ දැට්... ඔෆ් කෝස් අයි කැන්!!“


දුරකථන සංවාදයකට තරම් නොවන හඬකින් නීල් කෑගසයි. ඔහු නිවසේ සිට යැවූ ඉල්ලුම්පතක් සඳහා වන දුරකථන සංවාද පරීක්ෂණයකට සහභාගි වන බව පෙනෙයි.


කාමරයේ තවකකු ඉන්නා බවවත්, ඔහුට ද නිදහසක් හා සාමකාමී පරිසරයක් අවැසි බවටත් නීල් කිසිවිට සිතන්නේ නැත. නිවසේ පොදු පිරිසිදු කිරීම්වල ස්වකීය කොටස ඉෂ්ඨ කිරීම සඳහා මැදි රැයේ වැකුම් ක්ලීනරය ක්‍රියාත්මක කොට ඔහු ප්‍රන්සුවාගෙන් බැණුම් අසා ගත්තේ දැනට දින කිහිපයකට පෙර ය. සිය රාත්‍රි අහර කිස නිමවා, ඉඳුල් භාජන තිබූ තැන්වලම දමා පැමිණි ඔහු සෙස්සන්ගේ නොරිස්සුම් මුහුණු දැකගත්තේ ඊයේ රාත්‍රියේ ය.


ඔබ සැමදෙනාටම ජීවිතයේ දිනෙක විවිධ සංස්කෘතික පරිසර හරහා පැමිණෙන මෙවන් මිනිසුන් හා එක්ව යම් නිවහනක ටික දිනක් හෝ දිවි ගෙවන්නට ඉඩ ලැබෙන්නැයි මම ප්‍රාර්ථනා කරමි. අප වඩා දුරින් දකින්නට පෙළඹෙන, දමිළ හා මුස්ලිම් ස්වදේශිකයින් කෙතරම් නම් අප හා සමානද යන්නත්, වඩා විහිදුණු සංස්කෘතික කලාපයන්වලින් පැමිණෙන වැසියන් කෙතරම් විවිධත්වයන් සහිත හා ආවේණික ගතිපැවතුම් සහිත පුද්ගලයින් ද යන්නත් එයින් ඔබට වැටහී යනු ඇත. ඔබ වඩා පුළුල් දැක්මකින් මේ දෙස බලා සිටින්නට පුරුදු වුවහොත්, අප සියල්ලෝම පැතිරුණු අවකාශයක දිවි ගෙවන විසල් සංස්කෘතික ජන රාශීන් තුළ හමුවන ක්ෂුද්‍ර අංශූන් පමණක් බව වටහා ගනු ඇත.


නීල් දිනෙන් දිනම අපට පැහැදිලි කර දෙමින් උන්නේ අපේ පැරණි කාමර සගයා කෙතරම් නිහඬ අයෙකු ද යන්න ය. ෂින් හා තමන් සසඳා බලන්නට නිතර ඔහු අපිට ආරාධනා කළේ කාමරය හැකි පමණ ඝෝෂාකාරී තැනක් බවට හරවමිනි. දිගු කලක් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබා තිබුණ ද අග්නිදිග ආසියා කලාපයේ වැසියන්ගෙන් ඔබ්බට හමුවන ආසියානුවන් ගැන ඔහුට වැටහීමක් තිබුණේ ද නැත.


“ඉන්දියන්කාරයො මෙච්චර කරි ජාති කන්නෙ ඇයි?“ වරක් ඔහු අසතුටු මුහුණකින් මෙලෙස ඇසුවේ මගේ අහර වේලක් දෙස බලමිනි.


“ඉන්දියන්කාරයො විතරක් නෙවෙයි... ඒ ළඟ තියෙන රටවල් ගාණකම මිනිස්සු කරි ජාති හදනවා... අනික මම ඉන්දියාවෙන් නෙවෙයි... ලංකාවෙන්. කරි ජාති තමන්ගෙ කෑම වේලට එකතු කරගන්න එක ඒ කලාපෙම රටවල පුරුද්දක්!“


“ඒ වුණත් මං නං හිතන්නෙ ඉන්දියන්කාරයො තොර තෝංචියක් නැතිව කියවන්න ගන්නෙ මේ කරි ජාති කන නිසා කියල!“


නීල් සුපුරුදු පරිදි අපූරු අවසන් නිගමනයක් මවෙත ඉදිරිපත් කළේ ය. නිරන්තරයෙන් කතා කරන තමන්ගේ හඬ අන්‍යයන්ට බාධාවක් බව කිසිවිට නොසිතන ඔහු තමන්ගේ ඉන්දියන් විරෝධය කරි දීසිවලට ලඝු කර දැමී ය. වැඩි කාලයක් කතා කරන නිසා අසන්නට ඉඩක් නැති හෙයින්ම මෙවැනි කෙටි හා හාස්‍යජනක නිගමන ඔහුගෙන් නිතර බලාපොරොත්තු විය හැකි ය.


“ඔහ්... මං වගේ මෝඩයෙක්! ෂීහ්... මං ඒක ගණං ගත්තෙ නෑ.... ඒ කෝල් එක! හොඳම කොම්පැණියක් මට කතා කරල තිබ්බෙ. මට මගදියි වැඩේ තේරුණේ... අපරාදයක් මං නං කරගත්තෙ.... ෂීහ්.. මං වගේ මෝඩයෙක්!“


සිය රැකියා අයදුම්පත සඳහා දුරකථන පරීක්ෂණයට පිළිතුරු දී හමාර කළ නීල් කාමරය තුළ ඔබ මොබ ඇවිදිමින් කෑගසන්නට පටන් ගත්තේ ය. නීල්ගේ මේ කෑගැසීම් පැට්‍රික්ටත් මටත් දැන් හුරු පුරුදු ය. මෙවන් වදන් නීල්ගෙන් ඇසෙන හැමවිටම නොරිස්සුම් මුහුණින් මදෙස බලා ඉඟි මරන පැට්‍රික් සෙමින් කාමරයෙන් පිටව සාලය දෙසට සේන්දු වෙයි. පැට්‍රික් අද කාමරයේ නැතත්, මම ද ඒ අනුව යමින්, පරිගණකය ද රැගෙන සාලය දෙසට ගියෙමි. යාබද කාමරයේ අදිසි සාමාජිකයා වුණු හැරී සමුගත් පසු පැමිණි වියට්නාම් ජාතික තරුණයා සිය රාත්‍රී ආහාරය සකසමින් සිටියි.


“හායි... මගෙ නම හායි.... ඔයාලට මට හායි හායි කියන්න පුළුවන්!“ නිවසට ආ විගස සිය පියකරු සිනාවෙන් මුව සරසාගනිමින් ඔහු අපට කීවේ ය. 


හායි නගරයේ විශ්වවිද්‍යාලයක සැලසුම්කරණය හදාරයි. නිවසේ සිය කටයුතු සියල්ල අතරතුර ක්‍රියාත්මක කර තිබෙන දුරකථන වීඩියෝ ඇමතුම් හරහා ඔහු සිය පෙම්වතිය හා නිරන්තරව පෙම්බස් දොඩයි. වියට්නාම් බසින් කෙරෙන ඒ කතාබහ අපට දුරස්ථ ය. එහෙත් ඒ සඳහා පිවිසෙන විටම ඔහු තුළින් නැගෙන ප්‍රේමණීය ස්වරය කිසිවකුට දුරස්ථ නැත.


සාලයේ මේසය මත පරිගණකය තබාගත් මම අන්තර්ජාලය හරහා මගේ පාසැලත් කොළඹ නගරයේ තවත් පාසැලකුත් අතර වන රගර් තරගයක් නැරඹීමට වෙබ් පිටු විවර කළෙමි. කුඩා අවදියේ පාසැල නිමවී අයියාගේ මිතුරන් ද සමග කඳු මාර්ගයක් තරණය කරමින් මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියට ගොස්, වෙහෙස මග හැර නැරඹූ පාසැල් රගර් තරගය අද සිඩ්නියේ මගේ නවාතැනෙහි සාලය මත ඇති පරිගණකයේ තිරය මත දිග හැරී ඇත. තද නිල්, ලා නිල් හා කහ පැහැති රගර් ජර්සි හැඳගත් මගේ පාසැලේ වත්මන් ක්‍රීඩකයෝ පිටියේ තරගයට සූදානමිනි. ‘සුරූ....ස්‘ ශබ්දයෙන් යුතු මහා හඬක්, රගර් තරගයේ විස්තර විචාරයේ හඬ අභිබවමින්, මා අසලින්ම නැගිනි. හායි සිය වියට්නාම් භෝජනය රස විඳීම ආරම්භ කර ඇත.


වියට්නාම් වැසියන් ද, ඉන්දීය කලාපයේ වැසියන් සාදන ආකාරයට වෙනස් වූ, ‘කරි‘ නැතිනම් වෑංජන සාදා ගනියි. හායි ද එම ආවේණික වෑංජන හා බත් සාදා, ඒවා කුඩා දීසිවලට වෙන්ව බෙදාගෙන, සිය ‘චොප්ස්ටික්ස්‘ යුගලය මගින් ගෙන ආහාරයට ගනියි. ජපාන මිතුරා වූ ෂින්ට, කොරියන් ජාතික ජුන්ට හා නිවසේ දඟකාරිය වූ චීන ජාතික සොයිට වඩා හායි වෙනස් වූයේ නිවස දෙවනත් වන තරමට ඔහු නැගූ තලු මැරිල්ලයි.


හායි සිය ‘ස්ටික්‘ යුවල මගින් අල්ලා ගන්නා ආහාර මුව තුළය ඇදගත්තේ ‘සුරූ... ස්‘ හඬක් නගමිනි. ඒ හා සමග ඔහු මහා හඬින් තලු හා දිව එකිනෙක ගටමින් ආහාර රස විඳීම අරඹයි. නීල්ගේ ‘කචකචය‘ මග හැර සාලයට ආ මට හායිගේ මෙම ‘රස විඳිල්ල‘ විඳ දරා ගැනීමට සිදුව ඇත.


තමන්ටම බැණ වදිමින් සිටි නීල් යමක් මුමුණමින් නිවසින් බැහැර වනු දුටු මම යළි සෙමෙන් පරිගණකය ද ඔසවාගෙන කාමරයට වැදුණෙමි. හායිගේ තලු මැරිල්ලෙන් නැගෙන හඬ යම් තරමකින් වළකා ලීමට කාමරයේ වැසුණු දොරට හැකි ය. රගර් තරගයේ අන්තර්ජාල සංඥාවල සිදුවුණු බාධාවක් නිසාදෝ දැන් තරගය පෙනෙන්නට නැත. පරිගණකය කුඩා මේසය මත තබා, නැගෙන ශීතයට ශරීරය සොයා ගැනීමට ඉඩ නොදීමට සිතා ශීත කබායක් ඇඳගත් මම වීදුරු බිත්තියේ කෙළවර වූ දොර විවර කර බැල්කනියට ගියෙමි.



අප නිවසින් පිටවුණු නීල් ඈත වීදි කෙළවරින් පහළට හැරෙනු පෙනේ. හායිගේ තලු මැරීම බැල්කනියට ඇසෙන්නේ නැත. සුද්දෙන්ගෙන් පිරී ඇති නගරයෙකැයි මා එදවස සිහින දුටු සිඩ්නියේ සැබෑ වීදියක් පහළින් ඇත. චීන ජාතිකයින් කිහිප දෙනෙකු වීදියේ දකුණු දෙසට ඇවිද යයි. ලාංකිකයෙකුම විය යුතුයැයි සැක පහළ වන තරමේ පෙනුමක් ඇති තරුණයෙක් පහළ කුඩා කඩයෙන් පිටට විත් ඔබ මොබ බලයි. බොහෝ විට ඔහු බංග්ලාදේශ ජාතිකයෙකු විය හැක. මම වීදියේ ඉහළ දෙස නෙත් යොමු කළෙමි. මග දිවෙන යානවාහන හා ඇවිද යන මිනිසුන් දෙස බලමින් මෙහි මොහොතක් රැඳිය යුතු ය.